බොකො හරාම් ත්‍රස්තයන් පැරදවීමට අප්‍රිකානු රාජ්‍යයන් අවිශ්වාසය නැතිකර ගත යුතුයි

බොකො හරාම් ත්‍රස්තයන් පැරදවීමට අප්‍රිකානු රාජ්‍යයන් අවිශ්වාසය නැතිකර ගත යුතුයි

එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත

නයිජීරියානු ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයක් වන බොකො හරාම් සටන්කාමීන්ගෙන් වඩාත්ම තර්ජනයට ලක්ව ඇති අප්‍රිකානු රාජ්‍යයන් හතර ඔවුනොවුන් කෙරෙහි ඇති අන්‍යොන්‍ය සැකය ඉවතට දැමිය යුතු බව බටහිර අප්‍රිකාව සඳහා වූ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මොහොමඩ් ඉබ්න් චාම්බාස් පැවසීය.

ඔවුන්ට ත්‍රස්තවාදය පැරදවීමේ සැබෑ වුවමනාවක් ඇත්නම් නියෝග ව්‍යුහයක් සහ උපාය මාර්ගික සැලැස්මක් සඳහා එකඟතාවකට පැමිණිය යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය. ජාත්‍යන්තර ප්‍රජාවට කළ හැක්කේ නයිජීරියාවටත්, නයිජර්, චැඩ්, කැමරුන් වැනි යාබද රාජ්‍යයන්වලටත් උපකාර කිරීම පමණක් බව ඔහු පවසයි.

බොකො හරාම් ත්‍රස්තවාදීන් සමඟ සටන් වැදීමට ඔවුන් පැහැදිලිවම තම අඩුපාඩු පිළිබඳ තක්සේරු කළ යුතු බවත්, එ. ජා. විශේෂ නියෝජිතයා පවසයි. නයිජීරියාවේ ජනාධිපතිවරණයට මාසයකට පෙර බොකෝ හරාම් සටන්කාමීන් තව ප්‍රදේශයක බලය අල්ලා ගැනීමට සමත් වූහ.

එහිදී උතුරුදිග නයිජීරියාවේ සිය ගණනක් මරණයට පත් වූ අතර දහස් ගණනකට වැඩි පිරිසක් අවතැන් වූහ. එසේම යුද්ධෝපායික වශයෙන් වැදගත් කලාපීය හමුදා මූලස්ථානයක් ද තම යටතට ගැනීමට බොකෝ හරාම් සටන්කාමීහු සමත් වූහ. මෙම මාසයේදී බාගා අත්පත් කර ගැනුණ අතර වාර්තා වූ අන්දමට එහිදී 2000 ක් පමණ දෙනා මරණයට පත් විය. උතුරුදිග නයිජීරියාවේ සිට නයිජර්. කැමරුන් සහ චැඩ්වල තර්ජනයට ලක්වූ ප්‍රදේශ කරා කැරැල්ල පැතිරී යාම මැඬපැවැත්වීමට ජාත්‍යන්තර සහයෝගය ඉල්ලා ‍ෙකරුණු බලපෑම ද ඉහළ ගියේය.

“දැන් ඒක පැහැදිලියි... මේ රටවල්වලට තනි තනිව සටන් කරන්න බැහැ. එකිනෙකාගෙන් ඈත්වන තරමට සටන දිනන්නත් බැහැ” චාම්බාස් රොයිටර් පුවත් සේවයට පැවසීය. ඔහු පවසන්නේ චැඩ් විලට මායිම් වී ඇති රටවල් හතරට එක්වී වඩාත් හොඳ සම්බන්ධීකරණ සැලැස්මක් සකසා ගත හැකි බවයි. තම දේශසීමාවෙන් පිටතට ගොස් විදේශීය රටක නියෝගවලට අවනත වීමට සමහර රටවල හමුදා ප්‍රතික්ෂේප කිරීම සැලකිල්ලට ගනිමින් චාම්බාස් පවසන්නේ ඒ සඳහා පැහැදිලි නියෝග ව්‍යුහයක් සහ නීතිමය බැඳීමක් සකසා ගැනීම සුදුසු බවයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා