ප්‍රියන්ත සිරිසේනගේ අවසන් කටයුතු අද

ප්‍රියන්ත සිරිසේනගේ අවසන් කටයුතු අද

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බාල සොහොයුරු ප්‍රියන්ත සිරිසේන මහතාගේ අවසන් කටයුතු අද (30) වැනිදා සවස 3.30ට පොළොන්නරුව පොදු සුසාන භූමියේ දී සිදුකෙරේ.

මාර්තු 26 වැනිදා සවස 5.30ට පමණ පොළොන්නරුව 4 ඇළ ප්‍රදේශයේදී තරුණයකු සමඟ ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් තරුණයා එල්ල කළ තියුණු ආයුධ පහරින් බරපතළ තුවාල ලැබූ ප්‍රියන්ත සිරිසේන මහතා පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමෙන්  පසුව ගුවන් මඟින් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ශල්‍යකර්ම කිහිපයක් කර ප්‍රියන්ත සිරිසේන මහතාගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන් මහත් උත්සාහයක් දැරූහ.

නමුත් මාර්තු 28 වැනිදා අලුයම 3.50ට පමණ ප්‍රියන්ත සිරිසේන මහතා ජීවිතක්ෂයට පත්විය. සැකකරු බකමූණ පොලිසියට භාරවීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අප්‍රේල් 08 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය. ප්‍රියන්ත සිරිසේන මහතාගේ දේහය දැනට පොළොන්නරුව ඇතුමල්පිටිය ඒ මහතාගේ නිවසේ තැන්පත් කොට ඇත. ඒ මහතා‍ෙග් දේහයට අවසන් ගෞරවය දැක්වීම සඳහා ආගමික නායකයින්, දේශපාලනඥයන්, මැති ඇමැතිවරුන් ඇතුළු විශාල පිරිසක් රොක්වී සිටිති. 1972.12.12 දින පොළොන්නරුවේ දී උපත ලැබූ පී. ජී. ප්‍රියන්ත සිරිසේන මහතා සිය පවුලේ බාල සහෝදරයා වේ.

පොළොන්නරුව ලක්ෂ උයන කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ගම්පහ උඩුපිල මහා විද්‍යාලයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වූ මොහු ගම්පහ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයෙන් හා පොළොන්නරුව තෝපාවැව මහා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා ඇත.

පොළොන්නරුව රජරට බිල්ඩර්ස් සමාගම සහ මීට මාස කීපයකට පෙර ආරම්භ කළ රජරට සහල් පෞද්ගලික සමාගමේ හිමිකරු වූ එතුමා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිතයක් විය. “රාජු” නමින් සමාජයේ ආදරයට පාත්‍රවී සිටි ඒ මහතා ප්‍රබල සමාජ සේවකයකු හා දානපතියකුද විය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා