සිංගප්පූරුව ලොවට සඟවන සත්‍යය

සිංගප්පූරුව ලොවට සඟවන සත්‍යය

සිංගප්පූරු මොඩල් එකක් ගැන ලාංකිකයන්ට නිතර අසන්නට ලැබේ. විදේශ ගමනක් යද්දී සිංගප්පූරුවට ගොඩවැදී ගුවන් ගමනේ ඊළඟ අදියර පටන් ගන්නට සිද්ධ වීමෙන් ලංකාවේ වැසියන්ට සිංගප්පූරුවේ ශ්‍රී විභූතිය දැකගන්නට අවස්ථාව පහසුවෙන් පෑදේ.

යහපාලනයකට ජනවරමක් ඉල්ලා මැතිවරණ පොරොන්දු සැකසෙද්දී සිංගප්පූරුවේ තෙමසෙක් ක්‍රමය ගැනත් ලංකාවේ කතාබහක් ඇති වූ හැටි දකින්නට ලැබුණි. ක්‍රමය කුමක්දැයි නොදැන ඒවා නිර්දේශය ලංකාවෙන් නිතර දකින හැදියාවකි.

ධනවාදය නිසා ස්ථාපිත වූ නිදහස් සමාජයේ සමෘද්ධිය ආසියාව තුළින් බිහි වූයේ හොං කොං වලින්. අයෙක් මිය ගිය පසු අඩුපාඩු හෙළි කිරීම නොමනා ක්‍රියාවක් යැයි සලකන අය බොහෝ වෙති. එහෙත් දැනට ජීවතුන් අතර සිටින බරක් ඔබාමා විසින් දැඩි සේ මිනිස් නිදහස කප්පාදු කරන හැටි (එඩ්වර්ඩ් ස්නෝඩන් සිහියට එයි) ගැන ලියනවා නම්, අයෙක් මිය ගිය පමණින් ඔහු හෝ ඇය විසින් කරන ලද හානිය ගැන සඳහනක් නොකර පැත්තකට දමා සිටිය නොහැකියි. විශේෂයෙන්ම එවැනි අවස්ථාවක දී අනෙකුත් අය ප්‍රශස්ති ගී පමණක් ගයද්දී!!!

ලී ක්වාන් යූ ගේ අභාවය සමඟින් එරටේ මෙතෙක් පවතින දේශපාලන පවුල විසිර යාවි ද, දණ්ඩ නීති පද්ධතියේ අක්‍රමිකතා වෙනස් වේවි ද, රටේ පවතින තෙමසෙක් හෝල්ඩින්ස් ක්‍රමය වෙනසකට භාජනය වේවි දැයි කියනු නොහැකියි. එහෙත් ඒවා මොනවා දැයි දැන සිටීමෙන්, සමහර විට ලංකාවට එවැනි ක්‍රම ගෙනෙන්නට යෝජනා කරද්දී ඊට විරෝධය පාන්නට අවශ්‍ය මන්දැයි කියා හෝ යම් හෝඩුවාවක් ලැබෙනු ඇත.

වර්තමාන සිංගප්පූරු අගමැති ලී ස්යෙන් ලූන් මිය ගිය රටේ නිර්මාතෘ අගමැතිවරයා වූ ලී ක්වාන් යූ ගේ පුතෙකි. ලෝකයේ අගමැතිවරු අතර වැඩියෙන්ම ඉහළ පඩිය ලබන ස්යෙන් ලූන් තම වේතනයට බදු ගෙවිය යුතු නැත්තේ ඒ සඳහා රටේ නීතියක් සම්මත කරගත් නිසයි. එම නීතිය ගෙනෙන අරමුණ ඉහළ පඩියක් දීමෙන් රටේ පාලකයා අක්‍රමිකතා වලින් ධනය උපයන්නට නොපෙළඹෙනු අැතැයි යන දුර්මතයයි.

ලූන්ගේ බිරිඳ තෙමසෙක් හෝල්ඩින්ස් හි CEO වන හෝ චින්ග් ය. හෝ පෙන් කී යනු අගමැති බිරිඳ හෝ චින්ග්ගේ සහෝරදයෙකි. ඔහු අධ්‍යාපනය පාලනයට පත් ව සිටින ඩිරෙක්ටර් ජනරාල්ය. ටියෝ චී හීන් නම් උප අගමැතිවරයා ද පවුලේ සමීපතම හිතවතෙකුගේ පුතෙකි. අගමැතිවරයාගේ තාත්තාගේ ඥාති දුවෙකු (niece) වන රූත් ලී රටේ අනෙක් උප අගමැතිවරයාගේ බිරිඳ වෙයි. මෙයාකාරයෙන් අගමැතිගේ මාධ්‍ය නිවේදක සිට රටේ ඇමති ධූර තනතුරු හොබවන බොහොමයක් දෙනා යම් ආකාරයකින් ලී ක්වාන් යූ පවුල සමඟ ඥාති හෝ සමීප හිත මිතුරුකම් පවත්වන අය වෙති.

තෙමසෙක් ක්‍රමය

සිංගප්පූරුවේ තෙමසෙක් ක්‍රමය පවුල්වාදය පෙරදැරි කරගත්තකි. ඉතින් යම් අයෙක්, පවුල්වාදයක් නොමැති යහපාලනයක් ගෙනෙන්නට යැයි කියා තෙමසෙක් ක්‍රමයක් යෝජනා කරන්නේ ද, එයා තෙමසෙක් ක්‍රමය හරියටම කුමක්දැයි නොදන්නා අයෙකි. තෙමසෙක් ලංකාවට උචිත නොවන්නේ ඇයි? මැයෙන් රොහාන් සමරජීව විසින් රාවය පුවත්පතට සටහනක් ලියා ඇත. බලයේ සිටින පක්ෂයට ලබා දුන් සහයෝගය හෝ කාගේ ඥාතිකමක් අැති ද කුමන පාසැලෙහි උගත්තේ ද වැනි කරුණු රටේ ස්වෛරී සම්පත් අරමුදලේ අධ්‍යක්ෂකවරුන් පත්වීමට බල නොපාන බව එහි ඔහු කියයි.

වංචා විමර්ශනය

තෙමසෙක් හි අක්‍රමිකතා පමණක් නොව පොදුවේ සිංගප්පුරු ආණ්ඩුවේ සියලු අඩුපාඩු ගැන කතාබහට එර‍ෙට් ජනතාවට ඉඩකඩක් ලැබෙන්නේ නැත. දේශපාලන විරුද්ධ පක්ෂයක් එරටේ නොමැති වීම ජනතාවගේ ප්‍රසාදය බලයේ සිටින ආණ්ඩුවට ඉහළින්ම පිරිනැමෙන නිසා යැයි අයෙක් සිතන්නේ නම් එය මහා මුළාවකි. එරට ජනතාවට තම අක්‍රමිකතා ගැන දැනුම් දෙන්නට විදේශිකයකුගේ සරණක් ද ලබාගත නොහැකිය. සිංගප්පූරුවේ නීති පද්ධතියෙන් දඬුවම් දෙන බලය සතු විනිසුරු පද්ධතිය කොතරම් තදින් බලයේ සිටින දේශපාලන නායකයන්ට සහාය දෙනවා දැයි කියා දැනගන්නට හැකියාවක් එරට මාධ්‍යය වලින් පළ කිරීම තහනම් වූවකි. ඒ නිසාම සිංගප්පූරුව මානුෂික අයිතීන් උල්ලංඝනය කරන හැටි දැනගන්නට ද බහුතර ලෝකවාසීන් අසමත් වෙති.

සිංගප්පූරුවේ දියුණුව ගැනත් සිංගප්පූරුවේ මානුෂීය නිදහස ගැන කතා කරන අල්පයක් ලොව සිටිති. තමනට විරුද්ධව සිංගප්පූරු උසාවි වලින් පවරා ඇති නඩු සමුදායක් හමුවේ,ගෙවන්නට නියම කර ඇති ලොව අතිශයම විශාල වූ දඩ හමුවේ ඔවුන් ලොවට තොරතුරු සපයති.

ඕනෑම අකටයුත්තක දී රට පාලනයේ ඉන්නා අය “අපි මේ ගැන සොයා බලා තීන්දුවක් දෙනවා” යැයි කිව්ව ද, කිසිත් වගකීමකින් යුතු සොයා බැලීමක් සිද්ධ වෙන්නේ නැති බව මෙවැනි පාලක ගුණ්ඩු හුරු ලංකාවේ අයට අමුතුවෙන් පැහැදිලි කර දෙන්නට අවශ්‍යතාවයක් නැත. ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ සහ මහජන සේවකයන්ගේ මුදල් අක්‍රමිකතා ගැන සොයා බලන්නට වංචා විමර්ශන ආයතනයක් (CPIB) සිංගප්පූරුවේ තිබුණ ද, රටවැසියන් සියල්ලන්ම පාහේ දන්නා වංචනික ක්‍රියාවන් විමර්ශනය වෙන්නේ වංචා කරන ලද්දා විසින්ම පත් කරන ලද මුදල් ඇමතිවරයා අතිනි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා