වෙසක් ගැන පසු වදනක්

වෙසක් ගැන පසු වදනක්

තවත් වෙසක් මංගල්‍යයක් නිමාවට පත්විය. එහෙත් වෙසක් සැරසිලි, තොරණ, භක්ති ගීත, දන්සල් හා ඊට අදාළ තවත් වැඩසටහන් මේ සතිය පුරා ම පවතිනු ඇත. ජාතික උත්සව, ආගමික උත්සව ආදිය සැලැකිය හැක්කේ අපේ සංස්කෘතියේ අංගයක් ලෙසට ය. මිනිස් සමාජය ශිෂ්ටත්වය කරා යන ගමනේදී විවිධ උත්සව පවත්වා තිබේ. අදටත් පවත්වනු ලැබේ. වෙසක් උත්සවයේ වෙනත් ගැඹුරු පරමාර්ථයක් තිබේ. එහෙත් මේ උත්සව සමයේ එය සමාජයේ සංවාදයට ලක්වූයේ ද යනු ගැටලුවෙකි.

නගරයක් පාසා විචිත්‍ර තොරණ දක්නට ලැබිණි. සෑම හන්දියක් ගණනේ ම දන්සල් දක්නට ලැබිණි. බත් දන්සල්, ඔසුපැන් දන්සල්, කිරි දන්සල්, සිසිල් බීම දන්සල් ආදී වශයෙන් ය. වෙසක් සැරසිලි ද වෙනදාට වඩා බහුලව දකින්නට ලැබිණි. සෑම පන්සලක ම පාහේ විශේෂ ආගමික වැඩසටහන් ද පැවැත්විණි. වෙනදාට වඩා වෙසක් මංගල්‍යය සාර්ථක යැයි සිතන්නට පුළුවන. ලැබී ඇති නිදහස, ආර්ථික සහන හා තවත් දේවල් නිසා සමාජය යම් සහනශීලී ජීවිතයක් ගත කරන බවක් එයින් පෙනී යයි. එහෙත් එය ද නියම වෙසක් නොවේ.

නූතන සමාජයේ ඇතැම් අප්‍රසන්න සිදුවීම් දෙස හැරී බලමු. කොටකෙතන තරුණ පුතෙක් සිය මව ඝාතනය කළේ ය. හේතුව සිය පෙම්වතියට ත්‍යාගයක් ලබාදීම සඳහා මව මුදල් නොදීම ය. තවත් පළාත් දෙකක තරුණ පුත්‍රයෝ දෙදෙනෙක් තම පියවරුන් ඝාතනය කළහ. මේ සෑම ඝාතනයක් ම අතිශය කුරිරු ය. පිළිකුල් සහගත ය. තියුණු පිහිවලින් කපාකොටා අම්මලා, තාත්තලා මරා දැමීමට තරම් ප්‍රචණ්ඩ තරුණ සමාජයක් බිහිවුණේ කෙසේද? වෙසක් සතියේදී අප පිළිතුරු සපයාගත යුත්තේ එබඳු ගැටලුවලට ය.

දිවි නසාගැනීමේ ද කෙළවරක් නැත. ගොවියන් ගොවි ණය ගෙවාගත නො හැකිව කණේරු ඇට කා දිවි නසා ගැනීම අවසන් වී ඇතත්; තරුණ පරපුර විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ දිවි නසාගැනීම නැවතී නැත. කෙනෙක් පෙම් සටනෙන් පැරදී වස බොති. තව කෙනෙක් විභාග අසමත්වී රේල්ලුවට පැන දිවි නසා ගනිති. තවත්‍ කෙනෙක් මාපියන්ගේ අවවාද - අනුශාසනා ඉවසාගත නොහැකිව ගෙල වැලලාගෙන මිය යති. අපේ තරුණ පරපුර අසහනයකින් හා පීඩනයකින් ජීවත්වන බව පෙනෙයි. මේ අසහනයට හා පීඩනයට විසැඳුම් බුදුදහම තුළ තිබේ.

ශ්‍රී ලංකාවේ සෑම දිනයක් ම ආරම්භ වන්නේ බණ - පිරිත් - සෙත්කවි - ලග්න පලාඵල ආදියත් සමඟ ය. රේඩියෝ නාලිකා, රූපවාහිනී නාලිකා ඒ සඳහා පෙළගැසී සිටී. සන්ධ්‍යාව ගෙවී යන්නේ බෝධි පූජා, දේව පූජා, භාවනා වැඩසටහන් ආදියෙන් ය. සෑම පන්සලකම පාහේ නිතිපතා එබඳු දේ සිදුවෙයි. බැලූ බැල්මට පෙනීයන්නේ අපේ බෞද්ධ සමාජය නිවී සැනසී ඇති බව ය. එහෙත් ඇත්තට ම එවැන්නක් පෙනෙන්නට නැත. පොදු බස් රථයක යන බොහෝ බෞද්ධයෝ ඇඟේ හැපෙන පුද්ගලයාට පහර දෙති. නැතහොත් අසභ්‍ය වචනයෙන් බණිති. මෙයින් පෙනීයන්නේ ආගමික වැඩසටහන් හරි හැටි ක්‍රියාත්මක වී නැති බව නොවේ ද?

පුද්ගලයා වෙත ශිෂ්ටත්වය ආරෝපණය වන්නේ ඔහුගේ චින්තනයේ දියුණුව, හික්මීම හා දැනුම ආදිය සමඟ ය. බණ ඇසූ පමණින් මිනිසා යහපත් වන්නේ නැත. ශිෂ්ට වන්නේ ද නැත. දියුණු වන්නේ ද නැත. සමහරුන් බණ ඇසුව ද, බණ වටහාගන්නේ නැත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සෑම පෝයකට ම ‍රජ ගෙදර බණක් කීමට කටයුතු සම්පාදනය කළේ ය. ඒ බණ අසන්නට මැති ඇමැතිවරු මෙන් ම ව්‍යාපාරිකයෝ ද පැමිණියහ. මෙසේ බණ ඇසූ ඇතැම්හු පෙරළා සිය රාජකාරි කරන්නට ගොස් වංචා හා දූෂණ සිදු කළහ. අද ඒවා හෙළිදරව් වෙමින් පවතී. බණ ඇසීම හා ජීවිතයට බණ පදවලින් ආදර්ශ ලබාගැනීම යනු කරුණු දෙකකි.

සෑම පෝයකට ම තැබෑරුම් වසා තබයි. ඒ අනුව බේබද්දන්ගේ ප්‍රමාණය අඩු විය යුතුය. මත්පැන් අලෙවිය ද අඩු විය යුතු ය. එහෙත් හැබෑවට ම එවැන්නක් දකින්නට නැත. පෝයට බේබද්දන්ගේ ගණන වැඩි ය. මත්පැන් අලෙවියත් වැඩි ය. එහි ආදායමත් වෙනදාට වඩා හොඳ ය. වෙසක් සතිය නිමිත්තෙන් දින කිහිපයක් මත්පැන් අලෙවිසල් වසා දැමිණි. එහෙත් බේබද්දන්ගේ අඩුවක් දකින්නට නො ලැබිණි. ඇතැම් දන්සල්වල සංවිධායකයෝ හොඳහැටි සප්පායම් වී විකාර නැටූහ. වෙසක් සංචාරයේ යෙදුණු අයගෙන් ඇතමකු හොඳට සූර්වී සිටින අයුරු ද දකින්නට ලැබිණි.

අපේ මේ අත්දැකීම් අපට කියාදෙන වැදගත් පාඩමක් තිබේ. එනම්; බෞද්ධකම පිටින් ගත නොහැකි බව ය. සැරසිලිවලින්, දන්සල්වලින් තොරණකින් බෞද්ධකම ගත නො හැකි ය. එහි අර්ථය වන්නේ දන්සල් නොදිය යුතු බව නොවේ. සැරසිලි අත්හල යුතු බව නොවේ. තොරණ නො ගැසිය යුතු බව නොවේ. ඒ සියල්ල සිදු කළ යුත්තේ ආධ්‍යාත්මික සංවරයක් සමඟ ය. සුනඛයකුට කෑම ස්වල්පයක් දෙන පුද්ගලයා පළමුව ඌට පා-පහරක් දී පසුව කෑමට යමක් දුන්නාට එය නියම දානයක් වන්නේ නැත.

ශීලාචාර - ශිෂ්ට සමාජයක් ගොඩනැඟීමේ වුවමනාව වත්මන් පාලකයන්ට තිබේ. ඒ සඳහා විවිධ වැඩසටහන් මෙන් ම විවිධ ප්‍රතිපත්ති ද හඳුන්වා දෙයි. අපට හැඟෙන පරිදි එය ඉතා වැදගත් ය. එහෙත් පාලකයන්ට පමණක් මේ කාරණය ඉටු කළ නොහැකි ය. ඒ- ඒ පුද්ගයා තම ශික්ෂණය ‍ගොඩනැඟීම සඳහා පෞද්ගලික කැපවීමක් කළ යුතු ය. එසේ නොකරන තාක් මේ සමාජය ශිෂ්ට කිරීම ද මේ සමාජය දියුණු කිරීම ද අපහසු වනු ඇත.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා