බාල පොහොර නවත්වනවා

බාල පොහොර නවත්වනවා

දුමින්ද දිසානායක

වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍ය

වාරි මාර්ග හා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ උපදෙස් මත පසුගිය දහසය වැනිදා “අවාරය අහවරයි” නමින් නව වැඩසටනක් ආරම්භ විය. එමඟින් ලැබෙන ප්‍රතිලාභ සහ කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා මෙරට ‍ගොවි ජනතාවට සිදුවන සේවාව පිළිබඳ, වාරි මාර්ග හා කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

* ඇමැතිතුමනි, මොකක්ද මේ අවාරය අහවරයි”කියන්නේ.....?

එළවළු, පලතුරු හිඟ වන කාලයක් තියෙනවා. මේ දුෂ්කර කාලයට අපි සාමාන්‍යයෙන් අවාරය කියනවා. අවාරයට වගා කරන්න පුළුවන් එළවළු බීජ ගොවි මහතුන්ට ලබා දීමේ වැඩපිළිවෙළක් ලෙසයි මෙය ක්‍රියාත්මක වෙන්නේ. අවාරයට දුර්ලබ එළවළු , පලතුරු වර්ග සුලභ කිරීමයි අපේ උත්සාහය. ගෙවතු හය ලක්ෂ පනස් දහසක් පමණ තෝරාගෙන මෙම වැඩසටහන අපි ක්‍රියාත්මක කරනවා. ගොවි මහතුන් මේ සඳහා සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු වෙන අතර අප දෙපාර්තමේන්තුව යටතේ තියෙන ගොවිජන සේවා මධ්‍යස්ථානයන්හි සේවය උපයෝගී කර ගැනෙනවා. ඒ වාගේම ගොවිජනසේවා සංවර්ධන නිලධාරින්ගේ සහයත් ලබා ගන්නවා.

* පසුගිය කාලවලදී වගේ මේ වැඩසටහනත් ජනප්‍රිය තේමා පාඨයක් පමණක් වෙයිද?

පසුගිය කාලයේ දී “අපි වවමු රට නඟමු” කිය කියා ගොවීන්ටයි, එහෙම නොවන අයටයි රට ‍වටේම බීජ වර්ග නොමිලේ බෙද බෙද ගියා. ඒකෙන් ඇත්තටම ගොවීන්ට අවශ්‍යකරන බීජ ලැබුණෙත් නැහැ. සාර්ථකව ගෙවතු වගා සංකල්පය දියත් වුණෙත් නැහැ. අපි මේ වැඩසටහනේ දී තෝරාගත් පිරිසකට ඉතාම අඩු සාධාරණ මුදලකටයි බීජ ලබා දෙන්නේ. අපේ රටේ අයට නිකන්ම දෙයක් දුන්නම අගයක් නැහැ වගේම, එයින් නිසි ප්‍රයෝජනයක් ගන්නෙත් නැහැ. අපි මෙම වැඩසටහනෙන් ඇත්තටම ගොවිකම දරන්නා වූ මෙන්ම එය කරන්නා වූ පිරිසට පමණයි බීජ නිකුත් කරන්නේ. බීජ නිකුත් කරලා අපි අත පිස දමාගෙන ජනප්‍රිය තේමා පාඨයට විතරක් සීමාවෙන්න ඉඩ තියන්නේ නැහැ. මේ ගැන පසු විපරමින් ඔවුන් දිරිමත් කරන්න පුළුවන්. හැම වැඩසටහනක්ම ක්‍රියාත්මක කරනවා නම්. මේ මඟින් අවාරයට අවශ්‍ය එළවළු සුලබ කිරීමයි සිදුකෙරෙන්නේ. එතකොට මේ රටේ කවදාවත් එළවළු හිඟයක් ඇති වෙන්නේ නෑ. එළවළු මිලෙහි විශාල උච්චාවචනයක් සිදුවෙන්නෙත් නෑ. පාරිභෝගිකයාට මෙය හොඳ තත්ත්වයක්.

* ආණ්ඩු වෙනස් වුවහොත් මෙම වැඩසටහන් එතනම නවතීද?

නැහැ. මෙය ජාතික වැඩපිළිවෙළක් ලෙස දියත් කිරීමටයි අපි සැලසුම් කරන්නේ. එහෙම ජාතික වශයෙන් වැඩපිළිවෙළ දියත් නොවූ නිසා තමයි මේ රටේ බොහෝමයක් ක්ෂේත්‍රවල විවිධ වැඩසටහන් ක්‍රියාත්මක නොවී නැවතුණේ. “අවාරය අහවරයි” වැඩසටහන එසේ නොවී ජනතාවට සහනයක් වෙන පරිදි ශක්‍යතා අධ්‍යයනයකින් පසුවයි අපි ක්‍රියාත්මක කළේ.

* ඔබ බීජ ලබාදීම ගැන පැවසුවා මෙම බීජ ලබා දීමේ දී ඒවායේ ගුණාත්මකභාවය පිළිබඳ ලබාදෙන සහතිකය කුමක්ද?

පසුගිය සමයේ දී ගොවීන්ට දුන් එම බීජවල ගුණාත්මකභාවය පිළිබඳ ප්‍රශ්න මතුවුණු අවස්ථා තිබුණා. නමුත් නිවැරැදි තත්ත්ව පරීක්ෂාවට ලක් කළ ප්‍රමිතියෙන් යුතු බීජ පමණයි අපි ගොවි මහතුන්ට ලබා දෙන්නේ. මේ ගුණාත්මකභාවය පිළිබඳ වගකීම කෘෂිකර්ම අමාත්‍යාංශය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව භාර ගන්නවා. මෙහිදී අපි අවාරයට හටගන්නා එළවළු වර්ග හතක බීජ පමණයි ලබා‍ දෙන්නේ. නමුත් එම බීජවලට අමතරව අප දෙපාර්තමේන්තුව හරහා බීජ ලබා දෙනවා. අනෙකුත් බීජවල ගුණාත්මකභාවය ගැනත් නිවැරැදි තත්ත්ව පරීක්ෂාවකට ලක් කෙරෙනවා. එය සිදුකළ යුත්තක්.

* බීජ ගැන කතා කරනකොට, පොහොර ගැන කතා නොකරම බැහැ. වර්තමානයේ අප රටේ ගොවීන්ට ලබා දෙන පොහොර නිසි ප්‍රමිතියකට නොමැති බවට චෝදනා නැ‍ඟෙනවා. නිසි ප්‍රමිතියෙන් යුතු පොහොර ලබාදීමට අමාත්‍යාංශය කටයුතු කරන්නේ ‍කොහොමද?

පසුගිය සමයේ දී සිදු වූ ප්‍රමිතියෙන් තොර වූ වැඩ නිසයි එයත් සිදුවුණේ. වර්තමානයේ නිවැරැදි තත්ත්ව පරීක්ෂාවකට ලක්කොට මෙරටට පොහොර ගෙන ඒමට අපි කටයුතු සකස් කරලා තියෙනවා.

* ඔය තත්ත්ව පරීක්ෂාව මීට පෙරත් සිදුවුණානේ.ඒත් ප්‍රතිඵලයක් නැහැනේ....?

තත්ත්ව පරීක්ෂාවට ලබාදෙන නියැඳිවලට පසුව ඔවුන් ආනයනය කළ තත්ත්වයෙන් බාල පොහොර වර්ග. නමුත් අපි මෙහිදී ගෙන්වන පොහොරවල විවිධ අවස්ථාවලදී නියැඳි පරීක්ෂාවට ලක්කරනවා.බාල පොහොර ගෙන්වන්න කොහොමත් බෑ.

* පොහොර ගෙන්වීමේ දී රාජ්‍ය අංශය සියයට හතළිහක් සහ පෞද්ගලික අංශය සියයට හැටක් දායකත්වය දරනවා. මෙහිදී පොහොරවල ප්‍රමිතිය අඩු කිරීමට පෞදිගලික අංශයට අවස්ථාව ලැබෙනවා නේද?

කොහෙත්ම නැහැ. අපි නිරන්තරයෙන් මෙම පොහොර පරීක්ෂාවට ලක් කරනවා. රසායනික පොහොර වර්ග හා කෘමි නාශක නිසා වකුගඩු රෝගය හැදෙනවා කියන මතය පසුගිය කාලයේ දී දකින්නට අසන්නට ලැබුණා. එම නිසා අපි ආනයනය කරන රසායනික පොහොර වර්ග ගැන නිරතුරු අවදියෙන් සිටිනවා. අනෙක් කාරණය තමයි හැකි තරම් රසායනික පොහොර වර්ග වෙනුවට කාබනික පොහොර වර්ග යෙදීමටත් අපි වගබලාගත යුතුයි. ඒ සඳහා අපි විවිධ වැඩසටහන් ද ක්‍රියාත්මක කරනවා.

* පසුගිය කාලයේ මෙරටට බාල පොහොර වර්ග ගෙන්වපු සමාගම් ද දැනුත් පෞද්ගලික අංශය වෙනුවෙන් පොහොර ගෙන්වන්නේ?

ගෙන්වන්නේ මොන සමාගම වුණත් අපි මේ පොහොරවල ගුණාත්මකභාවය පිළිබඳ සෙවිල්ලෙන් ඉන්නේ. එය අපි සිදුකරනවා.

* එහෙම බාල පොහොර ගෙනත් හසු වුවහොත් මොකද කරන්නේ......?

පොහොර ගෙන්වන සමාගමක් යම් මොහොතකදී බාල පොහොර ගෙන්වනවා කියලා හැඟුණොත් අපි එම සමාගම අසාදු ලේඛනයට ( B*ack *ist) යවනවා. ඒක ගැන කිසිඳු සැකයක් නැහැ. කොහොම වුණත් මම විශ්වාස කරනවා මින් පසු බාල පොහොර ලංකාවේ වෙළෙඳපොළේ නැති වේවි කියලා.

* කොහොමද එහෙම බාල පොහොර ගෙන්වනවා කියලා දැන ගන්නේ?

යම් හෙයකින්, ඔවුන් බාල පොහොර ගෙන්වනවා කියලා පැමිණිල්ලක් ලැබුණොත් අපි ඒ පිළිබඳ පරීක්ෂා කරනවා. කාරණය ඇත්ත නම් අපි ඒ ගැන තීරණයක් ගන්න කිසි මොහොතක පසුබට වෙන්නේ නැහැ.

* ඒ කියන්නේ ගොවිජනතාවගෙන් හෝ වෙන යම් මොන ආකාරයකින් හරි පැමිණිල්ලක් ලැබෙන්න ඕන කියන එකද?

ඔව්. යම් සමාගමක් ගෙන්වන පොහොර ප්‍රමිතියෙන් තොර බවට පැමිණිල්ලක් ලැබෙන්න ඕනෑ. එවිට අපි ඒ ගැන පරීක්ෂණ පවත්වා අදාළ සමාගම සම්බන්ධයෙන් පියවර ගනු ලබනවා. ඊට අමතරව අපිත් නිරන්තරයෙන් නියැඳි පරීක්ෂාවක යෙදනවානේ. ඒ කොයි විටෙක හරි පොහොර ප්‍රමිතියෙන් තොරයි නම් අපි ඒ පොහොර ගෙන්වන සමාගම පිළිබඳ තීරණයක් ගැනීමට දෙපාරක් හිතන්නේ නෑ.

* කොහොම වුණත් “අවාරය අහවරය” තුළින් ඔබ බලාපොරොත්තු වන ප්‍රතිලාභය ලැබෙයිද?

අනිවාර්යයෙන්ම, මෙම වැඩසටහන තුළින් එවැනි විශාල ප්‍රතිලාභයක් මෙරට ජනතාවට ලැබිය යුතුයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා