මුද්‍රණය සඳහා

 
ඉදිරියේ දී රට බලශක්තියෙන් ස්වයංපෝෂිත කරනවා

ඉදිරියේ දී රට බලශක්තියෙන් ස්වයංපෝෂිත කරනවා

ඇමැති පාඨලී චම්පික රණවක

සහලින් රට ස්වයංපෝෂිත කළා සේ නුදුරු අනාගතයේදී මේ රට බලශක්තියෙන් ද ස්වයංපෝෂිත කරන බව විදුලි බල හා බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඊයේ (05) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැසීය.

අපේ රටේ තෙල් සහ ගෑස් සම්පත තිබෙන බවත් ඉන් විපුල ඵල රටට අත්කරදීමේ වැඩපිළිවෙළ මෙම වසරේ අරඹන බවත් ඒ මහතා කීය.

මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ඉදිකිරීමට යෝජිත බහුකාර්ය ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීමේ උත්සවයේදී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මේ ගොඩනැගිල්ල විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් ඉදිකිරීමට නියමිතය.

ශ්‍රී දළදා මාලිගා පුදබිමේ ඓතිහාසිකත්වය, ගෞරවනීයත්වය හා ප්‍රෞඩත්වය සුරැකෙන පරිදි මේ ඉදිකිරීම් සිදුකරන බව ද ඒ මහතා කීය.

ඉංග්‍රීසින්ගෙන් රට මුදාගැනීම සඳහා අරගල කළ අපේ මුතුන්මිත්තන්ගේ පාද ස්පර්ශ ලද මෙම ඓතිහාසික භූමිය තුළ ඉතිහාසයේ වැදගත් සාක්ෂි රැසක් පවතින බව ද පසුගිය දශකයක කාලය තුළ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මේ ජාතියේ උරුමය සහිත බිම ආධ්‍යාත්මික ගුණ සුවඳ ඔප්නංවන සේ වැඩිදියුණු කළ බව ද හෙතෙම පැවසුවේය.

මෙහිදී අදහස් දැක්වූ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසුවේ කලක පටන් බහුකාර්ය ගොඩනැගිල්ලක අවශ්‍යතාව ශ්‍රී දළදා මාලිගාවට තිබූ බවත් කලා ශිල්පීන්ට මෙන්ම බැතිමතුන්ටත්, විදේශීය සංචාරකයන්ටත් මින් ප්‍රයෝජන අත්වන බවත් ය.

ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ඉදිකෙරෙන අවසන් ගොඩනැගිල්ල මෙය විය හැකි බව ද ඒ මහතා පැවසුවේය.

මේ අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා, ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත හිස්වැල්ල යන මහත්වරු ද සහභාගි වූහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]