පය පැටලෙයි - පරිස්සමෙන් !

පය පැටලෙයි - පරිස්සමෙන් !

 19 වන සංශෝධනයෙන් හෙළිවන වත්මන් දේශපාලන අභියෝග කිහිපයක්

මහාචාර්ය ජයදේව උයන්ගොඩ

කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන

අධ්‍යයන අංශය

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කළ 19 වන සංශෝධනය සම්මත වීම, එයින් බලාපොරොත්තු වූ ඉලක්ක ළඟා කර ගැනීමට ක්‍රියා කළ යුත්තේ කෙසේ ද හා වර්තමාන ආණ්ඩුව හමුවේ පවතින්නා වූ ප්‍රධාන අභියෝග ආදිය සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන අධ්‍යයන අංශයේ මහාචාර්ය ජයදේව උයන්ගොඩ සමඟ පැවති සාකච්ඡාවක් ඇසුරෙන් මේ ලිපිය සැකසිණ.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තන ක්‍රියාවලිය තුළ සිදු වූ විශාල ජයග්‍රහණයක් ලෙස 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම හඳුනාගත හැකි ය. නමුත් එම සංශෝනධය සම්මත වීම සිදු වූයේ විශාල දේශපාලන අවිනිශ්චිතභාවයක් පසුබිම් කර ගෙන ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසක් ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂවල විශාල පිරිසක් ද මේ සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දෙනු ඇති ද යන්න පිළිබඳ අවසානය තෙක් ම පැවතියේ අවිනිශ්චිත තත්ත්වයකි. බොහෝ විට ඔවුන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡන්දය දෙනු ඇතැයි හෝ ඡන්දය දීමෙන් වැළැකී සිටිනු ඇතැයි බොහෝ දෙනෙක් කල්පනා කළහ. එහෙත් අවසානයේ සංශෝධනයට පක්ෂව විශාල ඡන්ද ප්‍රමාණයක් ලැබීම මවිතය ඇති කරවන කාරණයක් විය. කෙසේ වෙතත් 19 වන ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාදාමය තුළින් ශ්‍රී ලංකාවේ වර්තමාන දේශාපාලනයේ තිබෙන ගැටලු කිහිපයක් හඳුනා ගත හැකි විය.

ඒ අනුව 19 වන ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය තුළින් හඳුනා ගත හැකි වූ ප්‍රධානතම ගැටලුවක් වන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කිරීමට හෝ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වෙනත් සංශෝධන කිරීමට හෝ මහජන වරමක් තිබෙන්නේ විධායකයට පමණයි යන කාරණය සම්බන්ධයෙන් පවතින්නා වූ ගැටලුවයි. එම බලය තිබෙන්නේ ජනාධිපතිට හා අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ය. විශේෂයෙන් ජනාධිපතිවරයාට ය. පසුගිය ජනවාරි 8 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් වර්තමාන ජනාධිපතිවරයාට එම වරම ලැබිණි. නමුත් ව්‍යවස්ථාදායකට එම වරම ලැබී නැත. ව්‍යවස්ථාදායකය හා විධායකය අතර ති‍බුණු මේ පරස්පරය ප්‍රධාන ම ගැටලුව විය. එය තව දුරටත් තීව්‍ර කිරීමට හේතුවක් වූයේ එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අතර තිබෙන තියුණු දේශපාලන තරගය හා ධ්‍රැවීකරණය ය. 19 වන සංශෝධනය තමන්ට වාසි වන ආකාරයට සිදු කිරීමට එක්සත් ජාතික පක්ෂයේ පිරිස් ක්‍රියා කළහ. එමෙන් ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සංධානයේ පිරිස් ද උත්සාහ කළේ මේ සංශෝධනය තමන්ට වාසි වන ආකාරයට සිදු කර ගැනීමට ය. එනිසා 19 වන සංශෝධනයේ ඉරණම පිළිබඳ බරපතළ අවිනිශ්චිතතාවක් පැවතිණ. එම අවිනිශ්චිතතා හා විවිධ පසුබෑම් මැද වුව ද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම දේශපාලන පරිවර්තන ක්‍රියාවලියේ වැදගත් සංධිස්ථානයකි.

බොහෝ දෙනා පවසන පරිදි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමන්ට හිමි අසීමිත විධායක බලතල ස්වේච්ඡාවෙන් අතහැරීමට එකඟ වීම ශ්‍රී ලංකාවේ පමණක් නොව වෙනත් බොහෝ රටවල පවා සිදු නොවන විරල දෙයකි. 19 වන ආණ්ඩක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අකමැතිව සිටි බොහෝ දෙනා එයට පක්ෂව ඡන්දය දීමට බල කෙරුණු හේතුවක් වූයේ එම දේශපාලන පරිත්‍යාගශීලි ඉදිරිපත් වීම ය. ශ්‍රි ලංකාවේ දේශපාලනයේ පවතින සාමාන්‍ය ස්වාභාවය අනුව දේශපාලනඥයන්ගේ න්‍යාය පත්‍රය ක්‍රියාවට නැඟෙන්නේ දේශපාලන ආත්මාර්ථකාමිත්වය පදනම් කරගෙන ය. නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ සාමාන්‍ය ප්‍රවණතාවට වෙනස් ආදර්ශයක් සැපයූ පුද්ගලයෙක් බවට පත් වී ඇත. ඒ නිසා වර්තමානජනාධිපතිතුමාත් හිටපු ජනාධිපතිතුමාත් අතර හොඳ සංසංඳනයක් කිරීමට ශ්‍රී ලංකාවේ ජනතාවට දැන් හැකියාව ලැබී තිබේ. හිටපු ජනාධිපතිතුමා බලයෙන් පැරදුණ ද බලයට තිබෙන ඔහුගේ ආශාව අඩු වූ බවක් පෙන්වන තැනැත්තෙක් ‍නොවේ. නමුත් බලයේ සිටින ජනාධිපතිතුමා බලයේ සිටින ගමන් ම බලයට තිබෙන ආත්මාර්ථකාමී ගිජු බව අතහැර දැමීමට සූදනම් තැනැත්තෙකි. මේ සංසංඳනය ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රියාවලියේ ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනය ශක්තිමත් කිරීමට ඉතා වැදගත් වේ.

1978 සිට ශ්‍රී ලංකාවේ දේශපාලනයේ තිබුණු එක් නරක ප්‍රවණතාවක් වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ජනාධිපතිනිය හැර අන් සෑම ජනාධිපතිවරයෙක් ම බලසම්පන්න සහ තමන් සතු බලය සීමා විරහිතව පාවිච්චි කිරීමට ඉදිරිපත් වූ පුද්ගලයන් වීම ය. එය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට විශාල හානියක් සිදු කළ ප්‍රවණතාවකි. ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රියාවලිය සාමාන්‍ය තතත්ත්වයට ගෙන ඒමට නම් ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ සුපර් මෑන් ජනාධිපතිවරයෙක් නොවේ. ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ බලය අන්‍යයන් සමඟ බෙදා ගැනීමට කැමති රාජ්‍ය ව්‍යුහය තුළ තවත් බල කේන්ද්‍ර ගණනාවක් තිබෙන බව පිළිගන්නා එම බල කේන්ද්‍රවල සාපේෂ ස්වාධිනත්වයට ගරු කරන ඒකබලකේන්ද්‍රවාදී නොවන ජනාධිපතිවරයෙකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් ගොඩ නැඟීමට බොහෝ විට ඉඩකඩ තිබෙන්නේ එවැනි ජනාධිපතිවරයකු සහිත දේශපාලන බල ව්‍යුහයකි. නමුත් එය කොතරම් දුරට සාර්ථක වනු ඇති ද යන්න තීරණය වන්නේ මේ වසරේ ඉදිරි කාලය තුළ සිදු වන දේශපාලන වෙනස්කම් මත ය.

පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ දේශපාලනයේ දක්නට ලැබුණු තවත් වැදගත් දෙයක් වන්නේ රටේ සාමාන්‍ය ජනතාවත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සෑහෙන පමණකුත් ඒකබලවාදී දේශපාලන ව්‍යුහයට හා නායකත්වයට කොතරම් පුරුදු වී සිටියේ ද යන කාරණය ය. එම පුරුද්දෙන් ඔවුන් ඉවත් කිරීම පහසු කාර්යයක් නොවේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්තරා බෞද්ධ නායක හිමිනමක් හමු වූ විට එම හිමි නම පැවසූ කතාවක් පසුගිය දිනවල පුවත්පත්වල වාර්තා වී තිබිණි. එම වාර්තාවලට අනුව එම හිමිනම ජනාධිපතිතුමාට චෝදනා මුඛයෙන් පවසා ඇත්තේ දැන් ජනාධිපති බලය පාවිච්චි කරන බොහෝ දෙනෙක් සිටින බවත් සිටිය යුත්තේ ‍එක් අයකු පමණක් බවත් යන්න ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට වෙනත් අයකු පැවසූ කතාවක් ඔහු රැස්වීමක පැවසූ බව තවත් පුවත්පත් වාර්තාවක සඳහන් වී තිබුණි. ඒ අනුව එම පුරවැසියා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පවසා ඇත්තේ දැන් ජනාධිපතිවරු ගොඩක් සිටින බවත් කුමක් ද මේ සිදුවන්නේ වැනි කතාවකි. මේ උදාහරණ දෙකම බැරෑරුම් ලෙස සැලකිල්ලට ගත යුතු වේ.

1978 සිට දශක තුන හමාරක පමණ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ පුරවැසියන් ජීවත් වී තිබෙන්නේත් ඔවුන් පුරුදු වී තිබෙන්නේත් ඒකබල කේන්ද්‍රීය පාලකයකු සහිත පාලන තන්ත්‍රයක් තුළ ය. රාජ්‍ය බලය ආයතන අතර විමධ්‍යගත විය යුතු ය, බලය එක පුද්ගලයකු හෝ ආයතනයක කේන්ද්‍රගත නොවිය යුතු ය, හිතුවක්කාර ලෙස බලය පාවිච්චි කිරීමෙන් ඇති වන්නේ ප්‍රජා පීඩක පාලන තන්ත්‍රයක් ය, එය වැළැක්වීමට නම් සංවරණ හා තුලන ක්‍රම අවශ්‍ය ය යන මූලික ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ශ්‍රී ලංකාවේ පුරවැසියන් හා දේශපාලනඥයන් බොහෝ දෙනාට ආගන්තුක වී තිබෙන බව මේ අනුව පෙනෙන්නට තිබේ. ඒ නිසා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් අපේක්ෂා කළ ඉලක්ක සාර්ථක වීමට නම් ශ්‍රී ලාංකීය ජනතාවගේ දේශපාලන විඥානය ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනයකට ලක් කළ යුතු ය. ඉදිරි කාලය තුළ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පරිවර්තන න්‍යාය පත්‍රයේ ප්‍රධාන අ‍භියෝගය වන්නේ මේ කාරණය ය. එසේ නොවුණ හොත් ‘අනේ අපට ප්‍රජා පීඩක පාලකයෙක් නැවත ලබා දෙන්න’ යන ඉල්ලීම මහජනතාවගෙන් ම ඉදිරිපත් විය හැකි ය.

19 වැනි සංශෝධන ක්‍රියාදාමයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දී පැවැත් වූ කතාවලින් පැහැදිලි වන එක් කාරණාවක් වනුයේ ඔවුන් 19 සංශෝධනයට පක්ෂව ජන්දය ලබා දී තිබෙන්නේ තවත් න්‍යාය පත්‍රයක් අතැතිව බව ය. එනම් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුව පරාජයට පත් කිරීම හා මහින්ද රාජපක්ෂ මහතාගේ හිතවතුන්ගේ නායකත්වය සහිත අගමැතිවරයකු හා කැබිනට් මණ්ඩලයක් පත් කිරීමේ න්‍යාය පත්‍රයක් ඔවුන් සතුව තිබෙන බව ය. එවැන්නක් සිදු වුවහොත් එය නීත්‍යනුකූල පාර්ලිමේන්තු ක්‍රියාවලියට එකඟ වූවකි. නමුත් එහි දේශපාලන ප්‍රතිඵලය වනු ඇත්තේ 19 වන සංශෝධනයෙන් ආරම්භ කළ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් ආපස්සට ඇඳ ගෙන යාමකි. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ වර්තමානයේ පවතින්නා වූ අලුත් ම අභියෝගය මේ දේ සිදුවීම වැළැක්වීමට පියවර ගැනීමයි. රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන ජාතික ආණ්ඩු යෝජනාව එවැනි අරමුණක් පදනම් කරගත් එකක් බව පෙනෙන්ට තිබේ. නමුත් එම ජාතික ආණ්ඩු යෝජනාවට මහින්ද රාජපක්ෂ මහතා කොතෙක් දුරට කැමති වේවිද යන්න සිතා ගැනීමට දුෂ්කර වූවකි.

මෙහි දී සලකා බැලිය යුතු දෙවැනි වැදගත් කරුණ වන්නේ මේ ආණ්ඩුව දැනට ආරම්භ කර ඇති දූෂණ විරෝධි න්‍යාය පත්‍රය දිගටම ක්‍රියාත්මක කළහොත් ජාතික ආණ්ඩු වැඩපිළිවෙළ සාර්ථක වීමට ඉඩකඩක් නොමැති අතර ජාතික ආණ්ඩු වැඩපිළිවෙළ ඉදිරියට ඉදිරියට ගෙන ගිය හොත් දූෂණ විරෝධි වැඩපිළිවෙළට ඉඩ කඩක් නොමැති වීමයි. මේ අනුව පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලයේ පැවති ගැටලු හා ප්‍රේහේලිකා 19 වැනි සංශෝධනය මගින් විසඳා නොමැති බව ය. එමෙන් ම අලුත් ගැටලු ඇති වීමට ද අවකාශය සලසා තිබෙන බව ය. එය ද අප පිළිගත යුතු දේශපාලන යථාර්ථයේ කොටසකි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා