ශ්‍රී ලංකාව අද නවසීලන්තය සමඟ තෙවැනි ගැටුමට

ජයග්‍රාහී මාවතේ දිගටම රැඳී සිටීමේ අරමුණින්

ශ්‍රී ලංකාව අද නවසීලන්තය සමඟ තෙවැනි ගැටුමට

නවසීලන්තයට එරෙහිව හැමිල්ටන් නුවර පැවැති දෙවැනි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වෙතින් ඉස්මතු වූ ජයග්‍රාහී දස්කම් තරගාවලිය පුරාම පවත්වා ගෙන යාමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් බලාපොරොත්තු වෙයි.

“ක්‍රීඩකයන් තරගය හැසිරවූ අකාරය ප්‍රශංසනීයයි. ඔවුන් ඉතාමත් හොඳ ආරම්භයක් ලබා ගත්තා” යැයි කඩුලු හයක ජයග්‍රහණයෙන් පසුව කියා සිටියේය.එම තරගයේදී ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් හා පන්දු රකින්නන්ගෙන් දිස්වූයේ උසස් තලයේ ක්‍රීඩාවකි. බ්‍රෙන්ඩන් මැකලම් සාර්ථක පිතිහරඹයක නියැළුනද තරගය ග්‍රහණය කර ගැනීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ සමත් වූහ.

පන්දු රැකීමේද දක්ෂතා ප්‍රදර්ශනය වෙමින් නවසීලන්ත පිතිකරුවන් සිවු දෙනෙකුම දුවද්දී දැවී යාම්වලට හසුවූහ. තණතීරුවේ මන්දගාමී ස්වරූපයක් දිස්වූ බැවින් පන්දු ප්‍රහාරය සඳහා රංගන හේරත් කැඳවූ බව මැතිව්ස් කියා සිටියේය. ඒ උපක්‍රමය සාර්ථක කරමින් හේරත් ලකුණු 36කට කඩුලු 2ක් ලබා ගත්තේය.

“මේ අයුරින් වන අපේ ක්‍රීඩාව දිගටම පවත්වා ගෙන යාම අපට අවශ්‍යයි. පන්දු රැකීමේදී ඉතාමත් වෙහෙසව අවධානයෙන් යුතුව ක්‍රීඩා කළ යුතුයි. ඩිල්ෂාන්ගෙන් ප්‍රදර්ශනය වුනේ අතිවිශිෂ්ට ඉනිමක්. අපේ අවශ්‍යතාව වන්නේ මුල් පෙළ පිතිකරුවන් සිවු දෙනාගෙන් එක් කෙනෙකු ශ්‍රී ලංකා ඉනිම පුරාම පන්දුවට පහර දෙනු දැකීමයි” මැතිව්ස් පවසයි.

ඩිල්ෂාන් එම තරගයේදී දර්ශනීය පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 116ක් රැස් කළේය. “එය පිතිකරණය සඳහා ඉතාමත් හොඳ තණතීරුවක්. පන්දුව ලස්සනට පිත්ත වෙත ආවා” යැයි පෙරේදා ජයග්‍රහණයෙන් පසුව ‘තරගයේ වීරයා’ ඩිල්ෂාන් පවසා සිටියේය. “මේ පිතිකරණයෙන් මා හොඳ වින්දනයක් ලැබුවා. මා මගේ පන්දු යැවීමෙන්ද සතුටක් ලබමින් සිටිනවා. පසුගිය මාස හය ඇතුළත මා කඩුලු විස්සකට වැඩියෙන් ලබා ගත්තා” ඩිල්ෂාන් කියා සිටියේය.

මේ අතර දෙවැනි තරගයේ පිතිකරුවන් සිවු දෙනෙකු දුවද්දී දැවී යාම “විකාර සිදුවීමක්” බව පවසන නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම් ඉදිරියේදී එවැන්නක් සිදු නොවනු ඇති බවට ප්‍රතිඥා දෙයි. මැකලම් මේ තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවා බවට පත්ව සිටියද ඔහුට ඒ සඳහා සහාය වූයේ මුල් පෙල පිතිකරුවන්ය. ඉදිරි තරගවලදීද එම සහාය තමන්ට ලැබෙනු ඇතැයි නවසීලන්ත නායකයා අපේක්ෂා කරයි.

දෙපිල අතර තරග හතකින් සමන්විත ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගමාලාව පෙරේදා වන විට 1–1ක් ලෙසින් සම තත්ත්වයට පත්ව තිබිණි. තෙවැනි ගැටුම අද ඕක්ලන්ඩ් නුවරදී පැවැත්වෙයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා