මුද්‍රණය සඳහා

 
බංගබන්ධු රන් කුසලාන පාපන්දු සටනට ශ්‍රී ලංකාව සමඟ රටවල් 6ක් සූදානම්

බංගබන්ධු රන් කුසලාන පාපන්දු සටනට ශ්‍රී ලංකාව සමඟ රටවල් 6ක් සූදානම්

රටවල් 6ක සහභාගිත්වයෙන් පැවැත්වෙන බංගබන්ධු රන් කුසලාන පාපන්දු තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා පිල මේ 26වැනිදා බංග්ලාදේශයේ ඩකා නුවරට පිටත්වෙයි. තායිලන්තය, මැලේසියාව, බහරේන්, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව හා සත්කාරක බංග්ලාදේශය මේ රන් කුසලාන පාපන්දු තරගාවලියට සහභාගි වෙති.

ශ්‍රී ලංකා පාපන්දු පිල මේ වසරේ සහභාගිවන මුල්ම අන්තර්ජාතික පාපන්දු තරගාවලිය මෙයවන අතර සැප්තැම්බර් මස ඉන්දියාවේ පැවැත්වෙන සාෆ් පාපන්දු තරගාවලියට යහපත් පෙරහුරුවක් ලෙස සැලකේ.

පසුගිය වසරේ අග භාගයේදී ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර සුහද පාපන්දු තරග දෙකක් පැවැති අතර එය 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.ශ්‍රී ලංකා පාපන්දු පිල බංගබන්ධු රන් කුසලාන පාපන්දු තරගාවලියට කැමැත්ත පළකොට ඇත්තේ ඔස්ට්‍රේලියාවේදී නිමාවට පත්වූ ආසියානු පාපන්දු සම්මේලන විධායක සභාවේදී ශ්‍රී ලංකා-බංග්ලාදේශ පාපන්දු නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාවකදීය.

මේ තරගාවලියට බහරේනයේ හා සිංගප්පූරුවේ වයස අවුරුදු 23න් පහළ කණ්ඩායම් එක්වන අතර අනෙක් රටවල මුල්පෙළේ ක්‍රීඩකයෝ සහභාගි වෙති.බංග්ලාදේශයේ ජාතියේ පිය ලෙස සැලකෙන ෂේක් මුජිබර් රහ්මාන් මහතා අනුස්මරණය කරමින් බංගබන්ධු රන් කුසලාන පාපන්දු තරගාවලිය සංවිධානය කොට ඇති බව එරට පාපන්දු සම්මේලනය පවසයි. බංගබන්ධු රන් කුසලාන පාපන්දු තරගාවලිය 1996දී ආරම්භ වූ අතර එහිදී මැලේසියා‍ව ශූරතාව හා ඉන්දුනිසියාව අනුශූරතාව දිනා ගත්හ.

වසර 1999දී පැවැති තරගාවලියේදී ජපාන පාපන්දු ලීගය ශූරතාව හා ඝානා ඔලිම්පික් කණ්ඩායම අනුශූරතාව දිනා ගත්හ. අනතුරුව බංගබන්ධු රන් කුසලාන පාපන්දු තරගාවලිය සංවිධායන කිරීමට හැකියාව ලැබී නොමැත.ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමක් බංගබන්ධු රන් කුසලාන පාපන්දු තරගාවලියට පිවිසෙන පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක්වේ.

තරගාවලියේ තරග කාලසටහන ඉදිරි සතියේදී ප්‍රකාශයට පත්කරන බව බංග්ලාදේශ පාපන්දු සම්මේලනය සඳහන් කර සිටී.තරගාවලියේ ජයග්‍රාහකයන්ට මුදල් තෑගි ලබාදෙන අතර ශූරයන්ට අගල් 22ක් උසැති රන් අලේපිත කුසලානය පිරිනැමේ.බංගබන්ධු රන් කුසලාන පාපන්දු තරගාවලිය ජනවාරි 29දා ඇරැඹෙන අතර පෙබරවාරි 8දා අවසන් මහා තරගය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මේ තරගාවලියට එක්වන කණ්ඩායම් ලෝක පාපන්දු කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව බහරේන් (110), තායිලන්තය (144), මැලේසියාව (154), සිංගප්පූරුව (157), බංග්ලාදේශය (165) හා ශ්‍රී ලංකාව (172) ලෙස රැදී ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]