අන්තර්ජාලය වේගවත් වගේම අවදානම්

අන්තර්ජාලය වේගවත් වගේම අවදානම්

කාන්තාවනි, ඔ‍ෙබ් ආරක්ෂාව ඔ‍ෙබ් අතේ !

ස්ත්‍රියක හෝ පුරුෂයකු වේවා මෙලොව ජීවත්වන සෑම දෙනෙකුටම ඇත්තේ සමාජ මනුෂ්‍ය ජීවිතයක්. ඒ නිසා ස්ත්‍රිය සමාජයේ දෙවැනි පෙළ පුරවැසියන් සේ සලකා ක්‍රියා කිරීම එතරම් සදාචාරාත්මක වන්නේ නැහැ. වර්තමානයේ ස්ත්‍රියගේ දැන උගත්කම, ගතිගුණ, සමාජ මට්ටම යන අගයන්ට වඩා ඇය ලිංගික හැඩතල සාධකයක් ලෙස පමණක් සලකා කටයුතු කිරීම ඔස්සේ ඇයට සිදුවන සමාජ අසාධාරණකම් බොහොමයි. කාන්තාවක් සැම විටම ආකර්ෂණීයයි. ඒ නිසා ම පිරිමින්ට වඩා කාන්තාව කෙරෙහි සමාජ අවධානය යොමුවීම වැඩියි. ඒත් ඒ අවධානය සෑම විටම කාන්තාවගේ ගෞරවය රැකෙන, ඇය ආරක්ෂා කරන දෙයක් නම්, අද අපට නිතර දෙවේලේ අසන්නට ලැබෙන කනගාටුදායක පුවත්වලට විරාමය තබන්න හැකි වේවි.

ආචාර්ය ශිරෝමි අරුණතිලක

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශිකා, පරිගණක අධ්‍යයන

ආයතනය, කොළඹ විශ්වවිද්‍යාලය

තාක්ෂණයේ දියුණුවත් සමඟ අපට ලැබුණු දේ බොහෝමයි. ඒ තුළ හොඳ නරක දෙකම තිබෙනවා. එය පරිහරණය කරන ආකාරය අනුවයි එහි ප්‍රතිඵලය තීරණය වන්නේ. අද කිසිම දෙයක් තාක්ෂණය නොමැතිව කිරීමට නොහැකි තත්ත්වයක් උදාවෙලා. නවීන තාක්ෂණය අපට ලැබුණේ එයට අප සූදානමක් නොමැති අවස්ථාවක වුවත්, පසුව එය නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. එයට හොඳ ම උදාහරණය අන්තර්ජාලය, ගුවන් විදුලියට, රූපවාහිනියට පමණක් සීමා වූ ග්‍රාහක සමාජයේ සීමා මායිම් බිඳිමින්, විශාල අවකාශයක් ග්‍රහණය කර ගැනීමට අන්තර්ජාලයට හැකි වී තිබීම දැක්විය හැකියි. බාල, තරුණ, මහලු බේදයකින් තොරව, වර්තමානය වන විට කුමක් හෝ තාක්ෂණික මෙවලමක් භාවිත කිරීමට හැම කෙනෙක්ම වාගේ කටයුතු කරනවා. ජංගම දුරකථනය අද සමාන්‍යකරණය වෙලා. ස්කයිප්, වෙබ් අඩවි, මුහුණු පොත (face book) මේ අපට නිතර අසන්න ලැබෙන සුලබ වදන්.

වැරැදි ලෙස භාවිතය

අපේ රටට පරිගණකය පැමිණෙන විට එහි තාක්ෂණය පිළිබඳ අප කිසිම දෙයක් දැන සිටියේ නැහැ. ඒත් අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්. ඉතා ම කෙටි කාලයක් තුළ ඉතා ශීඝ්‍රයෙන්, එනම් ඇසි පිල්ලමක් ගසන ඇසිල්ලෙන් තාක්ෂණය වෙනස් වෙනවා. ඒ වගේම, එයට ග්‍රහණය වන විශාල පිරිසකුත් අප අතර සිටිනවා.

සයිබර් ලෝකය තුළ සැරිසරන, ඒ හරහා විවිධ පුද්ගලයන් සමඟ ගනුදෙනු කරන විට තමන් කරන දේ පිළිබඳ වගකීමක් වගේම දැනුම්වත් බවත් තිබිය යුතුමයි. කාන්තාව සම්බන්ධයෙන් කතා කිරීමේදී වැඩි වගකීමක් ඇය වෙත පැවරෙන්නේ, සමාජය යහපත් කිරීමේ සහ ශක්තිමත් මිනිස් ප්‍රජාවක් ගොඩනැංවීමේ වගකීම පුරුෂ පාර්ශ්වයටත් වඩා ඇයට හිමි වී තිබෙන නිසයි.

අතීතයට වඩා අද කාන්තාවට සමාජය සමඟ මිශ්‍ර වී, එකට ගැටෙමින් වැඩ කිරීමට සිදු වී තිබෙනවා. මෙහිදී ඇයගේ වෘත්තීය ස්වරූපය අනුව හෝ සමාජීය පසුබිම මත තාක්ෂණය සමඟ සමීප වීම සිදුවෙනවා. එහිදී අන්තර්ජාලය හා ජංගම දුරකථනය ප්‍රධානයි. රැකියාවක නියැළි කාන්තාවක් හෝ තරුණියක් වේවා, ගෘහණියක් වේවා, පාසල් වයසේ පසුවන දරුවෙක් වේවා හැම දෙනාම අන්තර්ජාලය සමඟ ගනුදෙනු කරනවා. එය වැරැදි නැහැ. මුළු ලෝකය සමඟ ඉක්මනින් සම්බන්ධ විය හැකි ඕනෑම දෙයක්, ස්ථානයක් පිළිබඳ සියලු තොරතුරු දැනගත හැකි සහ දැනුම වර්ධනය සඳහා විශාල පිටුබලයක් සපයන දෙයක් තමයි අන්තර්ජාලය. ඉස්සර විදෙස් මිතුරෙක් හෝ මිතුරියක් හඳුනාගැනීම එතරම් පහසු නැහැ. පෑනේ මිතුරන් හඳුනාගන්න ලිපි යැවිය යුතුමයි. ඒත් අද එහෙම නැහැ. ෆේස් බුක් හරහා එය ඉතා ම පහසුයි. ඒත් මේ හොඳ දේවල් හොඳ විදියට භාවිත කරනවාද කියන එක ගැටලුවක්. අන්තර්ජාලය හෝ විවෘත මාධ්‍ය සමස්ත සමාජයේම පරිහානියට මුල් වන ප්‍රබලම සාධකය ලෙස පිළිගන්න බැහැ. ඒත් එය වැරැදි ලෙස භාවිත කිරීම නිසා සමාජයේ තවත් පාර්ශ්වයකට හිංසාවක් හෝ පීඩාවක් විය හැකි අවස්ථා තිබෙනවා. එතැනදි සිදුවන්නේ සමාජයට අවැඩක්.

අන්තර්ජාලය හරහා සිදුවන හොඳ නරක පිළිබඳ සියලු දෙනාම දැනුවත් විය යුතු කරුණු රැසක් තිබෙනවා. විශේෂයෙන්ම කාන්තාව හා දරුවන්. දරුවන් පිළිබඳ වගකීම පැවරෙන්නේ මවුපියන්ට හා පාසල් ගුරුවරුන්ට. ඇතැම් වෙබ් අඩවිවල පළවන අසභ්‍ය පුවත් හා අසභ්‍ය ඡායාරූප පිළිබඳ හිතා බලන්න. මේ හරහා කුමන හෝ කාන්තාවකගේ නමට, ප්‍රතිරූපයට කැළලක් විය හැකියි. සමහර තරුණියන් තමන් නොදැනුවත්වම අන්තර්ජාලය හරහා විවිධ පුද්ගලයන්ගේ ගොදුරු බවට පත්වෙලා. තමන්ගේ ඡායාරූපයක් අන්තර්ජාලයට යොමුකිරීමේදී, කාන්තාව දැඩි සේ පරෙස්සම් විය යුතුයි.

ප්‍රතිරූපයට කැළලක්

හැම මොහොතේම අපි සිතිය යුත්තේ, මේ අති නවීන තාක්ෂණයකින් යුත් උපකරණයක්. මගේ ඡායාරූපය නන්නාඳුනන පුද්ගලයකු අතට පත්වුවහොත් කුමක් සිදුවේද? යන්න පිළිබඳයි. අද තාක්ෂණයේ දියුණුවත් සමඟ ඕනෑම ඡායාරූපයක් වෙනස් කළ හැකියි. නිරුවත් කයකට ඕනෑම අයෙකුගේ මුහුණු සම්බන්ධ කළ හැකියි. එහි පසුබිම වෙනස් කළ හැකියි. ඒ වගේම එක බොත්තමක් තද කළ පමණින් මේ පින්තූරය මුළු ලෝකයටම බලන්න පුළුවන්. අන්තර්ජාලයේ සැරිසරන සමහර පුද්ගලයන්ට අවශ්‍ය හුවමාරු (Share) කර ගැනීම පමණයි. ඒ හරහා අනෙක් පාර්ශ්වයට සිදුවන අහිතකර තත්ත්වය පිළිබඳ සිතන්නේ නැහැ. ඔවුන් කරන පොඩි දෙයකින් ලොකු විනාශයක් විය හැකියි. පසුගිය දිනවල මෙවැනි සිද්ධි නිසා සියදිවි නසා ගත් ගැහැනු දරුවන් ගැන අපට අසන්නට ලැබුණා. ශ්‍රී ලංකාවේ මේ වන විට සියදිවි නසාගැනීම් දවසකට 10ක්. සියදිවි නසාගැනීම සඳහා පෙලඹෙන්නන් දවසකට සියයක් ලෙස ගණන් බලා තිබෙනවා. සමාජ ජාලා වෙබ් අඩවි, ෆේස්බුක් හරහා සිදුවන හිංසන නිසා ලැජ්ජාවට පත්වන අයගේ අවසාන විසැඳුම මරය විය හැකියි. ඒ නිසා මෙවැනි සිදුවීම්වලින් සියදිවි නසාගැනීමේ ප්‍රමාණය වැඩි වී තිබෙනවා. දෙයක් වුණාට පසු ඒ පිළිබඳ ලතැවී පලක් නැහැ. ඒ නිසා කාන්තාවන් තමන්ගේ පෞද්ගලිකත්වය රැක ගැනීමට උත්සාහ කළ යුතුයි වගේ ම, දරුවන් අන්තර්ජාලයේ ගොදුරු බවට පත් නොකිරීමට මවුපියන් වගබලා ගත යුතුයි.

අන්තර්ජාලය සමාජය මුහුකුරා යාමට පෙර සමාජය ආක්‍රමණය කළ මෙවලමක්. ඒ නිසා එය භාවිත කරන අය ඒ පිළිබඳ අවධානයෙන් සිටිය යුතු වන්නේ එය ඕනෑම මොහොතක අවදානමක් විය හැකි නිසයි. අන්තර්ජාලයේ හැඟීම්වලට ඉඩක් නැහැ. සියල්ල යාන්ත්‍රිකයි. ඒවා හසුරුවන අය පවා යාන්ත්‍රික වෙලා. තමන් ආදරය කරන තරුණියගේ නිරුවත අන්තර්ජාලයට මුදාහරින්නේ ඒ නිසයි. එතැනදී එක් පාර්ශ්වයකගේ නොසැලකිල්ල හෝ නොදැනුවත්කම, තවත් පාර්ශ්වකට ආයුධයක් වෙලා.

තාක්ෂණයේ පහසුව අයුතු ලෙස ප්‍රයෝජනයට ගන්නා පුද්ගලයන් සිටින වග කාන්තාවන් ලෙස වටහා ගත යුතුයි. නැත්නම් තමන්ගේ වටිනා ජීවිතය නිරපරාදේ නාස්ති වී යා හැකියි. හැම විටම තමන්ගේ පෞද්ගලික තොරතුරු නොහඳුනන අය වෙත ලබා දීමෙන් වැළකී සිටීම හා පින්තූර හුවමාරු කර ගැනීම තමන්ගේ සමීපතමයන්, විශ්වාසවන්ත අය අතර පමණක් සිදු කිරීම මඟින් අනවශ්‍ය කරදරවලට මුහුණපෑමට සිදුවන්නේ නැහැ.

මුහුණු පොත (face book) හරහා අපට සමීප වන්නේ ඇත්තටම යහළුවන් ද කියා විමසිලිමත් විය යුතුයි. කාලය කා දැමීමට හෝ හුදෙකලාව මකා ගැනීමට පමණක් සම්බන්ධ වන එවැනි යහළුවන් ඔබේ සැබෑ මිතුරන් වන්නේ නැහැ. ස්කයිප් හරහා සංවාදවල නිරත වීමේදී, තමන්ගේ පෞද්ගලිකත්වයට හානි වන වචන භාවිත නොකිරීමට නිතර වගබලා ගත යුතුයි. ඇතැම් පුද්ගලයන් තරුණියන් ලවා අසැබි වදන් ප්‍රකාශ කර ගැනීමට උත්සාහ දරන අවස්ථා තිබෙනවා. මොහොතකින් මුළු ලෝකයම ඒ දේ අසනවා. මේ නිසා ඔබේ වචන පිළිබඳ සැලැකිලිමත් විය යුතුයි. තවත් කෙනකුට චෝදනා කිරීමට පෙර තමන් නිවැරැදි ලෙස හැසිරීමට වගබලා ගන්න. පරිගණකයේ කැමරාව ඉදිරිපිට පෙනී සිටින ආකාරය ගැනත් සැලකිලිමත් වීම වැදගත්.

ඇතැම් විට ඔබ ඡායාරූපයකට පෙනී සිට ඇති ආකාරය තවත් කෙනෙක්ට වෙනත් වැරැදි හැඟීමක් ඇතිකරවන දෙයක් විය හැකියි. එයින් නැති වෙන්නේ ඔබේ ප්‍රතිරූපයමයි. මන්ද සමාජය සුළු දෙයකින් පවා කාන්තාව තක්සේරු කිරීමට පෙලඹී ඇති නිසයි. තමන්ට නොගැළපෙන අයෙක් කියා සිතුණොත්, එම අවස්ථාව මඟහරින්න හෝ අවහිර කරන්න (block) පුළුවන් පහසුකම අන්තර්ජාලය තුළ තිබෙනවා. තමන්ගේ පෞද්ගලික තොරතුරු වෙනත් කෙනකු වෙත යන පහසුකම අත්හිටුවන්න පුළුවන්.

නිවෙස තුළ හුදෙකලා වන කාන්තාව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. ඇයගේ තනිකම මකා ගැනීමට ෆේස්බුක් හරහා සම්බන්ධ වන පුද්ගලයන් නිසා ගෘහ ජීවිත පවා අවුල් වී, මානසික රෝගියකු බවට පත්විය හැකියි. හොඳ ම දේ අන්තර්ජාලය හරහා දැනුම ලබාගෙන අනවශ්‍ය දේ බැහැර කිරීමයි. අනවශ්‍ය සංවාද සඳහා ගතකරන වටිනා කාලය ‍ඔබේ පවුලේ හෝ ඔබගේ යහපත වෙනුවෙන් යොදවන්න. අන්තර්ජාලය ඔස්සේ නොහඳුනන අය සමඟ තමන්ගේ පෞද්ගලික ගැටලු, දුක් වේදනා පවසන්න යෑම එතරම් යෝග්‍ය වන්නේ නැහැ.

අනවශ්‍ය සංවාද

පසුකාලීනව එය විශාල කරදරයකට පාර කැපීමක් විය හැකියි. නොදැනුවත්ව හෝ එවැනි පුද්ගලයෙක් අන්තර්ජාලය ඔස්සේ තමන් ග්‍රහණය කරගැනීමට හෝ හිංසනයට ලක්කරනවා නම්, වහාම ඒ පිළිබඳ ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන්න. එයට හේතුව අද පවතින පහසුකම් භාවිත කරමින් එවැනි පුද්ගලයන් නිවැරැදිවම හඳුනා ගැනීමට මාර්ග තිබෙනවා.

අලුත් තාක්ෂණය සමඟ ඇති වී තිබෙන අලුත් අලුත් ප්‍රශ්න අවම කර ගැනීමට නම්, අප බුද්ධිමත් විය යුතුයි. වර්තමානයේ සමාජය හා වටපිටාව පිළිබඳ දැනුම්වත් විය යුතුයි. ඒ වගේම විවෘත මාධ්‍ය හරහා සමාජයට සිදුවන අහිතකර බලපෑම් හා නව මාධ්‍ය පිළිබඳ පොදුවේ මහජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් සකස් විය යුතුයි. පාසල් මට්ටමින් හා ආයතන මට්ටමින් මේ පිළිබඳ දැනුවත් කළ හැකියි. අන්තර්ජාලය වේගවත් වගේම අවදානම්. ඒ නිසා එය භාවිත කිරීමේදී වගකීමෙන් ක්‍රියා කරන්න. ඔබගේ නොසැළකිල්ල නන්නාඳුනන ,නොහික්මුණු පුද්ගලයකු ඔබගේ නිවෙසටම ගෙන්වා ගැනීමක් විය හැකියි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා