සියලු මාධ්‍යවේදීන්ගේ සිහින සැබෑ කිරීම මගේත් සිහිනයයි

සියලු මාධ්‍යවේදීන්ගේ සිහින සැබෑ කිරීම මගේත් සිහිනයයි

එම දිනය වැඩි ඈතක නොවන බව ජනමාධ්‍ය ඇමැති අවධාරණය කරයි

සියලු මාධ්‍ය‍වේදීන්ගේ සිහිනයන් සැබෑ කිරීම තමාගේ ද සිහිනය බව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කෙළේය. බෝඩිමක, පන්සලක, කාමරයක නැවතී නොයෙකුත් ප්‍රශ්න මධ්‍යයේ වෘත්තියේ නියැළෙන මාධ්‍යවේදීන්ට, ඉඩමක්, නිවසක්, මෝටර් බයිසිකලයක්, විදේශ ශිෂ්‍යත්වයක් ලබාගැනීමට ඇති සිහින සැබෑ වන දිනය වැඩි ඈතක නැතැයි ද ඇමැතිවරයා කීය.

අභිනව මාධ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (16) සිය ධුරයේ වැඩ අරඹමිනි. කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමි හා ගාල්ල කෝරළේ ප්‍රධාන සංවිධායක වෑකඩහේනේ කුසලඥාණ හිමියන් අභිනව ඇමැතිවරයාට ආශීර්වාද කරමින් අනුශාසනා කළහ.

මාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතාට සඟරුවන ආසිරි පතමින්
ඡායාරූපය - සමන්ත වීරසිරි

ඇමැතිවරයා මෙසේ ද කීය.

ඕනෑම රටක විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය හැරුණු විට ප්‍රධාන තැන ලෙස සලකන්නේ ජනමාධ්‍යයයි. සිව්වන ආණ්ඩුව ලෙස ද ජනමාධ්‍ය පිළිගැනීමට ලක්වෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැනි ප්‍රබුද්ධ නායකයෙක් යටතේ ජනමාධ්‍ය පරපුරකින් පැවත එන අගමැතිවරයෙක් සිටින ආණ්ඩුවක ප්‍රබලම අමාත්‍යාංශයක කැබිනට් ධුරය ලබාදීම සඳහා මා කෙරෙහි තබා ඇති විශ්වාසය පිළිබඳ මා සතුටට පත් වෙනවා.

දශකයකට වැඩි කාලයක් ප්‍රධානතම දේශපාලන පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරමින් පක්ෂය හැලහැප්පීම්වලට ලක්ව තිබෙන යුගයේ එහි මතය නිවැරදිව හැසිරවීමේ අවස්ථාව මට ලැබුණා. මා හැමදාම මාධ්‍ය සහ මාධ්‍යවේදීන් සමඟ සුහදව කටයුතු කළා. මාධ්‍ය ඇමැතිවරයා වශයෙන් ඉදිරියේදී ඊටත් වඩා සුහදව කටයුතු කිරීමට හැකිවේවි යැයි මම විශ්වාස කරනවා.

මාධ්‍ය ඇමැති ධුරය දුෂ්කර අභියෝගයක්. දැලි පිහියෙන් කිරි කනවා වගේයි. මාධ්‍ය ඇමැති ලෙස මම මේ පුටුවේ අසුන් ගත්තේ එම අභියෝගය පිළිබඳ අවබෝධයෙන්. අපේ රටේ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් පසුගිය කාලයේ සිදුවූ සිද්ධීන් පිළිබඳ සතුටු විය නොහැකිය. විපක්ෂයේ සිටියදී පැවැති ආණ්ඩුවට ප්‍රධාන මිසයිල ලෙස එල්ල කළේ මාධ්‍ය නිදහස පිළිබඳවයි.

මාධ්‍ය නිදහස රට තුළ තහවුරු කිරීමේ භාරධූර වගකීම මට භාර වී තිබෙනවා. රාජ්‍ය මාධ්‍ය පවතින තත්ත්වයෙන් මුදාගැනීම විශාල අභියෝගයක්. ඒවා රජයේ හොරණෑවක් වී තිබුණා. මෙය නිවැරදි කළ යුතුයි. ආණ්ඩුවට හිතවත් නම් මෙම තත්ත්වය නැති කළ යුතුයි. රජය මාධ්‍ය භාවිතය හේතුවෙන් ජනතාව අතර තිබූ ගෞරවය කෙ‍ෙළසා ගත්තා. බලා ඉඳිද්දී ජනතාව රාජ්‍ය මාධ්‍ය‍යෙන් ඈත්වුණා.

එසේම ජනතාව රජයෙන් ඈත්වුණා. මාධ්‍ය ආයතනවල පැවති වැරදි කළමනාකරණය ගැළපෙන අයුරින් නිවැරදි කිරීම සඳහා ගැළපෙන සුදුසු පුද්ගලයින් ඒවායේ තනතුරුවලට පත්කර සැමගේම අදහස්වලට ඇහුම්කන් දෙමින් යහපාලනය ඇතිකිරීමට කටයුතු යොදනවා. ඉලෙක්ට්‍රොනික් මාධ්‍යයේ වැඩසටහන්වල ප්‍රමිතිය, ගුණාත්මක බව, භාෂාව හැසිරවීම පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. මා හොඳ ගුවන් විදුලි ශ්‍රාවකයෙක්. ඇතැම් වැඩසටහන්වලට සවන් දෙන විට ඒවායේ ගුණාත්මක බව පිළිබඳව විශාල කනගාටුවක් ඇතිවෙනවා.

ජනමාධ්‍ය සභ්‍යත්වය, සංස්කෘතිය සහ සදාචාරය රැකගත යුතුයි. ජනතාව පත් කළ ආණ්ඩුව ‍රැකගැනීමට නම් රාජ්‍ය මාධ්‍ය මඩ, චරිත ඝාතන නැති කර මධ්‍යස්ථ, ශීලාචාර, යහපත් අලුත් මාධ්‍ය සංස්කෘතියක් ඇතිකළ යුතුයි. මාධ්‍යවේදීන්ගේ ප්‍රමිතිය පිළිබඳව අපගේ අවධානය යොමු වී තිබෙනවා. එහි තත්ත්වය ඉහළ දැමීම සඳහා මාධ්‍යවේදීන් පුහුණු කරන ආයතන ඇතිකිරීමටත් පියවර ගන්නවා. ලැප්ටොප් ලබා දුන් පමණින් මාධ්‍යවේදීන් පිරිපුන් අය බවට පත්වන්නේ නැහැ. ඊට එහා ගිය පරිපූර්ණ දැනුම් සම්භාරයක් ඔවුන්ට ලබාදිය යුතුයි. ජනමාධ්‍ය විෂයය උසස් අධ්‍යාපනයට සම්බන්ධ කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව කටයුතු කිරීමට අදහස් කරනවා.

චිත්‍රපට සංස්ථාව ජනමාධ්‍ය අංශයේ විෂය පථයට එක්වී තිබෙනවා. මාත් හොඳ සිනමා රසිකයෙක්. එම ‍ක්ෂේත්‍රයට බලපාන ගැටලු පිළිබඳ සමීප අවධානය යොමු කරනවා. විශේෂයෙන් ඩිජිටල්කරණයේ ප්‍රශ්න සොයා බලා විසඳීම් ලබා දෙනවා. කලාකරුවන්ගේ ප්‍රශ්න සොයා බලා උන්නතිය වෙනුවෙන් කටයුතු කරනවා. මම දේශපාලන පවුල් පසුබිමක් තිබූ අයෙක්. කැබිනට් ඇමැතිකම් දැරූ අයත් අප පවුලේ සිටියා. දීර්ඝ කාලයක් මම මන්ත්‍රීවරයෙක් ලෙස ආණ්ඩු මෙන්ම විපක්ෂයේ අය සමඟ සුහදව කටයුතු කළා.

අමාත්‍යාංශවල කටයුතු අවුල්වීමට හේතු කිහිපයක් තියෙනවා. ඇමැතිවරයා සහ ලේකම් අතර ගැටුම්. ඇමැතිවරයා සහ සභාපතිවරු අතර ගැටුම්. මම ආයතනයක සභාපතිවරයකු ලෙස පත්වූයේ අවුරුදු විසි ගණන්වලදීයි. රාජ්‍ය ආයතනයක ළාබාලම සභාපතිවරයා වූයේ මමයි. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා කතා කර මට එම වගකීම භාර දුන්නා. “මම ඔයාගෙ වයසෙදි කොළඹ නගර සභාවෙ නගරාධිපති. අද ජනාධිපති. මාව ආදර්ශයට ගන්නැයි ජනාධිපතිතුමා පැවසුවා.

මට තනතුර ලබා දුන්නේ ජනාධිපතිවරයා යැයි සිතා මම ඇමැතිවරු අභිබවා ගියේ නැහැ. හැම විටම යුක්තිගරුකව කටයුතු කළා. ඇමැතිවරු මහජන ඡන්දයෙන් තේරී පත් වූ අය බව මම නිතර සිහියේ තබාගෙන කටයුතු කළා. දක්ෂ, දැන උගත්, ඇසූ පිරූ තැන් ඇති ක්‍රියාශීලී, සුහදශීලී කරුණාරත්න පරණවිතාරණ වැනි ලේකම්වරයෙක් ලැබීම භාග්‍යයක්. සහකාර ලේකම් ද පළපුරුදු ක්‍රියාශීලී අයෙක්. සහයෝගයෙන් ළෙන්ගතුව කටයුතු කළ හැකි ඇමැතිවරයෙකු ලැබී ඇතැයි සිහියේ තබාගෙන කටයුතු කරන්නැයි මා සියලුම සේවකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ගේ දැනුම, පළපුරුද්ද සහ අත්දැකීම් ඉදිරි වැඩසටහන්වලදී උපයෝගී කරගැනීමට මම අපේක්ෂා කරනවා. සියල්ලන්ගේම අදහස් හා චෝදනා මම බාරගන්නවා. විවේචන ඉවසීමට නොහැකි නම් දේශපාලනයේ රැඳී සිටිය නොහැකියි. මාධ්‍යයට බයවෙන්නේ දූෂිත දේශපාලනඥයන්. මාධ්‍යවේදීන්ගේ සුබසාධන පිළිබඳව පාර්ලිමේන්තුවේදී ජනමාධ්‍ය අමාත්‍යාංශ අයවැය කාරක සභාවේදී මම සෑම විටම කතා කළා. එසේම ජාතික සේවක සංගමයේ සේවකයන් සමඟ ද මම ඉතා සුහදව කටයුතු කළා. මම ජනමාධ්‍ය ඇමැති පුටුවේ වාඩිවූයේ දෑත පිරිසුදු දේශපාලනඥයෙක් ලෙසයි. කවදා හරි මෙතැනින් පිටව යන්නේ දෑත පිරිසිදුව තබාගෙන යයි මා ප්‍රකාශ කරනවා.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා - විපක්ෂයේ සිටියදී ජනමාධ්‍ය පිළිබඳ විශේෂ නිරීක්ෂණයකින් කටයුතු කළ ඒ පිළිබඳව ප්‍රායෝගික දැනුමක් ඇති හොඳ මහත්මයකු ජනමාධ්‍ය ඇමැති ලෙස පත්ව තිබෙනවා. ඔහු මෙහෙයුම් ගුරු තරුවක් වේවි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතිය අමතමින් දළදා මාලිගාවේදී ප්‍රකාශ කළේ ඔහු රජකු නොව ජනතා සේවකයකු බවයි. මාධ්‍ය මෙහෙයවීමේදී අපේ පදනම වන්නේත් එයයි. රාජ ආණ්ඩුවක් යටතේ පැවති මාධ්‍ය සංස්කෘතිය අප සහමුලින්ම වෙනස් කරනවා.

මාධ්‍යවේදීන්ට නිදහසේ ලිවීමට, කියවීමට හැකි අයිතිය අප තහවුරු කරනවා. මින්පසු මාධ්‍යවේදීන් පිටුපස සුදු වෑන් එන්නේ නැහැ. අල්ලස් දී ස්වයං වාරණ ඇතිකිරීමට උත්සහ ගන්නේ නැහැ. ජනමාධ්‍ය සීමා විය යුත්තේ ආචාර ධර්ම මතයි. ජනමාධ්‍ය අංශයේ සිදු වී ඇති මහා පරිමාණ දූෂණ සොයා බලා පුළුල් ලෙස කටයුතු කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

පසුගිය සමයේදී ර‍ෙට් නීතිය අමු අමුවේ බිඳ දැමුණා. ඉදිරියේදී එවැනි අභාග්‍ය සම්පන්න තත්ත්වයක් උදාවන්නේ නැහැ. ප්‍රශස්ති ගී ගායනා අවශ්‍ය වන්නේ නැහැ. සෑම දිනකම ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ පින්තූර පළමු පිටුවේ පළකළ යුතු යැයි නියෝග ලැබෙන්නේ නැහැ. එදින රටේ වැදගත් ප්‍රවෘත්තිය පළකිරීමේ නිදහස අප ලබා දෙනවා. සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ සම්මුතීන් ඇතිකිරීමට නියාමන සකස් කිරීම සඳහා ළමා අමාත්‍යාංශය, සංස්කෘතික අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ කටයුතු කරනවා. රාජ්‍ය මාධ්‍ය ශිෂ්ට සම්පන්න විනය ගරුක බව මුල්කරගෙන මෙහෙයවීමට කටයුතු කරන බව ද කීය. මෙම අවස්ථාවට මැති ඇමැතිවරුන්, කලාකරුවන්, මාධ්‍යවේදීන්, ගාලු දිස්ත්‍රික්කයේ ජනතාව ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා