බුලත් ‍කොළයට ඡන්දය දුන් ජනතාවගේ අභිලාෂයන් පාවා දෙන්න සූදානම් නැහැ

බුලත් ‍කොළයට ඡන්දය දුන් ජනතාවගේ අභිලාෂයන් පාවා දෙන්න සූදානම් නැහැ

- විමල් වීරවංශ

කවර ආකාරයක මඩ ප්‍රහාර, අවලාද එල්ල වුවත්, මර්දන මෙහෙයුම් ක්‍රියාත්මක වුවත් ඒවාට බිය වී  බුලත් කොළයට ඡන්දය දුන් ලක්ෂ 58 ක ජනතාවගේ අභිලාෂයන් පාවාදීමට ජාතික නිදහස් පෙරමුණ අපි සූදානම් නැතැයි එම පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී ඊයේ (16) පැවැති මාධ්‍ය හමුවක දී විමල් වීරවංශ මහතා මෙසේ අවධාරණය කළේය.

‍එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“පසුගිය ජනාධිපතිවරණය ඉතාම තීරණාත්මක මැතිවරණයක් බවට පත් වුණා. මෛත්‍රීපාල සිරිසේන මහතා ලක්ෂ 4 ½ ක පමණ වැඩි ඡන්දයකින් ජයග්‍රහණය කරනු ලැබුවා. උතුරු - නැ‍‍ඟෙනහිර පළාත්වල සුළු ජාතික ඡන්දදායකයාගේ විශේෂ අනුග්‍රාහක ඡන්ද ප්‍රමාණය හේතුවෙන් තමයි එතුමාට එවැනි වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගත හැකි වූයේ. ඒ තොරතුරු සියුම්ව අධ්‍යයනය කරන කෙනකුට ඒ බව පැහැදිලිව පෙනෙනවා. ඒක වරදක් ලෙස අපි දකින්නේ නැහැ. නමුත් සත්‍ය තත්ත්වය එය බව කිව යුතුව තිබෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලක්ෂ 58 ක ඡන්ද ප්‍රමාණයක් ලැබුණා. ඒ ඡන්ද ප්‍රමාණය පිළිබඳ වගකීම අපට තිබෙනවා. මෙම මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතාට සහ එතුමාගේ පවුලේ අයට ඉතාම විශාල ලෙස අවලාද, මඩ ප්‍රහාර සමාජ ජාල වෙබ් අඩවි හරහා ගෙන ගියා. ඒවා තරුණ ඡන්දදායකයන් වෙත විශාල බලපෑමක් කරනු ලැබුවා. බොහොම අශ්ලීල මැතිවරණ ව්‍යාපාරයක් ප්‍රතිවාදී පාර්ශ්වයෙන් ක්‍රියාත්මක වුණා.

එවැනි තත්ත්වයක් තුළ තමයි මහින්ද රාජපක්ෂ මහතාට මේ ඡන්ද ලක්ෂ 58 ලැබුණේ. අපි විශ්වාස කරනවා එම ඡන්ද ප්‍රමාණය ඉතාමත් වැදගත් ඡන්ද ප්‍රමාණයක් ලෙස. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඒ ඡන්ද ප්‍රමාණය ඊට ඉහළ අඩියකට ඔසවා තැබීමට අපට හැකියාව තිබෙනවා. එසේ තිබිය දී ඇතැම් කොටස්, මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපතිතුමා සමඟ එකට එකතු වී ඒ ලක්ෂ 58 ක ජනතාව පාවාදීමට කටයුතු කිරීම අපි කිසි ලෙසකින්වත් අනුමත කරන්නේ නැහැ. ඒ ජනතාවගේ අභිලාෂයන් පරාජයට පත් කිරීමට කටයුතු කිරීම අපි කිසිලෙසකින්වත් අනුමත කරන්නේ නැහැ.

පසුගිය ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති හා අරමුණු සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති හා අරමුණු අතර පැහැදිලි වෙනසක් තිබෙනවා. ඒ පැහැදිලි වෙනස නිසා තමයි ඉහත කී අවලාද හමුවේ වුවත් ලක්ෂ 58 ක ජනතාවක් බුලත් කොළයට කතිරය ගැහුවේ. එවැනි ප්‍රතිපත්තීන්හි වෙනසක් නොමැති නම් මේ ලක්ෂ 58 ත් හංසයාටම කතිරය ගහන්න තිබුණා. ඒත් එහෙම වුණේ නැහැ.

ඒ නිසා ඉහත කී ලක්ෂ 58 ක ජනතාවගේ අභිලාෂයන්වලට පයින් ගහලා අපට බැහැ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ වැඩපිළිවෙළත් එක්ක එකතු වෙන්න. එතුමා සමඟ තිබෙන පෞද්ගලික ආරවුලකට නොවෙයි. නමුත් ඒ වැඩපිළිවෙළ අපට පිළිගන්න බැහැ. ඒ වැඩපිළිවෙළ පිළිගන්නේ නැති නිසා තමයි අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් පුරෝගාමීව දායක වුණේ. “මොන විදිහේ මඩ ප්‍රහාර අවලාද එල්ල වුණත්, මර්දනය මෙහෙයුම් ක්‍රියාත්මක කළත් ඒවාට බියවෙලා, දණ ගහලා මේ ලක්ෂ 58 ක මහජන අභිලාෂය පාවා දෙන්න අපි සූදානම් නැහැ” කියලා අපි මේ රටේ ජනතාවට සහතික වෙනවා.

දැන් මුස්ලිම් කොංග්‍රසය කියනවා “නැඟෙනහිර පළාතේ පාලනය දෙමළ ජාතික සන්ධානයට භාර දෙනවා” කියලා. අපි කල් තියා පෙන්වා දුන්නා රාවුෆ් හකීම් මහතාගේ උවමනාව. ඔවුන්ට අවශ්‍ය වුණේ දකුණේ සිංහල - මුස්ලිම් ගැටුම් අවුලවලා නැ‍ඟෙනහිර මුස්ලිම් ජනතාවගේ සහාය ඇතිව උතුරු - නැ‍ඟෙනහිර පළාත් දෙක ඒකාබද්ධ කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානය සමඟ සහවාසයකට යාම. අපි මේ දේවල් බොහෝ කලින් කීවේ. ඒ කියපු දේශපාලන අනාවැකි අද සැබෑ වෙමින් තිබෙනවා.

අපට විරුද්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබෙනවා. 2008 ට පෙර මම ජනතා විමුක්ති පෙරමුණේ සිටින විට අවලාද ගැසීමට රාවය පුවත්පත යොදා ගත් නිවසම යොදාගෙන තමයි අදත් මේ විදිහට අවලාද ගහන්නේ. අපි සූදානම් ඒ ඕනෑම එකකට උත්තර දීමට. “රිච්ලුක්” නැමැති සමාගමක කොටස් මගේ බිරියට තිබෙන බවත්, එම පැමිණිල්ලේ සඳහන්. ඒ වගේ අනන්ත අප්‍රමාණ බොරු චෝදනා එම පැමිණිල්ලේ තිබෙනවා.

මට හෝ මගේ බිරියට හෝ මගේ පවුලේ අයකුට “රිච්ලුක්” සමාගමේ කොටස් තිබෙනවා කියා ඔප්පු කළොත් මම දේශපාලනයෙන් සමුගන්නවා. පට්ටපල් බොරු දාලා ඒ චෝදනා හදලා තියෙන්නේ. මේවාට මාධ්‍යවලින් ප්‍රචාරය ලැබුණාම අහිංසක මිනිස්සු මේවා ඇත්ත කියා හිතනවා. මෙම මාධ්‍ය හමුවට ජානිපෙ මාධ්‍ය ප්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්, ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහත්වරු ද සහභාගි වූහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා