මුද්‍රණය සඳහා

 
සමවතට දෙන්න ඉඩ වැඳ පුදා කදුරුගොඩ

සමවතට දෙන්න ඉඩ වැඳ පුදා කදුරුගොඩ

කටු පඳුරු සහිත ළඳු කැලෑ කුට්ටි පසුකරමින් දිගු පටු මාවත ඔස්සේ තව බොහෝ දුර යා යුතුය. තාල වර්ගයට අයත් නේකවිධ තුරු වදුලුවල සිහිල මිස ප්‍රචණ්ඩ වියළි ලවණ මුසු සුළඟ ගමනට ජීවයක් ගෙන නොදෙන්නේය. හුණු මිශ්‍රිත වැලි පොළොවේ හැපී වැතිරෙණ ගිම්රැස් අතොරක් නොමැතිව තැනිතලාව අරක්ගෙනය. නමුදු සියලු බාධක යටපත් කරමින් මේ ගමන යා යුතුමයයි හිත පවසන්නේ උස් හඬිනි. යාපනය නගරයේ සිට කන්කසන්තුරේ (කේ.කේ.එස්.) මාර්ගයේ කිලෝමීටර් නවයක් පමණ ගෙවා දැමූ අපි චුන්නාකම් සිට තවත් යා යුතු දුර කිලෝමීටර දෙකහමාරකි.

මේ කෙටි දුර ගෙවා දැමූ තැන අපට හමුවන කදුරුගොඩ පුරාවිද්‍යා රක්ෂිතය පිළිබඳ ඉතිහාස කරුණු සොයා බැලීම අපේ ගමනේ අරමුණයි. බැලූ බැල්මට ඇස්කිමෝ නිවාස සමූහයක සිරිගන්නා කදුරුගොඩ මනාව වැඩුණු තල් රුප්පාවක් අසබඩ පිහිටි තැනිතලා හරිතවර්ණ භූමි භාගයකි. මෙම පුරාවිද්‍යා භූමිය තුළ පිහිටි ස්ථූප හැටකි. විවිධ වකවානු වලදී දෙස් විදෙස් පුරාවිද්‍යාඥයින් විසින් කැණීම් සිදුකොට තහවුරු කරගත් මේ බිම පිළිබඳ බොහෝ මත පවතියි. එම මතවල සත්‍යතාව තහවුරු කරනු පිණිස සාක්ෂි ද මේ බිම තුළ ඕනෑ තරම්ය.

සිංහල භාෂාව භාවිත කරන්නන් “කදුරුගොඩ” ලෙස මෙම ඓතිහාසික භූමිය හැඳින්වූව ද දෙමළ බස හසුරුවන සහෘදයන් මෙම භූමිය හඳුන්වන්නේ තන්තරෝඩය නැතහොත් කන්දරොඩෙයි ලෙසටය. කදුරුගොඩ යන වචනයේ කදුරු යන්නට පාලි තේරුම “කන්දර” යනන්යි. එහෙයින් දියලු බිමක මෙම භූමිය පිහිටි බව ඉන් හැ‍ඟේ. මේ අනුව එදා මෙම විහාර පරිශ්‍රය දියලු භූමියක පිහිටි වග ඉන් කියවෙයි. පසුව දමිළ බසට කන්නරෝඩය හෙවත් උච්චාරණය අනුව කන්දරොඩෙයි බවට පත්වූයේ එසේ බිඳී ආ නාමයයි.

මේ පුරාවිද්‍යා භූමිය අසලින් දැනට ගලා බස්නා වලුක ආරුව මෙම ඇළ වීමට හැකිය. පෘතුගීසීන්ගේ ලේඛන අනුව මෙම භූමිය “කන්දර කුඩ්ඩේ” ලෙස හැඳින්වෙන්නේ “කදුරුගොඩ” යන වදනේ පෘතුගීසි උච්චාරණය අනුවය. මෙම භුමියට නාමය ලද අයුරු පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියන් පහදාදෙන්නේ එපරිදිය. 1917 වසරේ යාපනයේ දිස්ත්‍රික් විනිසුරු පදවිය ලැබූ පෝල් ඊ. පීරිස්ස් මහතාගේ දැනුම් දීමකට අනුව මූලික කැණීම් කටයුතු අරඹන ලද මෙම ඓතිහාසික භූමිය ඒ වනවිට සහමුලින්ම වනගතව තිබුණි. මෙම වටිනා භූමිය සොයාගිය පුරාවිද්‍යා කොමසාරිස් සී.ඊ. ගොඩකුඹුර මහතා කළ කැණීම්වලදී තැන තැන මතුව වැළලී තිබූ නටබුන් රැසක් පාදා ගැනීමට හැකිවීම දැන් අප මේ දකින පුද බිමෙහි දෙවන උපතයි.

මෙසේ මතුකොට තහවුරු කොටගත් ස්ථූප පිළිබඳ විවිධ මත පළවෙයි. ඉන් ප්‍රබලතම මතය සංඝමිත්තා මෙහෙණිය සමඟ දිවයිනට වැඩි රහතන් වහන්සේලා හැට නමක් පුවන්ගු දිවයින (පුංකුඩුතිව්) තුළ වාසය කළ බවත් ඒ රහතන් වහන්සේලාගේ භෂ්මාවශේෂ නිධන්කොට මෙම දාගැබ් හැට කර වූ බවත් ය. එමෙන්ම බුදුරජාණන් වහන්සේ චූලෝදර මහෝදර ගැටුම විසඳීම පිණිස නාගදීපයට වැඩි අසිරිමත් මොහොත් මෙම බිමෙහි සමවත් සුවයෙන් වැඩසිටි බව ද ජනප්‍රවාදයේ කියැවෙයි. යාපනය අර්ධද්වීපය පිළිබඳ ලිඛිත කරුණු අනුව දෙවනපෑතිස් රජ දවස දඹකොළපටුණේ සිට අනුරපුර උතුරු දොරටුව තෙක් ගල්කණුවලින් අලංකාර කොට ඉදිකළ පෙත්ම‍ඟෙහි මෙම විහාර පරිශ්‍රය ඉදිකොට තිබූ බව සඳහන් ය.

මෙම භූමියේ දී හමු වූ අත්තානි කරඬු ලිපියෙහි සඳහන් පරිදි මෙම භූමිය IV වන කාශ්‍යප (898-914) රජ සමයේ ඉදිකිරීම් සිදුකළ බිමක් බව ද සඳහන් වෙයි. ඇතැම් විද්වතුන් පවසන පරිදි නම් පොතෙහි දැක්වෙන කදුරුගොඩ විහාරය ද මෙම බිමයි.විවිධ මත පළවන මෙම බිම තුළ කැණීම් අතරතුර මතු වූ පුරාවිද්‍යා සාධක බොහෝමයකි. දිවයිනේ විවිධ ප්‍රදේශවල පුරාවිද්‍යාත්මක වටිනාකමින් ඉතාමත් ඉහළ භූමිභාග අතරට කදුරුගොඩ ද නිතැතින්ම එක්වෙයි.

ලංකා ඉතිහාසයේ මුල් යුගය තුළ උත්තර ප්‍රදේශයේ බෞද්ධ සංස්කෘතික උරුමයන් විරාජමානව වැජඹුණු බවට තහවුරු කළ හැකි කදිම, වටිනාකමින් ඉහළ නිර්වද්‍ය සාධක කන්දරෝඩය පුදබිමෙන් හමු වී තිබේ. විවිධ කාලවකවානුවල සිදුකළ කැණීම් වලදී හමු වූ බෞද්ධ ප්‍රතිමා, ශිලා ලේඛන, බෝධිසත්ත්ව ප්‍රතිමාව, ස්ථූප, කොත්කැරලි, හතරැස්කොටුව බුදු පිළිම පාදම්, හිටි බුදු පිළිම කොටස්, ශ්‍රී පතුල බෞද්ධ උරුමය විදහා පානා නිර්මාණ අතර ප්‍රමුඛස්ථානයක් ගනියි.

මීට අමතරව වර්ණගැන්වූ උළු, ගඩොල් වර්ග, පබළු , පාත්‍ර කැබලි මෙන්ම විවිධ යුගවලට අයත් කාසි වර්ග ද මෙම බිම තුළ තිබී සොයාගෙන තිබේ. කාසිවර්ග අතර පළමුවැනි පැරකුම්බා, ලීලාවතී, ධර්මාශෝක, භුවනෙකබාහු ආදී රාජ්‍ය පලාන සමයේ ගනුදෙනු සඳහා යොදාගත් නේකවිධ කාසි වර්ග විශේෂ තැනක් හිමි කර ගනියි. පළමුවන ජෝර්ජ් රජුගේ මුදල් ඒකකයක් වූ තුට්ටු භාගයේ කාසියක් ද මේ බිම තුළ තිබී සොයාගෙන තිබීම විශේෂත්වයකි.

මෙම පුරාවිද්‍යා බිමෙහි දක්නට ලැබෙන ස්ථූප විශේෂිත වූ ඒවාය. අනුරාධපුරයේ මුල් යුගයේ ස්ථූපවල නිර්මාණ රටාවට ඉතාමත් සමීප මෙම කුඩා දාගැබ්වල හතරැස් කොටු මෙන්ම කොත් කැරලි ද මෙම බිමෙහි තිබී හමු වී ඇත. එමෙන්ම කැණීම්වලදී හමු වූ සඳකඩ පහන් මෙන්ම අනෙකුත් නිර්මාණ ද අනුරාධපුර මුල් යුගයට අයත් වෙයි. ගල් පුවරු කිහිපයක් එක්කොට තනන ලද මෙම සඳකඩ පහන අර්ධකවාකාර තීරු කැටයමින් අලංකාර වූවකි. සුදු පැහැති ග්‍රැනයිට් පාෂාණයෙන් නිමවන ලද මෙම සඳකඩ පහණෙහි පළල මීටර් 01 සෙන්ටිමීටර් 10කි. මෙම තහවුරු කරන ලද ගොඩනැඟිලි අතර ප්‍රධාන ලක්ෂ්‍ය ලෙස හැඳින්වෙන්නේ වටදාගෙයයි. තවමත් තහවුරු නොකළ මෙම වටදාගෙයෙහි විශ්කම්භය මීටර් 25ක් පමණ වේ.

මෙම ස්ථූප අතර දැකිය හැකි කුඩාම ස්ථූපයෙහි විශ්කම්භය සෙන්ටිමීටර් 70කි. උස සෙන්ටිමීටර් 62කි. හතරැස් කොටුව ක්වා ඉදිකොට ඇති මෙම ස්ථූපය තනිකරම හිරිගලින් (කාටුගල්) නිර්මාණය වී ඇත.(42 රූපය) විවිධ ප්‍රමාණයේ ස්ථූපවලට අමතරව භූමිය පුරා වැළලී ගිය අතීතයේ ශෝභමාන නටබුන් මෙම බිම පුරා ඕනෑතරම්ය. ඒ අතර විවිධ වර්ගයේ සංරක්ෂණය නොකළ ගොඩනැගිලිවල පාදම් රැසකි.

බොරදම් පේලි රටා සහිත මෙම පාදම් ආසන චතුරස්‍රාකාර ගොඩනැගිලි පාදම් ලෙස හැඳින්වෙයි. ස්ථූප, අත්තිවාරම්, කණු පාදම්ගල් මෙන්ම සමචතුරස්‍රාකාර ගොඩනැගිලි පාදම් ද මේ බිම තුළ දැකිය හැකිය. මෙම ඉදිකිරීම් සඳහා සම්පූර්ණයෙන්ම යොදාගෙන ඇත්තේ හිරිගල් විශේෂයක් ය. ඉතාමත් ශක්තිමත් මෙම හිරිගල් විශේෂය ප්‍රදේශයේ ජනතාව හඳුන්වන්නේ ‘කාටුගල්’ ලෙසටය.

මෙම කාටු ගලින් නිර්මිත ජල බඳුන අදට ද මෙම බිමට පැමිණෙන්නන්ගේ පවස නිවීමට නිරතුරුවම පේවී බලා හිඳී. 1948 වසරේ දී පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අක්කර හතක භූමි ප්‍රමාණයක් කැණීම් සඳහා අත්පත්කොට ගත්ත ද 1965 පමණ වනවිට මෙම භූමිය අක්කර 03 රූඩ් 8 පර්චස් 33 ප්‍රමාණය දක්වා අඩුව ඇත්තේ අනවසරයෙන් පදිංචි වූ ජනතාව හේතුවෙනි. එම වස‍රේ දී මෙම භූමිය තහනම් ඉඩමක් ලෙසට ප්‍රකාශයට පත් කරන ලද අතර ඉන් පසු මෙම බිම දෙකඩ කරමින් මඟක් ඉදි වී තිබේ.

කෙසේ වෙතත් පුරාවිද්‍යා සාක්ෂි රැගත් වැළලී ඇති මේ අමිල බිමෙහි දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තු සතු ඉඩම් ප්‍රමාණය අක්කර දෙකකට ආසන්නය. විවිධ වකවානුවලදී සිදුකරනු ලැබූ කැණීම් අනුව හමු වූ පුරාවස්තු රැසක් මේ වනවිට යාපනය කෞතුකාගාරයේ තැන්පත්කොට තිබේ. ඒ අතර සෙන්ටිමීටර් 150ක් උස හිටි පිළිමය විශේෂ ස්ථානයක් ගනී. කවන්ධ පිළිමයක් වන මෙය තද හුණුගලින් නිර්මාණය වූවකි. දකුණු බාහුවෙන් වෙන්ව ඇති මෙම පිළිමයෙහි සිවුරේ රැළි ඉතා මහතට ක්‍රමානුකූලව මතු කොට තිබේ. යාපනය කෞතුකාගාරයේ දී හමුවන කදුරුගොඩ නටබුන් අතර බුදු පිළිම පාදම් කොටස් ද දැකබලා ගත හැකිවෙයි. මෙම බිමේදී හමු වූ මිනිස් රූප බො‍හොමයක් බෝධිසත්ව රූප හෝ විවිධ දේවරූප වීමට ඉඩ තිබේ.

තද ශ්වේතවර්ණ හිරිගලින් නිමවන ලද මෙම රූප කාලය සමඟ දිය වී විනාශ වී ගොස් තිබේ.හිරිගල් පාෂාණයෙන් කැටයම් කරන ලද ශ්‍රී පතුල කදුරුගොඩින් හමු වූ නිර්මාණයකි.නෙළුම් මල් කැටයමින් ඔප කරන ලද මෙම සිරිපතුළෙහි වර්ණගල්වා තිබූ බවට ද සාක්ෂි හමු වී තිබේ. මෙම බිමෙහි අලංකරණය සඳහා නෙළුම් මල් රටා‍ යොදා තිබූ බව මල් මෝස්තර සහිත නටබුන් කොටස සාක්ෂි දරයි.කන්දරොඩයේ දී හමු වූ අක්කාන් කරඬු ලිපිය ද යාපන කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනය උදෙසා තැන්පත් කොටතිබේ.

සිව්වන කාශ්‍යප රජ සමයේ රචනා කළ බව කියැවෙන මෙම අක්කාන් කරඬු ලිපියේ මෙම විහාරයට කරන ලද විවිධ ප්‍රදානයන් ගැන සඳහන් ය. කණුවෙහි පැති තුනක සෙල් ලිපිය දක්නට ලැබෙන අතර එක් පසෙක ධර්මචක්‍රය දක්නට ලැබෙයි. දහසය වන සියවස තෙක්ම චිරාජමානව වැජඹුණු කදුරුගොඩ විහාරය නොහොත් කන්දරෝඩය කලක් යාපනය පාලනය කළ සංකිලි (සංග්ලියන්) නමැත්තාගේ අත්තනෝමතික පාලන ව්‍යුහය හේතුවෙන් විනාශ මුඛයට ගොදුරු වූයේය. යාපනයේ තිබූ සියලුම වෙහෙර විහාර කඩා බිඳ දැමූ ඔහු ඒවා ගිනිබත් කළේය.

මේ හේතුවෙන් බිඳ වැටුණු කදුරුගොඩ විහාරය කාලයාගේ ඇවෑමෙන් නටබුන්ව පස්යට වැළලුණේය. එදා බුදු පහසින් පාරිශුද්ධත්වයට පත් වූ මෙම අසිරිමත් පුදබිම ක්‍ර‍මයෙන් පස්යට වැළලී අතීතය සැඟවුණේය. ඒ බිම මත දැවැන්ත තල් රුප්පාවක් හට ගත්තේය. සතා සීපාවුන් ඉතිහාසය වසා ඉදි වූ වදුලේ තම අණසක පැතිරවූයේය.1917 වසරේ පෝල් ඊ.පීරිස් මහතාට ‍ගෞරවය හිමිවන්නට මෙම අතිශය වැදගත් භූමිය අද අප සැමට නරඹන්නට ඉතිරිව ඇත්තේය.

යාපනය අර්ධද්වීපයේ සංචාරයකදී බොහෝ දෙනෙකුගේ ස්ථාන ලයිස්තුවෙන් කදුරුගොඩ මඟහැරීමට හේතුකාරක කිහිපයකි. ඇතැමෙකු මෙම පුරාවිද්‍යා රක්ෂිතය ගැන පැහැදිලි දැනීමක් නොමැති කම නිසා එය මඟහැර හුදු විනෝදය පිණිස හේතුවන ස්ථාන තම සංචාරක ස්ථාන ලැයිස්තුවෙහි ප්‍රමුඛස්ථානය ලබා දෙති. තවත් විටෙක එක යායට පෙනෙන මෙම කුඩා ස්ථූප නැරඹීමට ඒකාකාරී කටයුත්තක් යැයි ඇතැම් හු සිතති. යාපනය නගරයෙන් බැහැරව හුදෙකලාව මෙම භූමිය පිහිටා තිබීම තවත් එක් හේතුවකි. කෙසේ වුව ද අපේ ඉතිහාසයේ පෞඩත්වය මෙන්ම ඉතිහාසගත කරුණු බොහොමයක් හමුවන කන්දරෝඩය හෙවත් කදුරුගොඩ පුරාවිද්‍යා භුමිය යාපනය සංචාරයකදී ඔබ අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ස්ථානයකි. මේ සුන්දර ම‍ඟෙන් දසුන් ඔබේ හිතට මෙන්ම ගතට ද නැවුම් බවක් ගෙනේවි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]