මිහින් ලංකා ගුවන් මගීහු රාත්‍රී 9තෙක් රස්තියාදු වෙලා

මිහින් ලංකා ගුවන් මගීහු රාත්‍රී 9තෙක් රස්තියාදු වෙලා

මිහින් ලංකා ගුවන් සේවයට අයත් ගුවන්යානයක් ඊයේ (29) පෙරවරුවේ බංග්ලාදේශයේ ඩකා නුවර බලා ගුවන්ගත වී පැය භාගයකට පසු එහි ඇතිවී තිබූ කාර්මික දෝෂයක් නිසා යළිත් එම ගුවන්යානය කටුනායක ගුවන් තොටුපළට ගොඩබස්වා ඇති අතර රාත්‍රී 9.00 වනතුරුත් එහි ගමන්ගත් මඟීන් වෙනුවෙන් මිහින් ලංකා කළමනාකාරිත්වය වගකිව යුතු කිසිඳු පියවරක් ගෙන නොතිබිණි.

එම්.ජේ. 501 දරන මෙම යානය ඊයේ (29) පෙරවරු 7.30ට ඩකා බලා ගුවන් ගතවීමට නියමිතව තිබුණත් එය  නියමිත වේලාවට ගුවන්ගත නොවී පැය දෙකක කාලයක් ප්‍රමාද වී තිබේ. එහි කාර්ය මණ්ඩලයට අමතරව මගීන් 159 දෙනෙක් ගමන් කළ බව වාර්තා වෙයි.

අනතුරුව මෙම යානය ගුවන්ගත වී පැය භාගයක් තුළ ආපසු කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩබස්වද්දී එහි සිටි මගීන්ගේ ජීවිත පිළිබඳව කිසිඳු වගකීමක් නොමැතිව එම යානය සම්පූර්ණයෙන්ම කිසිඳු පාලනයකින් තොරව අක්‍රමානුකූලව ගොඩ බැස්ස වූ බව එහි ගමන්ගත් මගීහු පවසති.

ඉන් අනතුරුව මෙම යානය ගොඩ බස්වන ලද්දේ කුමන හේතුවකටද නැවත යා යුතු වෙලාව කුමක් ද ආදී වශයෙන් මඟීන්ට ඇති වී තිබූ ගැටළුවලට පිළිතුරක් ලබා ගැනීමට මිහින් ලංකා ගුවන් සේවයේ ගුවන් තොටුපල නිලධාරීන් කිසිවෙකු ඉදිරිපත් නොවූ බවද මගීහු පවසති. මෙම තත්ත්වය නිසා ඇතැම් මඟීන් අමතර මුදල් ගෙවා වෙනත් ගුවන් යානාවලින් ඩකා බලා පිටත්ව ගොස් තිබේ. මෙම ගුවන් යානය ඊයේ රාත්‍රියේ 9.00ට යළි ඩකා බලා පිටත්වන බවට ගුවන් තොටුපල ගුවන් යානා ගමන් විස්තර ඇතුළත් තිරයේ දිසුවුවත් ඒ වනවිටත් යානයේ ආපසු පැමිණි මගීන්ට නිසි පිළිතුරක් ලබා ගැනීමට නොහැකි වී තිබේ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා