චීනයෙන් ශ්‍රී ලංකාවට...

චීනයෙන් ශ්‍රී ලංකාවට...

ජනාධිපතිවරයාගේ චීන නිල සංචාරය ගැන විග්‍රහ මෙන් ම විවේචන ද මේ වන විට පළ වී තිබේ. බොහෝ දෙනකුගේ මතය වන්නේ මෙය හැම අතකින් ම සුබදායක හා සාර්ථක සංචාරයක් බව ය. චීනයෙන් අපට ලබාගත හැකි ආර්ථික හා දේශපාලනික වාසිය මේ අවස්ථාවේ අතිශයින් ම වැදගත් ය. එක අතකින් දූෂණ හා වංචාවලින් තොර ආර්ථික සංවර්ධනයක් ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි. තව අතකින් දියුණු ම රාජ්‍යයන් සමඟ නව ආර්ථික ගනුදෙනු ඇතිකර ගැනීමට ශ්‍රී ලංකාව සැලැසුම් කරයි. මේ කොයි අතින් බැලුවත් චීනය අපට වැදගත් වේ.

දෙරටේ නායකයන් අතර සාකච්ඡා පැවැති අවස්ථාවේ; චීන ජනාධිපතිවරයා කියා ඇත්තේ ශ්‍රී ලංකාව දේශපාලනික වශයෙන් අනුගමනය කරන යහපාලනය මෙන් ම දූෂණවලින් තොර නව ආර්ථික වැඩපිළිවෙළ ද බෙහෙවින් අගය කරන බව ය. මේ කරුණු දෙක චීනය ද අනුගමනය කරයි. චීන පාලකයන් තීන්දු ගැනීමට භය නැත. එලෙස ම නීතිය කාටත් පොදු ය. දූෂිත ක්‍රියාවල යෙදුණු නගරාධිපතිවරයකුට මරණීය දණ්ඩනය ලබා දීමට චීන අධිකරණ ය තීන්දු කළේ ය. එය එලෙස ම ක්‍රියාත්මක විය.

ස්වාධීන කොමිෂන් සභා පත්කරමින් අධිකරණයෙහි හා රාජ්‍ය සේවාවෙහි ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට ගත් පියවර ගැන ද සඳහන් කළ චීන ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් මෙන් ම දේශපාලනික වශයෙන් ද සහයෝගය දැක්වීමට කැමැත්ත පළ කළේ ය. රටේ මානව හිමිකම්වලට අදාළ ව අන්තර්ජාතික වශයෙන් එල්ල වන බලපෑම්වල දී චීනය ශ්‍රී ලංකාවට ඕනෑම උපකාරයක් කිරීමට ඉදිරිපත් වන බව ද චීන නායකයා කියා සිටියේ ය. මේ සෑම තීරණයක් ම අපට වාසි සහගත ය.

රජරට වකුගඩු රෝගය ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයට ලක් වූ කාරණයෙකි. මේ සම්බන්ධයෙන් චීන සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස එම රෝගයට ප්‍රතිකාර සඳහා අංගසම්පූර්ණ රෝහලක් ලබාදීමට චීනය එකඟ වී තිබේ. චීනය සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් විශාල දියුණුවක් ලැබූ රාජ්‍යයෙකි. එය පුදුමයට කාරණයක් නො වන්නේ චීන අධිරාජ්‍යය ඈත අතීතයේ පටන් ම පාරම්පරික වෛද්‍ය ශාස්ත්‍රයකට උරුමකම් කියනා බැවින් ය. එහෙත් ශ්‍රී ලංකාවේ පිහිටුවනු ලබන්නේ නවීන තාක්ෂණයෙන් යුතු නව රෝහලකි. එය රජරටට ආශිර්වාදයක් සේ සැලැකිය හැකි ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සිව්දින චීන සංචාරයේ දී ඉතා වැදගත් ගිවිසුම් හතරකට අස්සන් තබා ඇත. මේ ගිවිසුම් දෙරට අතර කෘෂිකාර්මික, අ‍යෝජන සෞඛ්‍ය, තාක්ෂණික හා සාංස්කෘතික ආදී ගනුදෙනුවලට අයත් වේ. චීනය බලශක්තිය අතින් ද පෙරමුණ ගන්නා රාජ්‍යයෙකි. තාක්ෂණ හා බලශක්ති ක්ෂේත්‍රවල නිලධාරීන් හා කාර්මික ශිල්පීන් පුහුණු කිරීමට ද චීනය කැමැත්ත පළ කර තිබේ. එහි ආරම්භයක් ලෙස ශ්‍රී ලංකාවේ වෘත්තිකයන් 2000කට පුහුණුව ලබාදීමට චීනය සැලැසුම් කර ඇත.

කෘෂිකර්මය, වෙළෙඳාම හා ආයොජන ක්ෂේත්‍රවල දී චීනයෙන් ශ්‍රී ලංකාවට ලබාගත හැකි සහයෝගය මෙන් ම ආදර්ශය ද ඉතා වැදගත් ය. චීනය කෘෂි උපකරණ හා ඊට අදාළ යන්ත්‍ර - සූත්‍ර නිෂ්පාදනය අතින් ලෝක ප්‍රකට රාජ්‍යයෙකි. අනෙක් අතට සහල් ඇතුළු ධාන්‍ය නිෂ්පාදනය අතින් ද චීනය සාර්ථක ය. ආයෝජන ක්ෂේත්‍රයේ දී ද චීනය යනු දැවැන්ත රාජ්‍යයෙකි. එක අතකින් චීනයේ වෙළෙඳ පොළ අති විශාල ය. තව අතකින් චීනය ලෝකයේ රටවල් එකසිය ගණනක් සමඟ ආ‍යෝජන සබඳතා පවත්වයි.

චීනය විදේශීය ආයෝජකයනට වෙළෙඳ පොළ විවෘත කළේ 1978 න් පසුව ය. අද එහි විදේශීය සමාගම් ලක්ෂ හතරකට වැඩි සංඛ්‍යාවක් නිෂ්පාදන ක්‍රියාවලියට දායකත්වය සපයති. චීන ආයෝජකයෝ ද ලොව පුරා රටවල් ගණනාවක සිය සමාගම් පවත්වාගෙන යති. චීනය හා ශ්‍රී ලංකාව අතර පවත්නා දිගුකාලීන මිත්‍රත්වය මත චීන ආයෝජකයෝ ශ්‍රී ලංකාවට වැඩි කැමැත්තක් දක්වති. දැන් රටේ පවතින දේශපාලන වාතාවරණය ද නිෂ්පාදන කර්මාන්තවලට යහපත් ය. මේ වනා හී අපේ රටට නව කර්මාන්ත අවශ්‍ය යුගයකි.

මෛත්‍රීපාල සිරිසේන මහතා චීනයේ දී තවත් වැදගත් අන්තර්ජාතික සමුළුවකට සහභාගී විය. එහි ප්‍රධාන දේශනය සඳහා ඇරියුම් ලැබ තිබුණේ ද අපේ ජනාධිපතිවරයාට ය. ‘බෝආ’ නම් එම සමුළුව ආසියාවේ රටවල් පහළොවක ව්‍යාපාරික හා සමාගම් ප්‍රධානීන්ගෙන් සමන්විත විය. එහි තේමාව වූයේ ආසියාවේ රටවල් පොදු ප්‍රතිපත්තියක පිහිටා තම ආර්ථික හා දේශපාලනික ගැටලු විසඳාගත යුතු ය යන්න ය. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ද ආසියාවට පොදු ප්‍රතිපත්තියක ඇති වැදගත්කම පෙන්වා දුන් අතර එය වැඩි දෙනෙකුගේ අවධානය දිනාගත් කතාවක් විය.

චීනය කියූ සැණෙන් අපේ වැඩි දෙනකුගේ සැලැකිල්ල යොමු වන්නේ කොළඹ වරාය නගරය වෙත ය. එය චීන ආධාර මත ඉදිවන මහා පරිමාණ ව්‍යාපෘතියකි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ආරම්භ කළ එම ව්‍යාපෘතිය මේ ආණ්ඩුවෙන් නතර කර ඇතැ’යි ද ඒ වෙනුවෙන් චීනයට වන්දි ගෙවීමට සිදු වී ඇතැ’යි ද දේශපාලනික විවේචනයක් රට තුළ පවතී. ශ්‍රී ලංකා ආණ්ඩුව හෝ චීන ආණ්ඩුව හෝ මේ විවේචන ගණන් ගත් බවක් පෙනෙන්නට නැත. ජනාධිපතිවරයාගේ චීන සංචාරයේ දී ද ඒ ගැන බරපතළ සාකච්ඡාවක් ඇති වී නැත. ආරංචිවලින් කියැවෙන්නේ තවත් සුළු කාලයකින් වරාය නගරයේ වැඩ ආරම්භ වන බව ය. කුමක් වුව චීනය අපට ශක්තියකි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා