ඕෂධගේ අතේ සම බද්ධ කළ සැත්කම සාර්ථකයි

ඕෂධගේ අතේ සම බද්ධ කළ සැත්කම සාර්ථකයි

බස් රථ අනතුරක් හේතුවෙන් අත අහිමි වූ දරුවාගේ සම බද්ධ කිරීමේ සැත්කම පෙරේදා (28) කොළඹ ජාතික රෝහලේ දී සිදුකෙරිණ.

බස් රථ අනතුරකින් දකුණු අතේ මැණික් කටුව අසලින් ගැල වී ගොස් තිබූ ඕෂධ මධුසංඛ නමැති 15 හැවිරිදි පාසල් සිසුවාගේ අත කොටස ආරක්ෂාකාරි පියවර අනුගමනය කරමින් ජාතික රෝහලට ගෙන ඒමෙන් පසුව සැත්කමකින් අත බද්ධ කර ඇත.

අත බද්ධ කිරීමේ සැත්කම සාර්ථකව සිදු කළ බවත් දරුවා සාමාන්‍ය සුව තත්ත්වයෙන් පසුවන බවත් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසුවේය.

පැය හතක පමණ සැත්කමකින් පසුව බද්ධ කිරීම සාර්ථකව සිදු කර ඇති අතර වෛද්‍ය ප්‍රවීන් විජේසේකර, වෛද්‍ය කපිල මෙන්ඩිස්, වෛද්‍ය සෙල්ලප්පෙරුම යන වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් මේ සැත්කම සිදු කර තිබේ.

සිරුරින් වෙන් වූ අත කොටස ආරක්ෂාකාරි පියවර අනුගමනය කරමින් සිසුවා ද සමඟ ගම්පහ මූලික රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට එවා තිබීම නිසා ශල්‍යකර්මය සාර්ථකව සිදු කිරීමට හැකි වී ඇත.

බස් රථයේ පාපුවරුවේ ගමන් කරමින් සිටියදි තවත් බස් රථයක් එම බසය පසු කර යාමට උත්සාහ කිරීමේදී සිසුවාගේ අත එම බසයේ වැදී අත ගැල වී තිබිණ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා