මුද්‍රණය සඳහා

 
මාලදිවයිනේ හිටපු ජනපතිට 13 වසරක සිර දඬුවමක්

මාලදිවයිනේ හිටපු ජනපතිට 13 වසරක සිර දඬුවමක්

මාලදිවයිනේ හිටපු ජනාධිපති සහ විරුද්ධ පක්ෂ නායක 47 හැවිරිදි මොහොමඩ් නෂීඩ්ට එරෙහි නඩු තීන්දුවෙන් ඔහුට 13 වසරක හිර දඬුවමක් නියම වී තිබේ. ත්‍රස්තවාදී චෝදනා මත ඔහුට මෙම සිර දඬුවම නියම වී ඇත. මෙම නඩු තීන්දුව අසාධාරණ නඩු විභාගයක ප්‍රතිඵලයක් බව මානව හිමිකම් ක්‍රියාකාරීහු චෝදනා කරති.

මෙම සිද්ධිය මුල්කරගෙන ජාත්‍යන්තර වශයෙන් ද දැඩි මතවාදයක් ගොඩනැඟී තිබේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් තම අවධානය යොමුවී ඇතැයි ජනාධිපති ඔබාමා පවසයි.

නඩු තීන්දුවෙන් අනතුරුව ඊට එරෙහිව විරෝධතා දැක්වීමට වීදි බසින ලෙස නෂීඩ් සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ. එරට රජයේ ඒකාධිපති බලයට එරෙහිව නිර්භීතව සහ ශක්තිමත් ලෙස නැඟී සිටින ලෙස ඔහු වැඩිදුරටත් ඉල්ලා ඇත.

මාලදිවයින් දූපත් පෙළේ මාලේ නගරය ආසන්නයේ පිහිටා ඇති ඩුනිඩ්ඩු බන්ධනාගාරයේ ඔහු සිරගත කර ඇත. මෙම නඩුව විභාගය කරන්නේ මොහොමඩ් නෂීඩ්ගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමට බව පවසමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් නඩු විභාගය අවසන් වීමට පෙර ඉන් ඉවත් වූ බව සඳහන්ය.

නෂීඩ් ජනාධිපතිවරයාව සිටි අවදියේ 2012 දී ප්‍රධාන විනිසුරු අත්අඩංගුවට ගැනීමට නියෝග කිරීම සම්බන්ධයෙන් ත්‍රස්ත විරෝධී නීතිය යටතේ ඔහුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබිණි.

වත්මන් ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ රජයට එරෙහිව විරුද්ධ පක්ෂය මේ වනවිට විරෝධතා දක්වමින් සිටී. හිටපු ජනාධිපතිවරයා සිරබාරයට ගෙන ඇත්තේ 2018 දී මාලදිවයිනේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඔහු ඉදිරිපත් වීම වළකාලීමට බව ඔහුගේ ආධාරකරුවෝ අවධාරණය කරති.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]