පාප්වහන්සේගේ ලංකා ගමන විදෙස් මාධ්‍ය ඇසින්

පාප්වහන්සේගේ ලංකා ගමන විදෙස් මාධ්‍ය ඇසින්

පාප්වහන්සේගේ සංචාරය හේතුවෙන් අන්තර්ජාතික මාධ්‍යවල දැඩි අවධානයක් ඉකුත් දින කිහිපය තුළ ශ්‍රී ලංකාව දෙසට යොමුව තිබිණි. එම සංචාරයට ජනාධිපතිවරණයට ආසන්නවම දින යෙදී තිබූ නිසා එය සිදුවේද නොවේද යන්න පිළිබඳ විවිධ වාර්තා පළවුවද අවසානයේදී දින නියම කරගත් පරිදිම එය සිදුවිය.

ෆ්‍රැන්සිස් පාප්තුමන්ට ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන ලෙසට ඇරියුම් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි. එතුමන් පිළිගනු ලැබුවේ නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාය.පාප්වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය වාර්තා කිරීම සඳහා විදෙස් මාධ්‍යවේදීහු රැසක් ද මෙරටට පැමිණ සිටියහ.

ඉන් ඇතැම් මාධ්‍යකරුවන්ට පාප්වහන්සේ ශ්‍රී ලංකාව බලා පැමිණි අලිතාලියා ගුවන් සේවයට අයත් A 330 යානයේම පැමිණීමට අවස්ථාව සැලසී තිබිණි. බී. බී. සී. යේ ආගමික කටයුතු පිළිබඳ වාර්තාකාරිනී කැරොලයින් වයලට් ද ඒ අතර සිටියාය. ඇය එම අවස්ථාව දකින්නේ මාධ්‍ය ජීවිතයේ අගනා මතක සටහනක් ලෙසයි. ෆ්‍රැන්සිස් පාප්තුමන් ඔවුන් ඉදිරිපිට පෙනී සිටි අවස්ථාව පිළිබඳ වාර්තා කරමින් ඇය කියා තිබුණේ උන්වහන්සේ තමා සිතා සිටියාට වඩා උස්වූ අයෙකු බවයි.

ආකර්ෂණීය සිනහවක් මුවඟ රඳවා ගනිමින් බොහෝ ජනමාධ්‍යකරුවන් අතරට පැමිණි එතුමන් ඔවුන් ඇමතීමට අමතක කර නොතිබිණි. ඇතැම් විට ඔවුන් සමඟ විහිළුවක් කරමින් හඬ නඟා සිනාසුණු බව ද ඇය කියයි. මාධ්‍යවේදීන් අතරින් ගමන් ගනිමින් ඔවුන්ට අතට අත දී ආචාර කරන අතර ඇතැම් මාධ්‍යවේදීන් භක්තිමත් ලෙස එතුමන්ගේ අත සිපගෙන තිබිණි.

පාප්තුමන්ගේ මාධ්‍ය ප්‍රකාශක ලොම්බාඩි පියතුමා එතුමා පසුපසින් සිට ඇත. කඩවසම් ලෙස සැරසී සිටි වතිකාන ඡායාරූප ශිල්පී කණ්ඩායම් මේ සෑම අවස්ථාවක්ම සිය කැමරා කාචවල සටහන් කර ගැනීමට අතපසු කර නැත. එක්වරම එතුමන් කැරොලයින් ඉදිරිපිට ද පෙනී සිට ඇති අතර ඉතාලි බසින් ඇය හඳුන්වා දුන් පසු ඇයට අතට අත දී තිබිණි.

සෑම කාරණයක් පිළිබඳම මාධ්‍ය කණ්ඩායම මනා ලෙස දැනුවත් කිරීමට වතිකානය වගබලා ගෙන ඇත. සංචාරයේදී පාප්වහන්සේගේ සෑම සහභාගිවීමක් ම මිනිත්තුව දක්වා සැලසුම් කිරීම සිදුවේ. ඒ අනුව මාධ්‍යකරුවන්ට ද අවශ්‍ය උපදෙස් සැපයේ. සියලු විස්තර සහිත උපදෙස් කට්ටලයක් සෑම මාධ්‍යකරුවකු වෙතම ‍සපයා තිබිණි. ෆ්‍රැන්සිස් පාප්තුමන් දැකබලා ගැනීමට මෙන්ම ගාලු මුවදොර පිටියේදී උන්වහන්සේ සිදුකළ විශේෂ දේව මෙහෙයට සහභාගි වීමට ද අතිවිශාල ජන සමූහයක් සහභාගි වූ බව කැරොලයින් වාර්තා කර ඇත.

ශාන්තුවරයට ඔසොවන ලද ජුසේවාස්තුමන්ගේ ආදර්ශය අනුව යන ලෙස පාප්තුමන් එහිදී ඉල්ලා සිටි බව ද එම වාර්තාවේ දැක්වේ. ආගමික වෙනස්කම්වලින් නොබෙදී එක්සත්ව ක්‍රියා කරන ලෙස උන්වහන්සේ ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටි බව ද ඇය කියයි. ගාලු මුවදොර දේව මෙහෙයට සහභාගි වීම සඳහා එක්රොක්ව සිටි ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගෙන් බොහෝ දෙනා පෙර දින රාත්‍රියේ සිටම එහි ගතකළ බව ද බී. බී. සී. වාර්තාවේ දැක්වේ.

පාප්තුමන්ගේ ආශීර්වාද ලබාගැනීම සඳහා ඉන්දියානුවන් ද ශ්‍රී ලංකාවට පැමිණ සිටි අතර ජුසේවාස්තුමන් ශාන්තුවරයට එසවීම ඉන්දීය කතෝලික ප්‍රජාවට ද වැදගත් අවස්ථාවකි.මීට විසි වසරකට ඉහත දී සිදුවූ දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයේදී බෞද්ධ භික්ෂූන් වහන්සේ එතුමන් හමුවීමෙන් වැළැකී සිටියද මෙවර බෞද්ධ භික්ෂූන් වහන්සේ හා හින්දු, මුස්ලිම් පූජකතුමන්ලා ද එතුමන් හමුවිය. සර්ව ආගමික සමුළුවක් ද පැවැත්විණි.

ප්‍රංශ පුවත් සේවය ද වාර්තා කළේ ලක්ෂ සංඛ්‍යාත ජනකායක් පාප්තුමන්ගෙන් ආශීර්වාද ලබාගැනීම සඳහා කොළඹට රැස්වූ බවයි. එය එතෙක් මෙතෙක් කොළඹට රැස්වූ වැඩිම ජනගහනය බව ද එහි දැක්විණි. ශ්‍රී ලාංකීය සමාජයේ සංහිඳියාව, යුක්තිය, සාමය උදෙසා මෙරට ජීවත්වන කිතුනුවන්ට විශාල දායකත්වයක් දැක්වීමට හැකි වේවා යැයි ද පාප්තුමන් ආශීර්වාද කර ඇත. “කිතුනුවන් වන ඔබගෙන් ඉල්ලා සිටින්නේ ද, ශාන්ත ජෝෂප් ඔබට ඉගැන්වූයේ ද, පල්ලිය ඔබෙන් අපේක්ෂා කරන්නේ ද එයයි...” යනුවෙන් පාප්තුමන් මෙහිදී ප්‍රකාශ කළහ. සිංහල, දෙමළ භාෂාවලින් ගීතිකා ගැයුණු බව ද ශ්‍රී ලාංකේය සංස්කෘතික අනන්‍යතාව පිළිබිඹු කරන නර්තනාංග හා බෙරවාදන ඉදිරිපත් වූ බව ද ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබිණි.

රැස්ව සිටි බොහෝ දෙනා සිය ජංගම දුරකථනවලින් උන්වහන්සේගේ රුව සටහන් කරගැනීමට වෑයම් කළ බව ද එහි දැක්වේ. ඇතැම් දෙනා, අසනීප තත්ත්වයෙන් පසුවන සිය ඥාතීන්ගේ සේයාරූ අතැතිව ආශීර්වාද ලබාගැනීමට එහි රැඳී සිට ඇත. යුද ගැටුම් පැවැති ප්‍රදේශයක පිහිටි මඩු දේවස්ථානයේ කළ සංචාරය ගැන ද එහි විශේෂයෙන් වාර්තා කර තිබිණි. කිතුනුවන් විශාල පිරිසක් සිටින නිසා ආසියාව වතිකානය විසින් වැදගත් කොට සලකන බව ද ප්‍රංශ පුවත් සේවය සඳහන් කරයි. ඒ. පී. පුවත් සේවය, පාප්තුමන් මහාබෝධි අග්‍රශ්‍රාවක විහාරස්ථානයට ගොස් අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේ දැකබලා ගත් අවස්ථාව ද වාර්තා කර තිබිණි.

බෞද්ධ විහාරස්ථානයකට සපැමිණි දෙවන පාප්තුමන් ෆ්‍රැන්සිස් පාප්තුමන් බව ද එය සඳහන් කරයි. සිය කාලසටහන අවසන් විනාඩියේදී වෙනස් කරමින් පාප්වහන්සේ මහාබෝධියට යාමට තීරණය කර ඇත. විහාරාධිපතීන් වහන්සේ වන බානගල උපතිස්ස නාහිමියන් පාප්තුමන් වෙනුවෙන් අග්‍රශ්‍රාවක ධාතු ප්‍රදර්ශනයක් ද පවත්වා තිබේ. එය විරල අවස්ථාවක් බව ද ඒ. පී. පුවත් සේවය සඳහන් කරයි. මීට ඉහත දී දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ 1984 දී සිදුකළ තායිලන්ත සංචාරයක් අතරතුර බෞද්ධ විහාරස්ථානයකට ගොස් ඇත. ෆ්‍රැන්සිස් පාප්තුමන් අග්‍රශ්‍රාවක විහාරස්ථානයට ඇතුළුවූයේ පාවහන් ගලවා බව ද ඒ. පී. පුවත් සේවය සඳහන් කරයි. භික්ෂූන් වහන්සේගේ සෙත් පිරිත් දේශනයට ද එතුමන් සවන් දී ඇත.

ෆ්‍රැන්සිස් පාප්තුමන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ද කොළඹ පිහිටි වතිකාන තානාපති කාර්යාලයේදී හමුවූ බව ඒ. පී. පුවත් සේවය වාර්තා කර තිබිණි. එම හමුව පෞද්ගලිකව සිදුකිරීමට අවශ්‍යව තිබූ බව ද එහි දැක්වේ. ෆ්‍රැන්සිස් පාප්තුමන් ශ්‍රී ලංකාවට ළඟාවීමෙන් පසු කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ දී කළ ප්‍රකාශය මඟින් යුද්ධයේදී ඇතිවූ තුවාල පෑරීමට නොව එක්සත් බව රැකගැනීම උදෙසා ගත යුතු මඟ පිළිබඳ ද සඳහන් කළ බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. තමන් වහන්සේ ශ්‍රී ලංකාවට පැමිණියේ කිතුනුවන් ඊට දිරිගැන්වීමේ අරමුණ ද ඇතිව බව එතුමන් පවසා තිබිණි.

යටිතල පහසුකම් නැංවීමත් ඇතුළුව භෞතික වශයෙන් සිදුකර ඇති සංවර්ධනය අගය කරන අතර වඩා වැදගත් වන්නේ මානව ගරුත්වය නැංවීම බව පාප්තුමන් සඳහන් කළ බව ද නිව්යෝක් ටයිම්ස් වාර්තාවේ දැක්වේ. නව ජනාධිපති වශයෙන් තමා ධුරයේ වැඩ ඇරැඹූ විගස පාප්තුමන්ගේ සංචාරය සිදුවීම ආශීර්වාදයක් කොට සලකන බවට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කළ ප්‍රකාශය ද එහි දක්වා ඇත.

ඒ. පී. පුවත් සේවය උපුටා දක්වමින් පාප්වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ වාර්තා කළ “හෆින්ටන් පෝස්ට්” වෙබ් අඩවිය විචිත්‍රව සරසන ලද අලි ඇතුන් ද සහිතව කටුනායක ගුවන් තොටුපොළේ දී පාප්තුමන් පිළිගත් බව සඳහන් කර තිබිණි. යුද සමයේ සිදුවූ දෑ පිළිබඳ එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ ක්‍රියාදාමය අරභයා සෘජු අදහස් දැක්වීමක් එතුමන් නොකළ බවත්, එහෙත් පැරැණි තුවාල පෑරවීම සඳහා නොව සත්‍ය සොයමින් සහයෝගිතා හා සංහිඳියා ක්‍රියාදාමයක් ඔස්සේ සැබෑ සාමය ළඟා කරගත යුතු යැයි ප්‍රකාශ කළ බවත් එහි දැක්වේ.

වතිකානය උපුටමින් එය තවදුරටත් වාර්තා කර තිබුණේ ගුවන් තොටුපොළේ සිට පැමිණෙන අතර ලක්ෂ 2, 3 ක පමණ ජනකායක් පාප්තුමන් පිළිගැනීමට පෙළගැසී සිටි බවයි. ලොව මුල් පෙළේ ජාත්‍යන්තර මාධ්‍ය පාප්වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ සජීවීව තොරතුරු වාර්තා කළේය. එම සංචාරයේ සෑම සිදුවීමක් පිළිබඳවම ඊට ඇතුළත් විය. ඉකුත් 14 වැනිදා දිනය ප්‍රසිද්ධ නිවාඩු දිනයක් බවට ප්‍රකාශ කරමින් ද ශ්‍රී ලංකා රජය පාප්තුමන්ට ගෞරව කළ බව එම වාර්තාවල දැක්විණි.

සෑම මාධ්‍යයකම පාහේ විශාල ‍අවධානයක් යොමුවූයේ කොළඹට රැස්වූ අතිවිශාල ජන සමූහයයි. කඳුකරයේ ඈත ගම්මානයේ ජීවත්වූ පුංචි මිනිසාගේ පටන් මහල් මන්දිරවල ජීවත්වූ මිනිසා දක්වා භේදයකින් තොරව එම ජන සමූහය අතරට එක්ව සිටි බව ඒ. පී. වාර්තාවක සඳහන් විය. එම සංචාරයේදී පාප්තුමන් රෝගීන්ට සහ ආබාධිත තැනැත්තන්ට ආශීර්වාද කළ අවස්ථා සංවේදී හා හැඟුම්බර ඒවාය. මඩු දේවස්ථාන භූමියට රැස්ව සිටි ජනකාය අතර සිටි 11 හැවිරිදි දරුවකු ගැන විශේෂයෙන් දැක්වූ ඒ. පී. පුවත් සේවය “මට කතා කරන්නට බෑ. කරුණාකර මට ආශීර්වාද කරන්න” යනුවෙන් සඳහන් ටී - ෂර්ට් එකක් ඔහු ඇඳගෙන සිටි බවත්, ඔහුගේ මව පාප්වහන්සේ දෙසට එම දරුවා එසවූ බවත් එහි දැක්විණි.

සිය ආසියානු සංචාරයේ ඊළඟ අදියර ලෙස ශ්‍රී ලංකාවෙන් නික්ම ගිය පාප්වහන්සේ ළඟාවූයේ පිලිපීනයටයි. පිලිපීනය ආසියාවේ විශාලතම රෝමානු කතෝලික රාජ්‍යය වන අතර ලොව තෙවන වැඩිම කතෝලික ජනගහනය සිටින රාජ්‍යය ද වේ.

එහිදී ලැබුණු පිළිගැනීම ගැන සඳහන් කළ පාප්තුමන්ගේ ප්‍රකාශක ලොම්බාඩි පියතුමන් ශ්‍රී ලංකාවේදී ලද සාම්ප්‍රදායික සංස්කෘතිකාංග සහිත පිළිගැනීම හා පිලිපීනයේදී ලද පිළිගැනීම අතර වූ සංස්කෘතික වෙනස තමන්ට දැනුණු බව පවසා තිබිණි. එහිදී පාප්තුමන් පිළිගැනීමට උන්වහන්සේට තම ආදරය පළකළ ටීෂර්ට් ඇඳ සිටි යෞවන යෞවනියන් දහස් ගණනක් යොදවා තිබූ අතර ඔවුහු හඬ නඟමින් උන්වහන්සේ පිළිගත්හ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා