දික්වැල්ලගෙන් ශතකයක්

අන්තර් සමාජ තුන්දින ක්‍රිකට්

දික්වැල්ලගෙන් ශතකයක්

නිරෝෂන් දික්වැල්ලගේ විශිෂ්ට ශතකය හේතුවෙන් බදුරලිය ක්‍රීඩා සමාජය සමග එන්.සී.සී පිටියේදී ‍ඊයේ ආරම්භ වූ තුන්දින තරගයේදී එන්.සී.සී පිල පළමු ඉනිමට කිසිවකු නොදැවී ලකුණු 253ක් රැස්කරගෙන සිටියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ පැවැති මේ තරගයේදී බදුරලි පිල ලකුණු 179ක් රැස්කළ අතර එන්.සී.සී පිල කඩුලු 10ක් අතැතිව ලකුණු 74ක් ඉදිරියෙන් සිටී.

එන්.සී.සී පිළිතුරු ඉනිමේ දී නිරෝෂන් දික්වැල්ල ලකුණු 175ක් රැස්කළේ පන්දු 154කට මුහු දෙමිණි. ඔහුගේ ඉනිම හතරේ පහර 15කින් හා හයේ පහර 5කින් වර්ණවත් විය. ඔහුට අනගි සහයක් ලබාදුන් පවන් වික­්‍රමසිංහ නොදැවී ලකුණු 70ක් රැස්කරගෙන සිටියේය.

කාසියේ වාසිය දිනූ බදුරලිය පිල ලකුණු 179කට සීමාකිරීමට තරිඳු කෞෂාල් ප්‍රමුඛ එන්.සී.සී පන්දු යවන්නෝ සමත්වූහ. ගිහාන් රූපසිංහ පන්දු 65කින් ලකුණු 56ක් රැස්කළ අතර තරිඳු කෞෂාල් කඩුලු 5ක් හා දුෂ්මන්ත චමීර කඩුලු 2ක් දවාගත්තේය.

බදුරලිය පළමු ඉනිම-179 (ඕවර 42.2) ගිහාන් රූපසිංහ 56, සුරේෂ් නිරෝෂාන් 31 (තරිඳු කෞෂාල් 66/5, දුෂ්මන්ත චමීර 48/2)

එන්.සී.සී පළමු ඉනිම-253 (ඕවර 45) නිරෝෂන් දික්වැල්ල නොදැවී 175, පවන් වික්‍රමසිංහ 70

සී.සී.සී පළමු ඉනිම ලකුණු 103කට සීමාවෙයි

කොළඹ ක්‍රීඩා සමාජ පිටියේ පැවැති 'බී' කාණ්ඩයේ තරගයේදී වරාය අධිකාරිය හමුවේ කොළඹ ක්‍රීඩා සමාජ පළමු ඉනිම ලකුණු 103කට සීමාවිය. තරගයේ පළමු දිනය නිමාවනවිට පිළිතුරු ‍ලෙස වරාය අධිකාරිය පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 181ක් රැස්කරගෙන සිටියේය. කාසියේ වාසිය දිනූ ‍සී.සී.සී පිලේ වැඩිම ලකුණුලාභියා වූ චාමර සිල්වා පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමගින් ලකුණු 35ක් රැස් කළේය.

ඔහු 8වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්වූ අතර ඒ වනවිට මුළු ලකුණු සංඛාව 72ක් විය. නවවැනි කඩුල්ලට එක්වූ ලක්ෂාන් සඳකැන් හා දිනුක හෙට්ටිආරච්චි ලකුණු 31ක් එක් කරමින් ලකුණු සංඛ්‍යාව 103 දක්වා ඉදිරියට ගෙන ගියේය. හෙට්ටිආරච්චි ලකුණු 14කට දැවී ගිය අතර අවසන් කඩුල්ල ලෙස පිටියට පිවිසි ඩිල්ෂාන් ගුණරත්න ඊලග පන්දුවෙන් දවාගනිමින් සී.සී.සී ඉනිම නිමාකිරීමට මලින්ද පුෂ්පකුමාර සමත්විය. ඔහු ලකුණු 37කට කඩුලු 5ක් දවාගත් අතර චමින්ද බණ්ඩාර කඩුලු 3ක් හා මදුසංක ඒකනායක කඩුලු 2ක් දවාගත්හ.

මේ අතර කටුනායක පැවැති තරගයේදී කෝල්ට්ස් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ගුවන් හමුදා පළමු ඉනිම ලකුණු 190කට සීමාවිය. දිනය නිමාවනවිට පිළිතුරු ලෙස කෝල්ට්ස් පිල පළමු ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 158ක් රැස්කර තිබිණි.

බ්ලූම්ෆීල්ඩ් පිටියේදී රාගම පිල සමග පැවැත්වෙන තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ බ්ලූම්ෆීල්ඩ් පිල ලකුණු 293කට සීමාවිය. මුවර්ස් පිල සමග මුවර්ස් පිටියේ පැවැත්වෙන තරගයේදී සැරසන්ස් පළමු ඉනිමට ලකුණු 243ක් රැස්කළ අතර එස්.එස්.සී සමග තරගයේදී යුද හමුදාව කඩුලු 8ක් ලකුණු 282ක් රැස්කරගෙන සිටියේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා