උතුරේ ප්‍රශ්න ගැන සොයා බලන්න විශේෂ නිලධාරියකු පත් කරනවා

උතුරේ ප්‍රශ්න ගැන සොයා බලන්න විශේෂ නිලධාරියකු පත් කරනවා

අගමැති රනිල් වික්‍රමසිංහ

උතුරු පළාතේ ප්‍රශ්න පිළිබඳව සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ විශේෂ නිලධාරියකු පත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කරයි.

වසර තිහක යුද්ධයෙන් බරපතළ ලෙස හානි සිදු වූ කිළිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්වලට විශේෂ අවධානය යොමු කර සංවර්ධනය කළ යුතු බවද අගමැතිවරයා අවධාරණය කළේය.

කිළිනොච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී ඊයේ (29) ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමු වූ අවස්ථාවේදී අගමැතිවරයා මේ බව පැවසීය. යාපනයේ තෙදින නිල සංචාරයේ අවසන් දිනය වු ඊයේ(29) උද ේ වරුවේ මෙම හමුව පැවැත්විණි.

යුද්ධයෙන් ආබාධිත වූ සිවිල් ජනතාව පිළිබඳව විශේෂ සංගණනයක් සිදු කරන්නැයි මෙහිදී අගමැතිවරයා හමුදා නිලධාරීන්ට උපදේස් දුන්නේය. ආබාධිත වූ අය පිළිබඳව නිවැරදි සංඛ්‍යා ලේඛන දැනට නොමැති බව සඳහන් කළ අගමැතිවරයා ආබාධිත වැසියන්ට අත දීමේදී සමාජ සත්කාරය සහ පුනරුත්ථාපනය සම්බන්ධයෙන් පළපුරුද්දක් ඇති හමුදාවේ සහය ලබා ගත හැකි යැයිද පැවිසීය. කාන්තා ගෘහ මූලිකයන්ගේ සුබසාධනය වෙනුවෙන් ජාතික මධ්‍යස්ථානයක් කිලිනොච්චියේ ආරම්භ කරන බවද අගමැතිවරයා කීය.

මිනිසුන්ට යළි ලබා දිය හැකි ඉඩම් පිළිබඳව වාර්තාවක් ලබා දෙන්නැයි අගමැතිවරයා හමුදා නිලධාරීන්ට නියම කළේය.

ඉරණමඩු ඇතුළු ජලාශ පුළුල් කිරීම සම්බන්ධයෙන්ද අගමැතිවරයා සාකච්ජා කළේය.

මෙම අවස්ථාවට නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් , කාන්තා කටයුතු නියෝජ්‍ය ඇමැති විජයකලා මහේෂ්වරන් , කිලිනොච්චියේ දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු නිලධාරිහු පිරිසක් සහභාගි වූහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා