සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යහපත් සංවර්ධනය උදෙසා වෛද්‍යවරයාගේ සිට කම්කරුවා දක්වා එකමුතුව ඕනෑ

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යහපත් සංවර්ධනය උදෙසා වෛද්‍යවරයාගේ සිට කම්කරුවා දක්වා එකමුතුව ඕනෑ

සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න වැඩ භාරගනිමින් කියයි

යහ පාලනයක් සඳහා යුග පෙරළියක් සිදු කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකයත්වය යටතේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා වෛද්‍යවරයාගේ සිට කම්කරුවා දක්වා වූ සියලුදෙනාගේ එකමුතුවක් පැවැතිය යුතු බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

අලුත් රටක්, අලුත් සංස්කෘතියක්, අලුත් දේශපාලන සභ්‍යත්වයක් මෙරට නිර්මාණය කිරීම උදෙසා සියලු තනතුරු අතහැර ජනාධිපතිවරණයට තරග කළ බවත් අලුත් සමාජ පෙරළිය යටතේ මෙරට දරුවන්ට නිදහසේ ජීවත් වීමට අවස්ථාව සලසා දීම මේ දේශපාලන ගමන් මඟේ අරමුණ බවත් ඇමැතිවරයා කීය.සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අභිනවයෙන් වැඩ බාර ගනිමින් සුවසිරිපායේ දී ඇමැතිවරයා මේ බව ඊයේ (16) ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මෙසේද පැවැසුවේය. අද මගේ දේශපාලන ජිවිතයේ බොහොම සුන්දර දවසක්. මේ අමාත්‍යාංශයේ අවුරුදු 15 ක් මම දන්ත වෛද්‍යවරයෙකු ලෙස පමණක් නොවෙයි වෘත්තීය සමිති නිලධාරියෙක් ලෙසත් කටයුතු කළා.

මේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ මම ඉන්නකොට ඉතිහාසයේ පළමුවැනි වරට සනීපාරක්ෂක කම්කරුවාගේ සිට වෛද්‍යවරයා දක්වා වූ සියලුම වෘත්තීය සමිති එක තැනකට ගෙනල්ලා මගේ නිවසේ පහළ මහලයේ සෞඛ්‍ය සන්ධානයේ කාර්යාලය පිහිටුවා අපි දිර්ඝ අරගලයක් කළා. එදා තමයි ප්‍රථම වතාවට වෛද්‍යවරුන් සහ කම්කරුවන් එකට වාඩිවෙලා අරගලයක් කළේ. ඒකට නායකත්වය දුන්නේ මං. එම සහයෝගිතා ව්‍යාපාරයේ කැඳවුම්කරු වශයෙන් මම ක‍්‍රියා කළේ මහා භීෂණ සමයක. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය මට අලුත් නැහැ. මගේ ගෙදර වගේ මේ අමාත්‍යාංශය.

එවකට හිටපු මගේ නායකයා විජයකුමාරතුංගව වෙඩිතියලා මරා දැම්මට පස්සේ ඔහු තමයි 89 මහ මැතිවරණයේ දී කොළඹ දිස්ත‍්‍රික්කයට නායකත්වය ලබාදෙන්නට හිටියේ. ඔහු නැති වූ වෙලාවේ දිවංගත වයි.පී සිල්වා මගේ ලේකම්වරයා කිවුවා රාජිත විජය දැන් නැහැ නමක් තියෙන කෙනෙක් නැහැ. එක්සත් සමාජවාදී පෙරමුණෙන් තරග කරන්නට රාජිතට පුළුවන් නේද කියලා. මම කිවුවා මම තරග කළොත් මගේ රස්සාවත් නැහැ. මන්ත‍්‍රී කමත් නැතිවෙනවා කියලා. අවුරුදු 15ක් මගේ සේවය.

නමුත් ඔහු කිවුවා මොකද කරන්නේ කවුරුවත් නැහැනේ අපිට කියලා. මං කිවුවා හරි මං අයින් වෙනවා කියලා. මම ගෙදර ගියා මගේ නෝනාට කිවුවා, පොඩි දරුවෝ දෙන්නට කිවුවා මම රස්සාවෙන් අයින් වෙනවා කියලා. දොස්තර රත්නප‍්‍රියත් ඒ තීන්දුව ගත්තා අපි දෙන්නම තරග කරන්නට. ඒ විදිහට අවුරුදු 15 ක රාජ්‍ය සේවයෙන් ඉවත් වුනා. එදා තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු මගේ අන්තිම දවස. අද මං නැවත මේ අමාත්‍යාංශයට එන්නේ ඇමැතිවරයා විදියට. එදා මං අමාත්‍යාංශයේ ඉඳගෙන ඉල්ලීම් ඉල්ලුවා. අද මං ඇමැතිවරයා විදියට ඔබේ ඉල්ලීම්වලට ඇහුම්කන්දී ඉල්ලීම් ලබාදෙනවා.

මේ යුග පෙරළිය සිදු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ප්‍රථමයෙන්ම ආරාධනා කළේ මං. කලට වේලාවට ඔහු නිවැරදි තීරණයක් ගත්තා. ඒ තීරණය නිසා අද සැබැවින්ම යහ පාලනයක් සහිත යුග පෙරළියක් සිදු කිරීමට හැකි වෙලා තිබෙනවා. මේ යුග පෙරළිය සිදු කළේ මේ රටේ ජනතාව. මාසයක් ඇතුළත සියල්ල සිදු වුණා. මෛත්‍රීපාල මහතා සහ මං එළියට බහිනකොට පක්ෂය අත නොහැරීමට තීරණය කළා.

ඒක අපේ ප්‍රතිපත්තියක්. ශ්‍රීමත් බණ්ඩාරනායක ප්‍රතිපත්තිය ගොඩනඟනවා කියන මතයේ අපි හිටියා. පවුල් වාදයෙන් තොර පක්ෂයක් කළ යුතුයි කියා අප හිතුවා. ශී‍්‍රමත් බණ්ඩාරනායක එදා පංච මහා බලවේගය පිහිටුවා බලාපොරොත්තු වුණේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරුවන්ට මේ පක්ෂය බාරදෙන්න. එහෙත් මේ පක්ෂය ගියේ පවුල්වලට. නමුත් අද පළමුවෙනි වරට ඒ ගොවි පන්තියෙන් යුග පුරුෂයෙක් බිහි වුණා.

බටහිර වෛද්‍ය විද්‍යාවත් සමඟ දේශීය වෛද්‍ය විද්‍යාව එකට එක්ව ප්‍රතිකාර කිරීමෙන් වඩාත් සාර්ථක සෞඛ්‍ය සේවාවක් අපට ළඟා කර ගත හැකියි. බුද්ධදාස රජතුමාගේ කාලයේ සිට පැවතෙන දේශීය වෛද්‍ය ක්‍රමය නැවත ආරම්භ කළ යුතුයි. සැඟව පවතින මේ වෛද්‍ය ක්‍රමය සම්බන්ධයෙන් සොයා බලා එළියට ගෙනැවිත් විද්‍යාත්මකව එම වෛද්‍ය ක්‍රමයත් මේ රටේ ජනතාවගේ සුව සම්පන්නභාවය උදෙසා යොදා ගත යුතුයි. ඉන්දියාවේ එකම රෝහලේ බාහිර රෝගී අංශයේ තිබෙනවා බටහිර වෛද්‍ය වේදය, ආයුර්වේදය සහ හොමියෝපති ක්‍රමය.

අපිත් ඒක ආරම්භ කරමු. වෛද්‍යවරු විදිහට අපේ ඔළු වෙනස් කර ගනිමු. බටහිර වෛද්‍ය විද්‍යාව විතරක් නොවෙයි එකම වෛද්‍ය විද්‍යාව, තව නොයෙකතුත් වෛද්‍ය ක‍්‍රම තිබුණා. ඒ සියල්ල අපි එකතු කර ගනිමු. වෛද්‍යවරු වෙන අපිත් සමහර වෙලාවට පිටකොන්දේ අමාරුවට තෙල් ගාගන්න ආයුර්වේද වෛද්‍යවරයා ළඟට යනවා. නමුත් අපි හිතනවා බටහිර වෛද්‍ය ක්‍රමය විතරයි හොඳ කියලා. අපි ඉගෙනගත්ත දේ තමයි විද්‍යාත්මකව හරියට පර්යේෂණ කරලා කරලා තියෙන්නේ. ඒ විද්‍යාත්මක තත්ත්වයට අපේ ආයුර්වේදය ගේන්නට ඕන.

මේ අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, බස්නාහිර පළාත් සභා සෞඛ්‍ය ඇමැති රංජිත් සෝමවංශ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුධර්මා කරුණාරත්න, දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් පර්ල් වීරසිංහ, ධීවර අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, හිටපු සෞඛ්‍ය ලේකම්වරුන් වන වෛද්‍ය ජෝ ප්‍රනාන්දු, වෛද්‍ය අතුල කහඳලියනගේ, හිටපු අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරින් රැසක් සහභාගි වූහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා