වයිෆයි නොමිලේ!

වයිෆයි නොමිලේ!

ඉතා වටිනා යෝජනාවක්

ආචාර්ය චන්ද්‍රා ඇඹුල්දෙණිය

යටිතල පහසුකම් කියපු ගමන් අපේ හිතට මුලින්ම එන්නේ පාරවල්, සන්නිවේදන පහසුකම්, ඊට අමතරව නිෂ්පාදන අවශ්‍යතාවට සරිලන ආකාරයේ භාණ්ඩ සැපයුම හා සම්බන්ධ යටිතල පහසුකම්. එහෙම නැත්නම් ජලය, විදුලිය ඇතුළු බලශක්ති පහසුකම්. මේවා නැතිව කර්මාන්ත ගොඩනැඟීම තේරුමක් නැති වැඩක්. මානව සම්පත වගේම යටිතල පහසුකම් ඇති කිරීමත් ආර්ථිකයකට අවශ්‍යම දෙයක්.

නිදහසට පෙර තිබුණු ආර්ථිකය තේ, රබර්, පොල් මත පදනම් වූ කෘෂි ආර්ථිකයක්. යටත් විජිත පාලකයන් යටිතල පහසුකම් ගොඩනැඟුවේ එම කෘෂි සම්පත් ප්‍රවාහනය කළ හැකි ආකාරයට යටිතල පහසුකම් පද්ධතියක් ඇති කිරීමෙන්. ඔවුන් ස්ටෝරුවේ සිට දුම්රිය පොළට තේ ටික ගේන්න පුළුවන් විදියට මහා මාර්ග හැදුවා. ඊට පසුව ඒවා කොළඹට ගේන්න පුළුවන් විදියට දුම්රිය මාර්ග පද්ධතියක් හැදුවා. ඊට සමාන්තරව දුරකථන මාර්ග පද්ධතියක් හැදුවා. මේ විදිහට වැවිලි කර්මාන්තයට අදාළ යටිතල පහසුකම් දියුණු කළා. යටිතල පහසුකම් දියුණු කිරීම නිසා තේ,රබර්,පොල් වැනි කෘෂී අපනයන ක්ෂේත්‍රයේ දියුණුවට වගේම මිනිරන් කර්මාන්තයේ වර්ධනයටත් බලපෑවා.

කර්මාන්ත යුගය

නිදහසින් පසු මෙම කෘෂි ක්ෂේත්‍රයේ දියුණුව කර්මාන්ත විප්ලවයක් දක්වා වර්ධනය කර ගැනීම අවශ්‍ය වුණා. 50 – 60 – 70 දශකවල කර්මාන්ත විප්ලවයක මූල බීජ දකින්න ලැබුණා. ඒ සඳහා මූලිකව ක්‍රියා කළේ රාජ්‍ය අංශයයි. මේ අනුව සිමෙන්ති , ටයර්, වානේ, බැටරි වගේ කර්මාන්ත ඇති වුණා. ඒ අතර ගොඩනැඟිලි කර්මාන්තයට අදාළ තාක්ෂණයන් ක්‍රමයෙන් දියුණු වුණා. නමුත් එම කර්මාන්ත ශාලා ආරම්භක ස්වරූපයෙන්ම පවත්වාගෙන ගියා මිසක් ඒවායේ තාක්ෂණය, නිමි භාණ්ඩවල තත්ත්වය ඉහළ නංවා ගැනීම ගැනවත් කල්පනා කළේ නැහැ. අවු:10 – 15 යන විට ඉබේම තාක්ෂණය යල් පනිනවා. අපේ පේෂ කර්මාන්ත ‍ක්ෂේත්‍රය කඩා වැටුණේ මේ හේතුව නිසයි. මේ කර්මාන්ත බොහොමයක් අපිට ලැබුණේ ආධාරවලින්. ඒවා පවත්වාගෙන ගියා මිසක් වර්ධනය කරන ක්‍රමයක් තිබුණේ නැහැ. රැකියා ප්‍රශ්නයට මේවායින් පිළිතුරු දුන්නා මිසක් වෙළඳපළ ප්‍රශ්නයට හෝ තාක්ෂණික ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය දැනුම නිෂ්පාදනය වුණෙත් නැහැ.

අපි කාර්මික විප්ලවයට සම්බන්ධ වුණේ කල් පැනලා. යුරෝපයේ කාර්මික විප්ලවය වුණේ මධ්‍යතන යුගයේ. අපි එයින් වත් නිසි අයුරින් ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. ඊළඟට 1980 – 90 අතරතුර ලෝකයේ තොරතුරු තාක්ෂණික විප්ලවයක් සිදු වුණා. අසල්වැසි ඉන්දියාව එයින් ඵල නෙළාගනිද්දි අපිට එයින් ප්‍රයෝජනයක් ලබා ගන්න බැරි වුණා. මේ විදිහට අපි සන්ධිස්ථාන දෙකක් නිසි ප්‍රයෝජනය ගන්නේ නැතිව මඟ හැරියා. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වර්තමාන දියුණුව රාජ්‍ය අංශයේ මැදිහත්වීමෙන් ඇති කළ දෙයක් නෙමෙයි. එයට මුල් වුණේ පෞද්ගලික අංශයේ ආයෝජකයෝ.

තොරතුරු තාක්ෂණය දියුණු කිරීම ආර්ථිකයට වැදගත් වන්නේ කෙසේද යන්න කල්පනා කළ යුතුයි. විශාල පිරිසක් යොදාගෙන කරන ප්‍රාථමික මට්ටමේ තාක්ෂණික සේවා වෙනුවට දැනුම උපයෝගි කරගෙන පවත්වාගෙන යන ඉහළ අගයක් එකතු කරන තොරතුරු තාක්ෂණික කර්මාන්ත අපේ රටට ගැළපෙන සේවා කර්මාන්තය හැටියට තොරතුරු තාක්ෂණවේදී සභාව තීරණය කර තිබෙනවා.

විශේෂිත සේවා

මෙයට ‍පෙර BPO කර්මාන්ත කියන කොට කල්පනා කළේ පාරිභෝගිකයෙක් අසන සාමාන්‍ය ගැටලුවලට පිළිතුරු දෙන කර්මාන්තයක්. නමුත් අද එය මෙරට සිට විදේශයන්ට විශේෂිත සේවා සැපයීම දක්වා වර්ධනයව තිබෙනවා. වෛද්‍ය, නීති, ගණකාධිකරණ, ඉන්වොයිස් කිරීම, බිල්පත් අය කිරීම් වැනි සේවා ඇතිව තිබෙනවා. විදේශයක සිටින රෝගියෙක්ට මෙරට සිට ප්‍රතිකාර කළ හැකි මට්ටමට අපේ වෛද්‍ය සේවා දියුණුව තිබෙනවා.

දැනුම මත ගොඩනැඟූ සේවයක් තොරතුරු තාක්ෂණය නිසා ලෝකයට සැපයිය හැකි පරිසරයක් ඇතිව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය දීප ව්‍යාප්තව විහිදී ගිය තොරතුරු තාක්ෂණික පද්ධතියක් තිබෙනවා. නමුත් ඉන් ඔබ්බට ගොස් වයිෆයි තාක්ෂණය දීප ව්‍යාප්ත වශයෙන් තිබිය යුතුයි. එතකොට ඕනෑම කෙනෙක්ට ඕනෑම වෙලාවක අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න පුළුවන්. දැනුම දියුණු කර ගැනීමට අවශ්‍යනම් අන්තර්ජාලය ඒ සඳහා අවශ්‍ය කරන අත්‍යවශ්‍ය මෙවලමක්.

තාක්ෂණය භාවිතා කර පහසුවෙන් දත්ත සොයා ගැනීමට ඇති හැකියාව දියුණු කිරීමේ දි වයිෆයි කලාප ඇති කිරීම වැදගත්. නොයෙකුත් ස්ථාන කේන්ද්‍ර කරගත් සීමිත දුරකට විහිදුන වයිෆයි කලාප රජය විසින් ඇති කර තිබෙනවා. එය ප්‍රමාණවත් නැහැ. පෞද්ගලික සන්නිවේදන සේවා ආයතන දීප ව්‍යාප්ත වයිෆයි පහසුකම් ලබා දී තිබුණත් එයට ග්‍රාහකයන් ගෙන් විශාල පිරිවැයක් අය කරනවා. ඒ නිසා බොහෝ විට අන්තර්ජාල ග්‍රාහකයන් පෙලඹෙන්නේ සීමිත පුද්ගලික වයිෆයි කලාපයක ග්‍රාහකයෙක් වෙන්න. ඔවුන් එසේ සීමිත වයිෆයි කලාපයක් භාවිතා කිරීමට යොමු වෙන්නේ දිප ව්‍යාප්ත වයිෆයි කලාපයක වැදගත්කම නොදන්නා නිසා නෙවෙයි. ඒ සඳහා වැය වන වියදම දැරිය නොහැකි නිසයි.

පුළුල් සංකල්ප

රජය මැදිහත්ව වයිෆයි කලාප ඇති කළොත් තොතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දේශී වශයෙන් විශාල දියුණුවක් ඇති වෙයි. ඒවගේම වයි ෆයි සඳහා ග්‍රාහකයන්ට වැය වන මුදල අඩු වෙන නිසා එයින් ආර්ථිකයට විශාල ශක්තියක් ලබා දිය හැකියි. නව රැකියා හා කර්මාන්ත අවස්ථා ඇති වෙන්නත් මේ යෝජනාව වැදගත්.

නූතන තරුණ පරපුර නව නිර්මාණ බිහි කරන්න විශාල උනන්දුවක් දක්වනවා. අයෙක් හිතන්න පුළුවන් නව නිර්මාණයක් කියන්නේ නොඉඳුල් අලුත්ම, අලුත් දෙයක් නිර්මාණය කිරීම කියලා. වර්තමාන භාවිතය අනුව මේ සංකල්පය ඊ‍ට වඩා පුළුල්. තියෙන දෙයක් වැඩි දියුණු කර වෙළෙඳපළ සඳහා ඉදිරිපත් කිරීම නූතන අර්ථයෙන් සලකන්නේ නව නිර්මාණයක් හැටියටයි. ලක්ෂ සංඛ්‍යාත භාණ්ඩ සංඛ්‍යාවක් නව නිර්මාණ හැටියට වෙළෙඳපළට එන්නේ ඒ පසුබිම තුළයි.

නව නිර්මාණ බිහි කිරීමෙදි තොරතුරු තාක්ෂණය තීරණාත්මක මැදිහත්වීමක් කරනවා. එහිදී ‘වයිෆයි කලාප’ ඇති කිරීමෙන් තරුණ පරපුර අන්තර්ජාල භාවිතයට යොමු කළ හැකියි.

මේ යුගයේ යටිතල පහසුකම් දියුණු කිරීම කියන්නේ මහාමාර්ග ඉදිකිරීම නෙවෙයි. තොරතුරු තාක්ෂණය දියුණු කිරීමයි. අප ඉදිකිරීම් ක්ෂේත්‍රයෙන් ප්‍රමාණවත් දියුණුවක් ලබා තිබෙනවා. ඒ නිසා ‘වයිෆයි කලාප’ ඇති කිරීමේ යෝජනාව කල් නොයවා කඩිනමින් සිදු කිරීම හොඳ දෙයක්. එහෙම නැත්නම් කල්මරමින් ආර්ථික සංවර්ධනයේ තවත් මොහොතක් අතහරිනවාද යන්න කල්පනා කළ යුත්තක්.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා