යුරෝපා සංගමයේ කොන්දේසි ක්‍රියාත්මක කරන්න තවත් සය මසක සහන කාලයක් ඉල්ලා තිබෙනවා

යුරෝපා සංගමයේ කොන්දේසි ක්‍රියාත්මක කරන්න තවත් සය මසක සහන කාලයක් ඉල්ලා තිබෙනවා

- ඇමැති දිලිප් වෙදආරච්චි

මෙරට ධීවර කර්මාන්තයට යුරෝපා සංගමයෙන් පනවා ඇති කොන්දේසි ක්‍රියාත්මක කිරීමට තවත් සය මසක සහන කාලයක් ලබාදෙන ලෙස නව රජය ඉල්ලීමක් කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් ඇමැති දිලිප් වෙදආරච්චි මහතා කීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ මේ පිළිබඳව කළ සාකච්ඡාවකින් පසු එම ඉල්ලීම යුරෝපා කොමිසම වෙත ඉදිරිපත් කර ඇති අතර නව රජය කෙරෙහි විශ්වාසය තබමින් එම සහන කාලය අපට හිමිවනු ඇතැයි ද අවධාරණය කළේය.

ඇමැතිවරයා මේ අදහස් පළ කළේ ඊයේ (16) ධීවර රාජ්‍ය අමාත්‍ය ධුරයෙහි රාජකාරි අරඹමින් එම අමාත්‍යාංශයේදී පැවැති උත්සවයේදීය.

එහිදී ඇමැතිවරයා මෙසේ ද අදහස් දැක්වීය.

හිටපු ධීවර ඇමැති රාජිත සේනාරත්න මහතා මේ කොමිසමේ කොන්දේසි සපුරාලීමට විශේෂ වැඩ කොටසක් කළා. එහෙත් එතුමාට පසුගිය රජයේ ප්‍රතිපත්ති මෙන්ම ආර්ථික බලපෑම නිසා මේ ගැටලුව නිරාකරණය කරගන්න බැරි වුණා. මේ තත්ත්වය යටතේ ලංකාවේ ධීවර ක්ෂේත්‍රය කඩා නොවැටී තබාගන්න අපගේ උත්සාහයයි. මෙරට කෙළවල්ලන් අපනයනය පහත වැටුණොත් අනෙක් සෑම මත්ස්‍ය නිෂ්පාදනයක්ම පහත වැටෙනවා. එසේ වූ විට ධීවර ක්ෂේත්‍රයේ කඩාවැටීම සිදුවනවා. මේ දේ සිදුනොවීමට වගබලා ගැනීමයි මගේ අරමුණ. මේ අමාත්‍යාංශයේ තිබෙන දියවර දිරිය වැඩසටහන, ධීවර රක්ෂණ ක්‍රමය, ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමය ඇතුළු සංවර්ධන වැඩසටහන් මා ඉදිරියට ගෙන යනවා. ධීවර අමාත්‍යාංශය අනුබද්ධ ආයතන 07 ක සේවකයන් 4097 ක් සිටිනවා. දින 100 වැඩසටහනට අනුව මේ වසර සඳහා වෙන්වී ඇති රුපියල් මිලියන 2295 න් වරායන්, නැංඟුරම්පොළ හා තොටුපොළ ඉදිකරන්න, ධීවර රක්ෂණ විශ්‍රාම වැටුප්, ණය ආධාර, දැල් ආම්පන්න ඇතුළු සංවර්ධන කාර්යයන් රැසක් සිදුකරන්න මා බලාපොරොත්තු වනවා.

මෙරට ධීවර කර්මාන්තයේ ආරම්භකම ක්ෂේත්‍රය වන මාදැල් ධීවර කර්මාන්තය මගේ පවුලටත් ඉතා සම්බන්ධයි. දකුණු පළාතේ හම්බන්තොට දිස්‍ත්‍රික්කයේ මාදැල් කර්මාන්තයේ මූලිකත්ව‍ය ගෙන කටයුතු කළේ මගේ පියාණන් ඇතුළු සැමයි. මා නිරතවන්නේත් ඒ ක්ෂේත්‍රයෙයි. අපි සැබෑ ධීවර සාමාජිකයන්. මේ නිසා එම කර්මාන්තය ද සුරැකීමට අප විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.

මේ අවස්ථාවට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති හා හිටපු ධීවර ඇමැති රාජිත සේනාරත්න, නිවාස හා සමෘද්ධි ඇමැති සජිත් ප්‍රේමදාස, විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති රංගේ බණ්ඩාර, ධීවර අමාත්‍යාංශ හිටපු ලේකම් ආචාර්ය ඩී. එම්. ආර්. බී. දිසානායක, ධීවර අමාත්‍යාංශ අතිරේක ලේකම් ජී. ජී. පී. කිත්සිරි මහත්වරු ද, ධීවර අමාත්‍යවරයාගේ පවුලේ සාමාජිකයන් සහ හම්බන්තොට දිස්ත්‍රික් ධීවර ජනතාව ද, අමාත්‍යාංශ නිලධාරීහු ද එක්වූහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා