ශ්‍රී ලංකා-පකිස්තාන කාන්තා ක්‍රිකට් තෙවැනි විස්සයි 20 අද

ශ්‍රී ලංකා-පකිස්තාන කාන්තා ක්‍රිකට් තෙවැනි විස්සයි 20 අද

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා පාකිස්තානය කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි හා අවසන් තරගය ‍අද සාජා හිදී පැවැත්වේ.දෙරට අතර පළමු විස්සයි20 තරගය ශ්‍රී ලංකා පිල කඩුලු 8කින් ජයගත් අතර දෙවැනි තරගයෙන් ලකුණු 55ක ජයක් පාකිස්තානයට හිමිවිය. ඒ අනුව අද තරගයේ ජය ගනිමින් තරගාවලියේ ජය අත්කර ගැනීම සඳහා දෙපිල සටනක නිතරවනු ඇත.

දෙරට අතර ඊයේ පැවැති දෙවැනි තරගයේදී පාකිස්තානය පළමුව පන්දුවට පහරදෙමින් කඩුලු 6ක් දැවී ලකුණු 124ක් රැස්කළ අතර පිළිතුරු ලෙස ශ්‍රී ලංකා පිලට සියල්ලන් දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 69ක් පමණි.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේදී චතුරානි ගුණවර්ධන ලකුණු 14ක් හා අමා කාංචනා ලකුණු 10ක්අතර සෙසු පිතිකාරිණියන්ට ලකුණු 10 සීමාව පසු කිරීමට නොහැකි විය. පන්දු යැවීමේදී සානා මීර් කඩුලු ත්‍රිත්වයක්් දවා ගැනීම කැපී පෙනුණි.

පාකිස්තාන පිල වෙනුවෙන් නායිකා සානා මීර් නොදැවී ලකුණු 40ක් හා ජවීරියා ඛාන් ලකුණු 25ක් රැස් කළහ. පන්දු යැවීමේදී මදුරි සමුද්ධිකා කඩුලු 3ක් දවාගත් අතර ඉනෝකා රණවීර කඩුලු 2 බිඳ දැමුවාය.පෙරේදා පැවැති පළමු තරගයේදී ශ්‍රී ලංකා පිල කඩුලු 5ක් දැවී ලකුණු 151ක් රැස්කළ අතර පිළිතුරු ලෙස පාකිස්තානයට සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 143ක් පමණි.

ඩිලානි ම‍නෝදරා පන්දු 40කට මුහුණදෙමින් හතරේ පහර 5ක් සමගින් නොදැවී ලකුණු 50ක් රැස්කරමින් ශ්‍රී ලංකා පිල ලකුණු 150 සීමාවට ගෙන යාමට සමත්වූවාය. ඇයට අනගි සහයක් ලබාදුන් නායිකා චමරි අතපත්තු පන්දු 23කින් ලකුණු 31ක් රැස්කළ අතර ඒෂානි කෞෂල්‍යා ලකුණු 27ක් රැස් කළාය. ඩිලානි හා එක්වූ ඒෂානි පස්වැනි කඩුල්ලට ඕවර 6.3කදී ලකුණු 47ක් එක් කිරීමට සමත්වූවාය. පන්දු යැවීමේදී සානියා ඛාන් කඩුලු 2ක් දවාගත්තාය.

පාකිස්තානය පිළිතුරු ඉනිමේදී බිස්බා මරූෆ් නොදැවී ලකුණු 50ක් හා ජවීරියා ඛාන් ලකුණු 40ක් රැස්කළද එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය. බිස්බා පන්දු 45කදී හතරේ පහර 5ක් එල්ල කර තිබූ අතර ජවීරියා හතරේ පහර 4ක් හා හයේ පහරක් එල්ල කළේ පන්දු 28කට පමණක් මුහුණදෙමිනි. පන්දු යැවීමේදී ඉනෝකා රණවීර හා අමා කාංචනා කඩුලු 2 බැගින් බිඳ දැමූහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා