මිතුරු වෙසින් පැමිණි මාරයාට බිලි වූ ප්‍රියන්ත දුප්පතුන්ට උදව් කළ හිතහොඳ මිනිහෙක්

මිතුරු වෙසින් පැමිණි මාරයාට බිලි වූ ප්‍රියන්ත දුප්පතුන්ට උදව් කළ හිතහොඳ මිනිහෙක්

ඥාති සොයුරු උපාලි කියයි

ප්‍රියන්ත සිරිසේන මහතා අකාලයේ ජිවිතයෙන් සමුගත්තේ තමන් ළඟින්ම ඇසුරුකළ මිතුරාගේ ක්‍රියාවකින්, මෙය අප සැමට පාඩමක් කියාදෙන්නේ යැයි ඒ මහතාගේ ඥාති සොයුරු උපාලි ජයසිංහ මහතා පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බාල සොහොයුරෙකු වන ප්‍රියන්ත සිරිසේන මහතා පදිංචිව සිටියේ පොළොන්නරුව ලක්ෂඋයන ගොවිජනපදයේය. වයස 42ක් වූ ප්‍රියන්ත සිරිසේන මහතා දරුවන් තිදෙනෙකුගේ පියෙකි. ව්‍යාපාරිකයකු වශයෙන් කටයුතු කළ ඒ මහතා ප්‍රදේශයේ ජනතාවගේ හිතාදරයට පත් සමාජසේවකයෙකි.

සිය මිතුරා සමඟ ඇතිවූ සුළු ආරාවුලක් දුරදිගයාමෙන් ඔහු විසින් තියුණු ආයුධයකින් පහරදීමෙන් ප්‍රියන්ත මහතා බරපතළ ලෙස තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 28 දා ජීවිතක්ෂයට පත්වූහ.

ප්‍රියන්ත සිරිසේන මහතාගේ මෘතදේහය ඇතුමල්පිටිය සිය නිවසට ගෙනවිත් ඇති අතර අවසන් කටයුතු අද (30) දින පොළොන්නරුව පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

මේ හදිසි මරණය පිළිබඳ තවදුරටත් අදහස් පළකළ උපාලි ජයසිංහ මහතා, මියගොස් සිටින ප්‍රියන්ත මහතා මගේ මස්සිනා, ව්‍යාපාර කටයුතු කරගෙන ජීවත්වූ ප්‍රියන්ත පවුලේ ඥාතීන්ගේ සහ ප්‍රදේශවාසී ජනතාවගේ හොඳහිත දිනාගෙන කටයුතු කළ අවංක පුද්ගලයෙක්. දුප්පත් ජනතාවට සෑමවිටම පිහිටවූ ඒ මහතා ප්‍රදේශයේ ජනතාවගේ හොඳ මිත්‍රයෙක්.

ඔහුගේ ළඟින්ම ඇසුරුකළ මිතුරෙකු සමඟ ඇතිවූ සුළු සිද්ධියක් නිසා මේ මරණය සිද්ධවී තිබෙන්නේ තමන් ළඟම සිටින මිතුරාගෙන් පරිස්සම් විය යුතු බව පැවසෙන මේ මරණයෙන් අපට පාඩමක් කියා දෙනවා. ප්‍රියන්ත සහෝදරයාගේ අයියා ජනාධිපති වුවත් ඒ ගැන නොසිතා තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන දුප්පත් මිනිසුන්ට උදව් කරමින් ජීවත් වු ඒ මහතාගේ වියෝවෙන් මුළු ප්‍රදේශය ම අද ශෝකයට පත්ව සිටිනවා.

තම සැමියාගේ ඝාතනය සැලසුම් සහගතව කළ කුමන්ත්‍රණයක් යැයි ප්‍රියන්ත සිරිසේන මහතාගේ බිරිඳ වූ ගීතාංජලී සමන්කුමාරි මහත්මිය පැවසුවාය.

මේ මරණය සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ ගීතාංජලී සමන්කුමාරි මහත්මිය මෙසේ ද කීවාය. අප විවාහවී දැනට දරුවන් තිදෙනෙකු සිටිනවා. ප්‍රියන්ත ව්‍යාපාර කටයුතු කරමින් ජීවත්වුණා. මේ සිද්ධිය වූ දවසේ සවස අපට බඩු අරන්දෙන්න කදුරුවෙල නගරයට එන්න කීවා. මාත් දරුවන් තිදෙනාත් සමඟ වාහනයෙන් කදුරුවෙල නගරයට ගියා. ඒ වනවිට ප්‍රියන්ත අරලගන්විල මෝලේ සිට කදුරුවෙලට එන බව කීවා. කදුරුවෙල නගරයේ අප සිටින විට ප්‍රියන්තට මේ අනතුර සිදුවී ඇති බව ආරංචියක් ලැබුණා. පොළොන්නරුව මහ රෝහලටත් ඉන්පසු කොළඹ රෝහලකදී ප්‍රතිකාර ලබාදුන්නත් ජීවිතය නැතිවුණා. මේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා ප්‍රියන්තගේ යාළුවෙක්. ඔහු ගැන අපටත් ආරංචි වුණා. ඔහුගේ ව්‍යාපාර කරගෙනයන්න අපේ මහත්තයා මුදල් ලක්ෂගණනක් දී තිබෙනවා. ඒ අතර තුරදී මගේ මහත්තයා ඝාතනය කරන්න කුමන්ත්‍රණය කර තිබෙනවා. ඒ අනුව සැලසුම්සහගතව මේ ඝාතනය සිදුකර තිබෙනවායැයි ඇය කීවාය.‍

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා