කැසිනෝ කලාප වෙනුවට අපි වෙසක් කලාප ඇතිකළා

කැසිනෝ කලාප වෙනුවට අපි වෙසක් කලාප ඇතිකළා

 අගමැති රනිල් වික්‍රමසිංහ

අද මෙරටේ කැසිනෝ කලාප වෙනුවට වෙසක් කලාප ඇතිකර තිබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පැපිලියාන දයා සමූහ ව්‍යාපාරය වෙසක් උත්සවය වෙනුවෙන් 10 වන වරටත් පැපිලියාන මංසන්දියේ ඉදිකරන ලද බ්‍රහ්මදත්ත ජාතකය පිළිබිඹු කෙරෙන විදුලි බුබුළු හැට දහසකින් සමන්විත වෙසක් තොරණෙහි විදුලි ආලෝකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා ඒ බව පැවසීය.

මේ අසිරිමත් අවස්ථාවට ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පාර්ලිමේන්තු මන්ත්‍රිනී අනෝමා ගමගේ, එජාප ජාතික සංවිධායක දයා ගමගේ, කැස්බෑව එජාප සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක, අවිස්සාවේල්ල එජාප සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලෙනඩ් කරුණාරත්න, බොරලැස්ගමුව නාගරික මන්ත්‍රී ලසන්ත සේනාරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

මෙහිදී ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් පැමිණි සිටි පිරිස පංචශීලයෙහි පිහිටුවනු ලැබුවේ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියන් ‍විසිනි.

අනතුරුව රැස්ව සිටි පිරිස ඇමැතූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

“දයා සමූහ ව්‍යාපාරය වෙසක් උත්සවය වෙනුවෙන් සෑම වර්ෂයකම මෙම ස්ථානයේ මේ තොරණ ඉදිකරනු ලබනවා. අද වෙසක් උත්සවය පවත්වන්න නිදහස් වාතාවරණයක් මේ රටේ තිබෙනවා. ඒවාගේම අද ජනතාවගේ අතේ මුදල් තිබෙනවා. ඒ මුදලින් කොටසක් ආගමික කටයුතු සඳහා වැය කිරීමට ජනතාවට හැකි වී තිබෙනවා. එනිසා පසුගිය වසරවලට වඩා මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් දන්සල්, තොරණ, වෙසක් කූඩු තිබෙනවා.

අද විදුලිය ගාස්තු අඩුයි. එනිසා වෙසක් සැරසිලි පවත්වාගෙන යාමට පුළුවන්. අද මේ රටේ කැසිනෝ කලාප නැහැ. ඒ වෙනුවට තිබෙන්නේ වෙසක් කලාපයි.

මේ අවස්ථාවට සහභාගිවීමට මට ආරාධනා කිරීම ගැන දයා සමූහ ව්‍යාපාරයේ අධිපති දයා ගමගේ මහතාටත් අනෝමා ගමගේ මහත්මියටත් ස්තුති පුද කර සිටිනවා.

මාදුළුවාවේ සෝභිත හිමි - “අවුරුද්දේ ලස්සනම දවස වෙසක් දවසයි. මිනිසුන් ඉපදෙනවා, මැරෙනවා. මිනිස් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතමයා ඉපදුන දවස අදයි. බුදුරජාණන් වහන්සේ වසර 45ක් දිවා රාත්‍රී දෙකෙහිම දහම් සුවඳින් මුළු ලොවම සුවඳවත් කළා.

බුදු බණ අසන්නට එන්නේ නැති අයට බණ අසන්න තිබෙන හොඳම තැන තොරණයි. එනිසා දයා ගමගේ මහතා වසරකට වරක් මේ තොරණින් බණක් කියනවා. එනිසා දයා ගමගේ මහතාට මේ වාගේ පින්කම් කිරීමට තුණුරුවන්ගේ සරණින් තව තවත් ශක්තිය ලැබේවා.

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියෝද මෙහිදී කෙටි අනුශාසනාවක් කළහ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා