ශ්‍රීලනිපය රැකගන්න මෛත්‍රීට නායකත්වය දුන්නා

ශ්‍රීලනිපය රැකගන්න මෛත්‍රීට නායකත්වය දුන්නා

- මහින්ද රාජපක්ෂ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වී යාමේ අනතුරට මුහුණ දෙනු දැකීමට තිබෙන බලවත් අකමැත්ත නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පක්ෂයේ නායකත්වය ඊයේ (16) දින සිට බාර දුන් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

තමා මෙම තීරණය ගනු ලැබුවේ අඩසිය වසකට ආසන්න කාලයක් පුරා සාමාජිකත්වය ද, නායකත්වය දක්වා නොයෙකුත් නිලයන් දරමින් අතිමහත් කැපකිරීමක් කොට රැක බලාගත් හා ගොඩනැඟූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වී යාමේ අනතුරට මුහුණ දෙනු දැකීමට ඇති බලවත් අකමැත්ත නිසා යැයි ද මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් කරමින් මේ බව ප්‍රකාශ කැර තිබේ. එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ. අප මාතෘ භූමිය සේම එය ආරක්ෂා කැර ගැනීමට ද, ගොඩනැගීම සඳහා ද ඉවහල් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත්ව තබාගැනීම එයට ආදරය කරන අප සැමගේ වගකීමය.

එබැවින් නව නායකත්වය ද, විධායක මණ්ඩලය ඇතුළු සමස්ත නිලයන් ද පක්ෂයේ සේම මුළුමහත් දේශයේම අභිවෘද්ධිය වෙනුවෙන් පක්ෂය මෙහෙයවිය යුතුය.පාක්ෂිකයන්ගේ ආරක්ෂාව ද පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කැර ගැනීමේ වගකීම කෙරෙහි ද ඔබ සියලුදෙනාගේ අවධානය යොමු වන බව මට විශ්වාසය.

එසේම පසුගිය ජනාධිපතිවරණයේදී මා වෙත ඡන්දය ප්‍රකාශ කළ පනස්හත්ලක්ෂයක් ඉක්ම වූ සමස්ත මහජනතාවගේ ප්‍රාර්ථනා හා අභිලාෂයන් වෙනුවෙන් ඉදිරියටත් මම දැඩිව පෙනී සිටින බව මේ මොහොතේ තවදුරටත් අවධාරණය ක‍රමි. පසුගිය කාලය පුරා මා වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් ඔබ සැමට හෘදයාංගම ස්තූතිය පුද කරන්නට ද මෙය අවස්ථාවක් කොට ගනිමි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා