ඇල්පිටියේ මඟුල් ගෙදරක ගිය කැලණියේ තරුණයකු අරනුව ඇල්ලේ ගිලී අතුරුදන්

ඇල්පිටියේ මඟුල් ගෙදරක ගිය කැලණියේ තරුණයකු අරනුව ඇල්ලේ ගිලී අතුරුදන්

නෙළුව සිංහරාජ වනාන්තරයේ පිහිටි දිය ඇලි නරඹා විනෝද වන්නට ගිය තරුණයන් කණ්ඩායමක් අරනුව දිය ඇල්ලේ දිය නාමින් සිටියදී සැඩ පහරකට හසුව ගසා ගෙන ගොස් එක් තරුණයකු අතුරුදන් වී ඇතැයි නෙළුව පොලිසිය පවසයි.

මෙසේ අතුරුදන්ව ඇත්තේ කැලණිය මාගමුවේ පදිංචි වීර හැන්දී මහේෂ් කිස්ටෝපර් ප්‍රනාන්දු නමැති 27 හැවිරිදි තරුණයකු බවද පොලිසිය පවසයි.

ඇල්පිටිය ප්‍රදේශයේ පැවැති මංගල උත්සවයකට සහභාගී වී පසුව මොවුන් සිංහරාජ වනාන්තරයේ පිහිටි දිය ඇලි නරඹා විනෝද වන්නට පැමිණ තිබේ.

එසේ දිය ඇලි නරඹා පසුව එහි පිහිටි අරනුව දිය ඇල්ලේ දිය නාමින් සිටියදී දහතුන් දෙනකුගෙන් සමන්විත මේ කණ්ඩායමේ එක් තරුණයකු සැඩ පහරකට හසුව ගසාගෙන ගොස් ඇත.

අතුරුදන් තරුණයාගේ සිරුර මෙතෙක් හමුවී නැති අතර නාවික හමුදාවේ කිමිදුම්කරුවන් ගෙන්වා සිරුර සොයා ගැනීමට කටයුතු යොදා ඇතැයි නෙළුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බුද්ධික පනවල මහතා පැවැසීය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා