මුද්‍රණය සඳහා

 
ඉන්ධන සහ විදුලි බලය සඳහා නිශ්චිත මිල සූත්‍රයක් හඳුන්වා දෙනවා

ඉන්ධන සහ විදුලි බලය සඳහා නිශ්චිත මිල සූත්‍රයක් හඳුන්වා දෙනවා

- ඇමැති පාඨලී චම්පික රණවක

ඉන්ධන සහ විදුලි බලය සඳහා නිශ්චිත මිල සූත්‍රයක් හඳුන්වා දෙන බව විදුලි බල හා බලශක්ති නව ඇමැති පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඇමැතිවරයා මේ බව පැවසුවේ සිය තනතුරේ වැඩ භාර ගැනීම වෙනුවෙන් ඛනිජ තෙල් අමාත්‍යාංශයේ ඊයේ (16) පැවති චාම් උත්සවයකදීය.

ඇමැති පාඨලී චම්පික රණවක මහතා වැඩ භාරගත් අයුරු. රාජ්‍ය ඇමැති පාලිත රංග බණ්ඩාර මහතා පසකින් සිටී.

තවදුරටත් අදහස් දැක් වු ඇමැතිවරයා මෙසේ ද පැවසීය.

ශක්තිමත් මහජන සේවාවක් සපයමින් ජනතාවට සහන ලබ‍දීමට අප පියවර ගන්නවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දින සියයේ වැඩපිළිවෙළ යටතේ විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ විප්ලවයක් සිදු වෙනවා.

එහි ආරම්භයක් ලෙස ඉන්ධන සහ විදුලිය සදහා මිල සූත‍්‍රයක් හදුන්වා දීමට නියමිතයි.

නව යුගයක් ආරම්භවන මේ මෙහොතේ බලශක්ති ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු ආයතනයන් එකම මහගෙදරක් යටතට ගෙන, ආර්ථිකයේ ප්‍රධාන සංධිස්ථානයක් වන බලශක්ති ක්ෂේත්‍රයේ සුරක්ෂිතතාවය තහවුරු වන අන්දමින් තිරසාර පදනමක් යටතේ ක්‍රියාත්මක කරනවා.

විදුලිබල ක්ෂේත්‍රය වෙනුවෙන් නව මිල සූත්‍රයක් සකසා, අවම පරිහරණයක් සහිත පොදු මහජනතාව වෙනුවෙන් අවම මිලක්ද, වැඩි පරිහරණයන් සහිත විදුලි පාරිභෝගිකයන් වෙත ඊට සරිලන අය ක්‍රමයක්ද සැකසීමටත්, ඛනිජතෙල් වෙනුවෙන්ද මිල ක්‍රමයක් සකසනවා.

මෙතෙක් කලක් පිටස්තර ජාවාරම්කරුවන්ගේ අදිසි හස්තයන්ගෙන් බලශක්ති ක්ෂේත්‍රය මුදා ගැනීමට විශාල අරගලයක් කිරීමට සිදුවූ බවත්, ඉදිරියේදි මෙම ජාවාරම්කරුවන්ට මෙම ක්ෂේත්‍රය සඳහා කිසිඳු බලපෑමක් ඇති කිරීමට ඉඩ දෙන්නේ නෑ.

අතීතය, වර්තමානය සහ අනාගතය ගලපමින්, දූෂණ වංචා සහ අක්‍රමිකතා සොයා බලා ඉදිරියේදී එවැනි දේ සිදු නොවීමට ජනතාව දුන් වරම ඉතාමත් සුරක්ෂිත හා ගෞරවාන්විත ආකාරයෙන් යොදා ගන්නාවා. අනතුරුව, කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ පරිශ්‍රයේදී, විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමැති, පාලිත රංගෙබණ්ඩාර මහතා , මධ්‍යහන 12.05 ට යෙදී තිබූ සුබ මොහොතින් සිය අමැතිධූරයෙහි රාජකාරි කටයුතු අරඹමින් මෙසේද කීය.

දුෂිත දේශපාලන චරිත රජයන මෙවන් යුගයක, පාඨලී චම්පික රණවක වැනි අමැතිවරයෙක් යටතේ අමැති ධූරයක් දැරීමට ලැබීම වාසනාවක් .අල්ලස්, දූෂණ සහ අක්‍රමිකතා වලින් බැහැරව එවැනි ක්‍රියාවන්හි යෙදෙන්නන් පිළිබඳ අවධානයෙන් සිටිනවා. රටේ අනාගතය යහපත් කරන්නට දායකවනවා.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]