මුද්‍රණය සඳහා

 
ලංවිම වැටුප් වැඩි කිරීමට කිසිදු පියවරක් ගෙන නැහැ

ලංවිම වැටුප් වැඩි කිරීමට කිසිදු පියවරක් ගෙන නැහැ

- විදුලිබල හා බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා තමන් කිසිදු කැබිනට් සංදේශයක් හෝ ඊට අදාළ කිසිදු පියවරක් ගෙන නොමැති බව විදුලිබල හා බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා පවසයි. දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රකාශය පදනම් විරහිත සාවද්‍ය ප්‍රකාශයක් බව පෙන්වා දෙන ඇමැතිවරයා එම ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් නීතිමය පියවර ගන්නා බව කීවේය.

නිලධාරීන්ගේ අවශ්‍යතාවට වැටුප් වැඩිකර ගත නොහැකි අතර පෙර සාමාන්‍යාධිකාරිවරයා විසින් අත්තනෝමතිකව තම ඉංජිනේරු ප්‍රජාවගේ පමණක් වැටුප් වැඩිකර ගැනීමක් සඳහා වැඩපිළිවෙළක් අභ්‍යන්තරව ක්‍රියාත්මක වී තිබේ. එ පිළිබඳ සම්පූර්ණ විස්තර තමන් වෙත වාර්තා වී තිබෙන බව ඇමැති චම්පික රණවක මහතා කියයි.

මේ සම්බන්ධයෙන් විධිමත් පරීක‍ෂණයක් සිදු කරන ලෙස ලංවිම පාලන අධිකාරියට ඇමැතිවරයා නියෝග කර තිබේ. ඒ අනුව වත්මන් උප සභාපති නිහාල් වික්‍රමසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි හෙතෙම සඳහන් කළේය.

මීට පෙර විදුලිබල හා බලශක්ති අමැතිවරයා ලෙස කටයුතු කළ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය යටතේ ජවිපෙ ක්‍රියාකාරීන් තමන්ගේ සියලූ අවශ්‍යතා ඉටුකර ගනිමින් නිද්‍රාශීලීව පසුවීම සම්බන්ධයෙන් තමන් පුදුමයට පත් නොවන බවත්, තමන් විදුලිබල ඇමැතිවරයාව සිටි සමයේදී ජවිපෙ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තමන්ට සමීප අත්දැකීම් පවතින බවත් ඇමැති චම්පික රණවක පෙන්වා දුන්නේය.

අරගල කිරීමෙන් කිසිදු ඉල්ලීමක් දිනාගත නොහැකිය. සේවක සැමට සාධාරණය ඉටුවන පාලනයක් පවත්වා ගැනීමත් මහජනතාවට මිත්‍රශීලී සහ කාර්යක‍ෂම සේවා සපයන ආයතනයක් බවට ලංවිම ප්‍රමුඛ අනෙකුත් ආයතන පත් කිරීමට තමන් ඇතුලූ නිලධාරීන් කැපවන බවටත් ඇමැතිවරයා පවසයි.

මින් ඉදිරියට බලශක්ති ක්ෂේත්‍රයේ වංචාවට දූෂණයට හෝ අක්‍රමිකතාවට කිසිදු ඉඩක් නොමැති බව ද ඇමැති චම්පික රණවක අවධාරණය කර සිටී. සිදු වූ සහ සිදුවන සියලූ දූෂණයන් පිළිබඳ විස්තර තමන් සතුව පවතින බවත්ඒ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග ගැනීමට නොපසුබට වන බවත් ඇමැති චම්පික රණවක අවධාරණය කර සිටී.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]