මුද්‍රණය සඳහා

 
ආයතනයක දූෂණ අක්‍රමිකතාවලට වගකිව යුත්තේ එහි ලොක්කෝ මිස පොඩි මිනිසුන් නොවෙයි

ආයතනයක දූෂණ අක්‍රමිකතාවලට වගකිව යුත්තේ එහි ලොක්කෝ මිස පොඩි මිනිසුන් නොවෙයි

කොළඹ නැව් තටාකාංගණයේ දී ජනපති කියයි

 

කොළඹ නැව් තටාකාංගණය නිශ්පාදන කළ එම් .වී.එල් ලැගූන්ස් මඟී නෞකාව ඉන්දීය ලක්ෂද්වීප ප්‍රාන්ත අධිකාරිය වෙත නිල වශයෙන් භාර දීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වු අවස්ථාව.නැව් තටාකාංගණයේ සභාපති ආචාර්ය ටෝරු ටකේරා ශ්‍රි ලංකා ජපන් තානාපති නොබුහිතෝ නැව් තටාකාංගණයේ අධ්‍යක්ෂ ජෙනරාල් රනිල් විජේගුණවර්ධන ,ඉන්දීය නැව් සමාගමේ අධක්ෂ රජිව් රංජන් සිං මහත්වරු ඡායාරූපයේ සිටිති. පොදු වැඩ කරන ජනතාවගේ දුක කඳුල සුසුම හදුනන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නැව්තටාකාංගණයේ සේවකයන් සමඟ සුහද කතාබහකට එක් වූ අවස්ථාව දකුණු පස ඡායාරූපයෙන් දැක්වේ.
ඡායාරූප -දුෂ්මන්ත මායාදුන්න

රටක ආයතනයක ප්‍රගමනය ,දියුණුව ,රදා පවතින්නේ දේශපාලන නායකත්වය මත යැයිද වංචා දූෂණ අක්‍රමිකතා පිළිබඳ වගකිව යුත්තේ ආයතනයක ලොකු මිනිසුන් මිස පොඩි මිනිසුන් නොවන බව ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

කොළඹ වරාය උපයන ආදායම මෙතෙක් කලක් යෙදවූයේ හම්බන්තොට වරාය ඉදිකිරීමට ලබාගත් ණය මුදල පියවීමට යැයි ද ,එම ආදායම නිසි ලෙස ලැබුණා නම් දේශිය ආර්ථිකය ශක්තිමත් කරීමටත් ,වරාය සංවර්ධනයටත් ,සේවක වරප්‍රසාද සඳහාත් යොදා ගැනීමේ හැකියාව තිබු බවද ජනාධිපතිවරයා කීවේය.

ජනාධිපතිවරයා එසේ සඳහන් කෙළේ කොළඹ නැව් තටාකාංගණය නිෂ්පාදනය කළ එම් .වී.එල් ලැගූන්ස් මඟී නෞකාව ඉන්දීය ලක්ෂද්වීප ප්‍රාන්ත අධිකාරිය වෙත භාර දීම නිමිත්තෙන් නැව් තටාකාංගණයේ දී (26)දා පැවැති උත්සවයට එක් වෙමිණි. කොළඹ නැව්තටාකාංගන ඉතිහාසයට තවත් සුවිශේෂි සංධිස්ථානයක් සනිටුහන් කරමින් මඟීන් හාරසිය දෙනෙක් ප්‍රවාහණය කළ හැකි මේ දැවැත්ත නෞකාව පෙරේදා ඉන්දියානු රජයට භාර දුන්නේ ජනාධිපතිවරයාගේ සුරතිණි.

ප්‍රථම මඟියා ලෙසින් නෞකාවට ඇතුළ් වූ ජනාධිපතිවරයා මේ දැවැන්ත නෞකාව නිරීක්ෂණයට එක් විය. නවීන භෝජනාගාර, ආපනශාලා, උත්සවශාලා ආදී අති නවීන අංගයන්ගෙන් සමන්විත වූ අති සූඛෝපභෝගී නෞකාවේ ඉන්දීය කාර්ය මණ්ඩලය සමඟ සුහඳ කතාබහක එක් වීමට ජනාධිපතිවරයා අමතක නො‍කෙළේය. මේ අයුරින් කොළඹ වරායට හිස එසවිය නොහැකි බව ද, තමා ඒ පිළිබඳ කිසිසේත් සෑහීමකට පත් නොවන බව ද ජනාධිපතිවරයා කීවේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද කීවේය.

ශ්‍රි ලාංකික විශේෂඥන්ගේ තාක්ෂණික දැණුම ලෝකයට පෙන්වන මේ අවස්ථාව පිළිබඳ මම සතුටට පත් වෙනවා.දේශිය ඉංජිනේරුවන් දේශිය කාර්මිකයන් දේශීය කාර්යය මණ්ඩල සියල්ල අපේ මාතෘ භූමියේ උදාර පුත්‍රයන් ලෙස සෑම කෙනෙක්ම අපේ රටට පමණක් නොව මුළු මහත් ලෝකයටම පෙන්නුම් කළේ ශ්‍රි ලාංකික ජනතාවගේ තිබෙන දක්ෂකම් හැකියාව නිර්මාණශිලීභාවය සහ තාක්ෂණික දැණුමයි. ඒ සියල්ල ඔප්නැංවූ අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැකියි.

අද මෙම නාවික යාත්ත්‍රාව මගී සහ බඩු නෞකාවේ වැඩ නිමා කර ඉන්දියානු රජය‍ට බාර දෙන විශේෂ අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැකියි.මේ අවස්ථාවේ තිබෙන ඓතිහාසික වැදගත්කම ඔබ සැම මැනවින් දන්නවා.ඔබ ආයතනය මීට මාස කිහිපයකට පෙර මෙවැනිම නෞකාවක් නිෂ්පාදනය කැර භාර දී තිබෙනවා.මේ නෞකාවේ ඉදිකිරීම සඳහා වසර එකහමාරක කාල සීමාවක් අපේ දේශීය ඉංජිනේරුවන් අපේ තාක්ෂණික නිලධාරින් කාර්යය මණ්ඩල විශාල කැපවීමකින් ක්‍රියාකර තිබෙනවා.

ඒ නිසා ශ්‍රි ලාංකික අභිමානය ලෝකයට විදහාපාන ශ්‍රේෂ්ඨ ශ්‍රි ලාංකික පුත්‍රයන්ට මම මුලින්ම ස්තූතිවන්ත වෙනවා.නාවික කටයුතු පිළීබඳ කතා කරන විට ඊට දීර්ඝ ඉතිහාසය තිබෙන කතිකාවක්.එක් පැත්තකින් ත්‍රාශ්ස ජනකවූද තවත් පැත්තකින් තම හැකියාවන් පෙන්නුම් කෙරෙන කටුකවූද පරිපූර්ණ වූ තවත් පැත්තකින් අත් දැකීමෙන් පිරිපුන් වූද තවත් පැත්තකින් විනෝද ජනක අත්දැකීම් රාශියකින් මෙහි ඉතිහාස ගොඩ නැගී තිබෙනවා

ඉතිහාසය පුරා සංක්‍රමිකයා රටකින් තවත් රටකට යන කෙනෙක්‍. රටක ආක්‍රමණිකයන් සහ සංක්‍රමණිකයන් ලෙස දෙපාර්ශ්වයක් තම කටයුතු සඳහා ඉතිහාසය පුරා කටයුතු කර තිබෙනවා. ඒ සඳහා නෞකාව බලපා තිබෙන බව අප දන්නා කරුණක්. ශිල්පීය ඥානය වර්ධනය සඳහා වානිජ සමාජයේ ඉදිරි ගමන් මඟ සඳහා පුරුද්ද ලෙස නෞකාව කෙතරම් මඟ පෙන්වීමක් කරනවා දැයි ශක්තියක් වූණාද කියන එක ඔබ අප දන්නා කරුණක්. ආර්ථික, වෙළෙඳ හා සංචාරක ව්‍යාපාර ක්‍රියාත්මක කිරීමෙහි ලා නෞකාව ඉවහල් වුණා.

සමාජයේ ප්‍රගමනය මානවවාදී ඉදිරි ගමන් මඟ සඳහා නෞකාව කෙතරම් මගපෙන්වීමක් අත්වැලක් ශක්තියක් වුණාද කියා ඒ මහා ඉතිහාස කතාවේ සඳහන්. නෞකාව අපේ රටේ නිෂ්පාදනය කොට අලංකාර සුඛෝපභෝගී ලෙස නිෂ්පාදනය කර ඉන්දීයාවට භාර දීමේ අවස්ථාවයි.මම එය මුලින්ම සඳහන් කළේ මේ ඓතිහාසික අවස්ථාවක් ලෙසයි. එක් පැත්තකින් නිර්මාණය කළ පිරිසට නැවත නැවතත් තුති පුද කරනවා. ගෞරව කරනවා වගේම මුළු මහත් ජාතියේම ප්‍රණාමය පුද කරනවා වගේම මේ නෞකාව අප රටට ලබා ගැනීමට ක්‍රියා කළ ඉන්දීය රජයට සහ ජනාතාව‍ට අපේ ප්‍රණාමය ස්තුතිය පිරිනමනවා.

කොළඹ නැව් තටාකාංග‍යේ වර්තමාන තත්ත්වය ගත් විට මෙහි වැඩි කොටස් ප්‍රමාණයක් ජපානය සතුවයි තිබෙන්නේ. ඉන් තවත් කොටස් ප්‍රමාණයක් ශ්‍රි ලාංකික රජය සතුව තිබෙනවා. කොටස් වෙළඳ පොළ සමඟ මෙම ආයතනය ඇති වානිජ වටිනාකම වෙනස්කම් සමඟ අද පවතින දියුණුව පිළිබඳ අවංකව සතුටට පත් වෙනවා. අපේ කොළඹ වරාය, නැව් තටාකාංගනය ගත් විට පසුගිය වසර කිහිපය සහ සැලකීමේදි පසුගිය දශක තුනක පමණ කාලයක සිට විශාල දියුණුවක් ලබා තිබෙනවා.

මෙම ආයතන වලට දංගල්ල මහතා, ලලිත් ඇතුලත්මුදලි මහත්වරුන්ගේ දේශපාලන නායකත්වය ලබාදුන්නා. විශේෂයෙන්ම අපි ඒ ගැන මතක් කරන්න ඕනැ. පසුගිය තාලසීමාව සැලකීමේදි වි‍ශාල කැපකිරීම් ප්‍රගතිය පිළිබඳ සියලු කාර්ය මණ්ඩල වලට ඉංජිනේරුවන්ගේ සිට සෙසු තාක්ෂණ නිලධාරින් දහඩිය කඳුළු සුසුම් හෙළන තම ජීවිතය කැප කරන වැඩ කරන ජනතාවට මුළු මහත් ජනතාවගේම අපේ ‍ගෞරවය පිරිනමන්න ඕනෑ.

කැපවීම අධිෂ්ඨානශීලීභාවය නිර්මාණශීලීභාවය ප්‍රබුද්ධ අධිෂ්ඨානය මේ කරුණු කාරණා මුල්කරගෙන පසුගිය දශක තුනක කාලසීමාව තුළ අපි‍ට මේ නැව් තටාකාංගනය ඇතුලු අනෙක් පැත්තේ කොළඹ වරායේ අද පවතින සංවර්ධන තත්ත්වයට ගෙන ඒමට ලෝකයේ සංවර්ධිත රටවල් අපිට විශාල ලෙස උදව් උපකාර කර තිබෙනවා. තාක්ෂණික ඥානය මඟ පෙන්වීම මෙන්ම ශිල්පීය ඥානයෙන් පරිපූර්ණ ශ්‍රි ලංකිකයන්ට අපේ ගෞරවය හිමි විය යුතුයි.

ඒ වගේම කොළඹ වරාය වැනි ආයතනයක් ගත් විට අපිට මේ නැව් තටාකාංගනයත් විශාල ලෙස මුදල් උපයන අයතනයක්. මේ මුදල් උපයන ආයතන ජාතියේ මහා සම්පතක්. මෙම සම්පත් ආරක්ෂා වෙන්න ඕනෑ .පවිත්‍ර වෙන්න ඕනෑ. පාලනය ඉතාම පිරිසිදුව වෙන්න ඕනෑ. විනිවිදවභාවයක් ඇති වෙන්න ඕනෑ. වංචාව දූෂණය සම්පූර්ණ පිටු දකින්නට අවශ්‍යයි. පසුගිය අවුරුදු කීපය ගත් විට කොළඹ වරාය පිළිබඳව කථ කළළොත් ශ්‍රි ලාංකික පුරවැසියෙක් ලෙස මම ඉතාම කණගාටුවට පත් වෙනවා.

කොළඹ වරායේ ආදායම එම ආදායමේ නිසි ඵල ප්‍රයෝජනය අපේ රටේ සංවර්ධනයට ගත්තාදැයි ප්‍රශ්නයක්. කොළඹ වරායෙන් රටට එන ආදාය‍මෙන් කෙතරම් ප්‍රමාණයක් වංචාවට දූෂණයට අක්‍රමිකතා හොරකමට වැයවූවාද. කාරණාව අපට වඩා හොඳට පරිපානය කරන වැඩ කරන කළමනාකරණය තාක්ෂණ ශිල්පීන් ඉංජිනේරු‍වන් ඒ සියලු දෙනා දන්නවා. කොළඹ වරායෙන් උපයන ආදායම හම්බන්තොට වරායට ලබා ගත් ණය මුදල් පියවීමට අදටත් ගෙවනවා.

අද කොළඹ වරායට ඔළුව උස්සන්න පුළුන්කමක් නැහැ. ලබන ලාභය ණය ගෙවීමට වැය කරනවා. අපි සෑම කෙනෙක්ම මේවායින් පාඩම් ඉගෙන ගන්න ඕනෑ. කොළඹ වරායෙන් එන ආදායම එවන් දේකට වැය නොකළා නම් දේශිය ආර්ථිකය ශක්තිමත් කරන්න,වරාය සංවර්ධනයට ,සේවක වරප්‍රසාද දෙන්න ඒ සියල්ල සඳහා භාවිතා කරන්න පුළුවන්. නමුත් අද කොළඹ වරායේ තත්ත්වය පිළිබද සැහීමකට පත් වෙන්න බැහැ.

අපි සේවකයන්ගේ ඇති දක්ෂතාවය ඔවුන් කරන කැප කිරීම පරිත්‍යාගශිගිභාවය තම ජීවිතය පරදුවට තබා කරන ‍සේවාවන් පිළිබඳ මේ ආයතනයේ කළමනාකරණය පරිපාලනය ඇතුළු සියලුම දෙනා‍ට ගෞරවය පිරිනමනවා‍ .ප්‍රගමනය දියුණුව වර්ධනය සැම රදා පවතින්නේ දේශපාලන නායකත්වය මතයි. දේශපාලනඥයා පවිත්‍රනම් විනිවිදභාවය එතැනින් පහළට ගලා යනවා. එසේම අපිරිසිදු නම් අශීලාචාරනම් දූෂිතනම් අක්‍රමිකතා තිබෙනව නම් එතැනින් පහළට එයද ගලා යනවා. ඒ නිසා පොඩි මිනිසුන්ට දොස් කියා වැඩක් නැහැ . ආයතනයක රටක ඇති වෙන තත්ත්වයන් පිළිබඳ ලොකු මිනිස්සු වග කියන්න ඕනැ.

මම මේ පිළිබඳව ප්‍රකාශ කෙළේ අලුත් ආණ්ඩුවක් ලෙස නව සංකල්ප නව ප්‍රතිපත්ති තුළ අපි රාජ්‍ය පාලනය කරමින් ඉතාම විනිවිභාවයෙන් රාජ්‍ය ආයතනවල තිබිය යුතු ප්‍රධානම පිරිසිදුභාවය පිළිබඳ අපි ප්‍රතිපත්තිමය තීන්දු ගෙන පැහැදිලි තීන්දුවක ඉන්න නිසයි .රටේ ජනතාවගේ අනාගතය ඒ සියල්ලේ ප්‍රබුද්ධ අනාගත පැවැත්ම තියෙන්නේ ලබා දෙන නායකත්වය සමඟයි‍.දේශපාලන නායකත්වය ඊට පරිපාලන නායකත්වය, තාක්ෂණික නායක්ත්වය ශිල්පීය නායකත්වය,මේ සියල්ල දියුණූ වෙන්නේ රජයක් ලෙස එක්වූ විට යැයි අප විශ්වාස කරනවා.

අළුත් අදහස් එක්ක අළුත් ප්‍රතිපත්ති සමඟ තම නායකත්වය පිරිසිදුව තම ආයතනයට ලබා දෙමින් අපි අපේක්ෂා කරන අපේ රටේ ජනතාවගේ අනාගතය ගොඩ නැඟීමට සංවර්ධනය මෙන්ම අද ජීවත්වන ජනතාව‍ට මෙන්ම හෙට උපදින දරුවන් වෙනුවෙන් මේ වගකීමේ යුතුකම ඔබ සැම දෙන නොපිරිහෙළා ඉටු කරනු ඇතැයි දැඩි විශ්වාසයක් ඔබ සැම කෙරේ තිබෙනවා.අද පැමිණ සිටින සියලු දෙනාට ලාංකීය ප්‍රබුද්ධත්වය පෙන්නුම් කෙරෙන ඒ සුවිශේෂි අවස්ථාව ළඟා කැර දීමට ගෞරවය ලබා දුන් සැමට තුති පුද කරනවා.

ආයෝජන මණ්ඩලයේ සභාපති නීතිඥ උපුල් ජයසූරිය මහතා -

නෞකාවක් නිශ්පාදනය කැර එය ඉන්දියාවට භාර දීම ආයතනයේ පාලණාධිකාරියට විශාල සතුට දණවන කරුණක් .එසේම මෙහි සේවක සේවිකාවන් තුළ ඇති සතුට ඊට වඩා දෙගුණ තෙගුණ වූවක්.1993 වසරේ පාඩු ලබමින් තිබු අවස්ථාවක මේ ආයතනයේ අයිතිය ජපන් සමාගම පවරා ගත්තා .මිලියන 2000ක පාඩුවක් ලබමින් තිබූ මේ ආයතනය ලාබ ලබන ආයතනක් බවට පත් ව තිබෙනවා.

මේ නෞකාව නිශ්පාදනය කරමින් ඩොලර් මිලියන 700ක් ආදායමක් උපයා තිබෙනවා. කොළඹ නැව්තටාකාංගණයේ සභාපති ආචාර්ය ටෝරු ටකේරා (toru takehara), ශ්‍රි ලංකාවේ ජපන් තානාපති නොබුහිතෝ නොබෝ ,කොළඹ නැව් තටාකාංගණයේ අධ්‍යක්ෂ ජෙනරාල් රනිල් විජේගුණවර්ධන, ඉන්දීය නැව් සමාගමේ කළමනාකාර අධක්ෂ රජිව් රංජන් සිං ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක් වී සිටියහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]