අපරාජිත නවසීලන්තයේ සිහිනය බොඳ වෙයි

අපරාජිත නවසීලන්තයේ සිහිනය බොඳ වෙයි

ලෝක එක්දින ක්‍රිකට් කිරුළ පස්වැනි වරටත් ඔස්ට්‍රේලියාවට

නවසීලන්තයට එරෙහිව කඩුලු 7ක ජයක් වාර්තා කළ ඔස්ට්‍රේලියාව පස්වැනි වරටත් ලෝක ක්‍රිකට් ශූරතාව අත්කරගැනීමට ඊයේ සමත්විය. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය ලකුණු 183කට සීමා කළ ඔස්ට්‍රේලියාව කඩුලු 7ක් ඇතැතිව නියමිත ඉලක්කය පසුකළේ තවත් ඕවර 16කුත් පන්දු 5ක් ඉතිරිව තිබියදීය. මීට පෙර 1987, 1999, 2003 සහ 2007 තරගමාලා ජයගත් ඔස්ට්‍රේලියාව මෙවර ලෝක කුසලානය දිනා ගනිමින් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ අද්විතීය කණ්ඩායම තමන් බව නැවත වරක් තහවුරු කළේය.

නවසීලන්තය

එම්.ගප්ටිල් ප.මැක්ස්වෙල් 15

බී.මැකලම් ප.ස්ටාක් 0

කේ.විලියම්සන් ඇ. සහ ප.ජොන්සන් 40

ජී‍.එලියට් ඇ.හැඩින් ප.ෆෝල්ක්නර් 83

සී.ඇන්ඩර්සන් ප.ෆෝල්ක්නර් 0

එල්.රොන්චි ඇ.ක්ලාක් ප.ස්ටාක් 0

ඩී‍‍.වෙටෝරි ප.ජොන්සන් 9

ටි.සවුති දුවද්දි දැවී ගියා 11

එම්.හෙන්රි ඇ.ස්ටාක් ප.ජොන්සන් 0

ටි.බෝල්ට් නොදැවී 0

අතිරේක 13

එකතුව සියල්ලන් දැවී (ඕවර 45) 183

කඩුලු බිඳ වැටීම: 1-1, 2-33, 3-39, 4-150, 5-150, 6-151, 7-167, 8-171, 9-182

පන්දු යැවීම: ස්ටාක් 8-0-20-2, හැස්ල්වුඩ් 8-2-30-0, ජොන්සන් 9-0-30-3, මැක්ස්වෙල් 7-0-37-1, ෆෝල්ක්නර් 9-1-36-3, වොට්සන් 4-0-23-0

ඔස්ට්‍රේලියාව

ඩි.වෝනර් ඇ.එලියට් ප.හෙන්රි 45

ඒ.ෆින්ච් ඇ. සහ ප.බෝල්ට් 0

එස්.ස්මිත් නොදැවී 56

එම්.ක්ලාක් ප.හෙන්රි 74

එස්.වොට්සන් නොදැවී 2

අතිරේක 9

එකතුව කඩුලු 3ක් දැවී (ඕවර 33.1) 186

කඩුලු බිඳ වැටීම : 1-2, 2-63, 3-175

පන්දු යැවීම : සවුති 8-0-65-0, බෝල්ට් 10-0-40-1, වෙටෝරි 5-0-25-0, හෙන්රි 9.1-0-46-2, ඇන්ඩර්සන් 1-0-7-0

ඔස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ලකුණු 74ක් රැස් කළ නායක මයිකල් ක්ලාක්ගේ අවසන් එක්දින තරගය මෙය වීම විශේෂත්වයකි. ඔස්ට්‍රේලියානු ඉනිමේ පළමු කඩුලු දෙක ලකුණු 63දී බිඳ වැටීමෙන් පසුව ස්ටීවන් ස්මිත් සමග එක්වූ ක්ලාක් තුන්වැනි කඩුල්ලට ලකුණු 112ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්වූ අතර මැට් හෙන්රිගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගිය ක්ලාක් ආපසු ක්‍රීඩාගාරයට යද්දී දහස් සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන් අසුන්වලින් නැගී සිට ඔහුට ආචාර කළේය.

ඒ වනවිට ජයග්‍රහණයට අවශ්‍යව තිබුණේ ලකුණු 9ක් පමණි. ක්ලාක්ගේ දැවීයාමෙන් පසු ඔස්ට්‍රේලියානු පිලේ මීළඟ එක්දින නායකයා වීමට නියමිත ස්මිත් නොදැවී ලකුණු 56ක් රැස් කරමින් ජයග්‍රාහී ලකුණ හතරේ පහරකින් ලබා ගත්තේය. ඔහු මෙවර තරගමාලාවේ දී පිට පිට ලකුණු 50 සීමාව පසුකළ පස්වැනි අවස්ථාව මෙය විය. ඔහුගේ අවසන් ඉනිම් පහ සටහන් වූයේ ලකුණු 95, 72, 65,105 සහ නොදැවී ලකුණු 56ක් වශයෙනි.

අවසන් තරගයේ වීරයා ලෙස තීරණාත්මක කඩුලු දෙකක් දවාලූ ජේම්ස් ෆුල්ක්නර් සම්මාන දිනූ අතර තරගමාලාවේ වීරයා බවට පත්වූයේ කඩුලු 22ක් බිඳ දැමූ මිචෙල් ස්ටාක්ය. දෙදෙනාම ලෝක කුසලාන තරගමාලාවේ නිල තානාපති ලෙස කටයුතු කළ හිටපු ඉන්දීය ක්‍රීඩක සචින් තෙන්ඩුල්කර් අතින් සම්මාන ලැබූහ.

කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම් පළමුව පන්දුවට පහරදීම තෝරා ගැනීමෙන් පසුව මාටින් ගප්ටිල් සමග ඉනිම ආරම්භ කළේය. එහෙත් ආක්‍රමණශීලී අයුරින් පළමු ඕවරය යැවූ මිචෙල් ස්ටාක්ගේ පස්වැනි පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් මැකලම් ලකුණු නොලබා දැවීයාම නවසීලන්තයට බලවත් පාඩුවක් විය. අනතුරුව ගප්ටිල් සමග එක්වූ කේන් විලියම්සන් ඉනිම ගොඩනැගිමට පටන් ගත්තේය.

දෙදෙනා එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 32ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිටිය දී වේලාසනින්ම ග්ලෙන් මැක්ස්වෙල් පන්දු යැවීමට යොදාගත් නායක ක්ලාක් සාර්ථක ඵල නෙලා ගත්තේය. මැක්ස්වෙල්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ගප්ටිල් ලකුණු 15කට දැවීගියේය. මිචෙල් ජොන්සන් යැවූ ඊළඟ ඕවරයේ දී විලියම්සන් පෙරළා ඔහු අතටම උඩපන්දුවක් ලබාදී ක්‍රීඩාගාරයට යනවිට ලබා සිටියේ ලකුණු 12ක් පමණි.

ඒ වෙද්දී නවසීලන්ත ලකුණු පුවරුව සටහන්ව තිබුණේ ලකුණු 39ක් ලෙසය. ඔහුගේ දැවීයාමෙන් පසුව පිටියට පැමිණි ග්‍රාන්ට් එලියට් අවසන් පූර්ව තරගයේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව ක්‍රීඩා කළ විශිෂ්ට ඉනිම සිහිපත් කරවමින් ලකුණු අතරට පිවිසීමට සමත්විය. රෝස් ටේලර් සමග එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 111ක අනගි සම්බන්ධතාවක් ගොඩනැගීමට ඔහු සමත්විය. මුලු ලකුණු 150ක්ව තිබියදී ටේලර් ලකුණු 40කට දවාගත් ජේම්ස් ෆුල්ක්නර් ඒ ඕවරයේදීම නවක පිතිකරු කොරි ඇන්ඩර්සන්ගේ කඩුල්ල බිඳ දැමුවේය.

පසුපෙළ පිතිකරුවන්ට ලකුණු අතරට පිවිසීමට අවස්ථාවක් ලැබුණේ නැත. නවසීලන්ත පිලේ එකම බලාපොරොත්තුව වූ එලියට් ලකුණු 83කට දැවී ගියේ මුලු ලකුණු සංඛ්‍යාව 171ක්ව තිබියදීය. ඉතිරි කඩුලු ඉක්මනින්ම බිඳ දැමූ ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් ප්‍රතිවාදී ඉනිම නිමාවට පත් කළේ තවත් ඕවර 5ක්ම ඉතිරිව තිබියදීය. නවසීලන්ත ඉනිමේ අවසන් කඩුලු 6කම ලකුණු 33කට බිඳ වැටිම කැපී පෙනුණි. ඊයේ තරගය නැරැඹීමට 93,000ක වාර්තාගත ක්‍රීඩාලෝලීන් පිරිසක් මෙල්බර්න් ක්‍රීඩාංගණයට එක්රැස්වී සිටියහ.


අපි මේ සතුට සමරන්නේ පිලිප් හියුස් වෙනුවෙන්

මීට මාස කිහිපයකට පෙර පන්දුවක් හිසේ වැදීමෙන් ජීවිතක්ෂයට පත්වූ ඔස්ට්‍රේලියානු පිලේ ආරම්භක පිතිකරු පිලිප් හියුස් වෙනුවෙන් මේ ලෝක කුසලාන ජයග්‍රහණය සමරන බව තරගයෙන් අනතුරුව ඔස්ට්‍රේලියානු පිලේ නායක මයිකල් ක්ලාක් ප්‍රකාශ කළේය.

හියුස්ගේ සමීපතම මිතුරා වන ක්ලාක් ඔහුගේ වියෝවෙන් පසුව ඔස්ට්‍රේලියානු පිලට ක්‍රීඩා කළ සෑම අවස්ථාවක දීම සිය වමතේ ඉහළින් කලු පටියක් බැඳ ක්‍රීඩා කළ අතර ඊයේ තරගයේ දී ද එය දක්නට ලැබිණි.

‘අපි මේ තරගමාලාවට ක්‍රීඩා කළේ ක්‍රීඩකයන් 15ක් නෙවෙයි 16ක් එක්කයි. හැමෝම විශ්වාස කරන්නේ හියුස් තවම අප සමග සිටිනවා කියලයි. අද රාත්‍රියේ (ඊයේ) ලෝක කුසලානය ජයගැනීමේ සතුට සමරන්නේ අපේ පුංචි සහෝදරයා හියුස් වෙනුවෙනුයි. ඔහුත් අපි වගේම නිතරම පාටිවලට කැමැති කෙනෙක්.‘ ක්ලාක් කීවේය. ‘මේ ජයග්‍රහණයේ සතුට කියලා නිම කරන්න බෑ.

කොහොමවුණත් බ්‍රෙන්ඩන් හා ඔහුගේ කණ්ඩායම අගය කළ යුතුයි. ක්‍රිකට් පමණක් නෙවෙයි. ඕනෑම ක්‍රීඩාවකින් ඔවුන් පරාජය කරන්න ඉතා අසීරු කණ්ඩායමක්. විශේෂයෙන් පෞද්ගලිකව බ්‍රෙන්ඩන් ඉතා දක්ෂ ක්‍රීඩකයෙක්. ඔවුන්ට ස්තූතියි. ඒ වගේම අපේ ජයග්‍රහණයට සුබපැතූ සියලුම ඔස්ට්‍රේලියානුවන්ට ස්තූතියි. ආරම්භයේ සිටම ඔවුන් අප පසුපස සිටියා. කණ්ඩායමේ කාර්ය මණ්ඩලයත්, සෙසු නිලධාරීනුත් අපේ ජයග්‍රහණයට දායකත්වය ලබාදුන්නා.‘ ඔහු කීවේය.


 කුසලානය අහිමිවීම සිහිනයක් වගෙයි

තරගමාලාවේ ආරම්භයේ සිටම ජයග්‍රාහී මාවතට පිවිසී සිටි නවසීලන්ත කණ්ඩායමට ලෝක කුසලානය අත්කර ගැනීමට නොහැකිවීම සිහිනයක් බඳු සිදුවීමක් බව නවසීලන්ත පිලේ නායක බ්‍රෙන්ඩන් මැකලම් තරගයෙන් පසුව කියා සිටියේය.

නවසීලන්ත ඉනිමේ කඩුලු 3ක් දැවී ලකුණු 150ක් රැස් කරමින් යළි තරගයට අවතීර්ණ වූවත් ඉතිරි කඩුලු සියල්ල ලකුණු 180 ගණන්වල දී බිඳවැටීම සිතාගැනීමටවත් නොහැකි වූ බව ද ඔහු කීවේය.කෙසේවෙතත් ඔස්ට්‍රේලියාවේ දස්කම් අගය කළ මැකලම් සිය ප්‍රතිවාදී නායක මයිකල් ක්ලාක් ඉහළින් වර්ණනා කළේය. ‘මයිකල් ක්ලාක් අමතක නොවන තරගයකින් එක්දින පිටියෙන් සමුගත්තා. ඔවුන් තරගය පුරාම ජයග්‍රහණයට හිමිකම් කිව්වා.

අපිට කුසලානය අහිමිවුණාට ජීවිතය පුරාවට හොඳ මතක සටහන් කිහිපයක් සහ මිතුරන් රැසක් ඇතිකර ගන්න පුලුවන් වීමත් සතුටක්. අනුශූරයන් බවත් පත්වීමත් අපේ ක්‍රීඩා ජීවිතයේ ඉහළ ජයග්‍රහණයක්. ඒ නිසා අපිට ආඩම්බර වෙන්න පුලුවනි.‘ ඔහු කීවේය.

ලෝක කුසලාන දිනූ නායකයක් වන අර්ජුන රණතුංග (ශ්‍රී ලංකාව), ක්ලයිව් ලොයිඩ් (බටහිර ඉන්දීය කොදෙව්) හා කපිල් දේවි (ඉන්දියාව) 2015 ලෝක කුසලානය සමගින්..

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා