සිරුර පුරා තාර තැවරී අසරණ වූ නාගයාට කරුණාබර පිරිසකගේ පිහිට

සිරුර පුරා තාර තැවරී අසරණ වූ නාගයාට කරුණාබර පිරිසකගේ පිහිට

කොරපොතු ද වැසීයන ලෙස සිරුර පුරා තාර තැවරී බඩ ගා යෑමට නොහැකිව බෙලහීනව අසරණ වූ නාගයකු අරභයා ඉටුකෙරුණු පින්සර සද්කාර්යයක් වූ වෙසක් පින්කමක් කුලියාපිටිය පශුවෛද්‍ය කාර්යාලයේදී ඉකුත් දිනෙක දැකගත හැකිවිය.

මේ නාගයාට පෙණ ගොබයද ඔසවාගත නොහැකි පීඩාකාරී තත්ත්වයට පත්වීමට සිදුව තිබුණේ තොඩුවාව මහවැව කර්මාන්ත වැඩබිමක වූ තාර බැරලයක් පෙරළී එහි තාර බිමදිගේ ගලාගොස් තිබියදී නාගයා එම තාර පදාසයක් ඇලී ගිලීයෑම නිසාය. තාර පදාසයෙන් ගොඩඒමට ඇඹරෙමින් තැත් කිරීමේදී නාගයාගේ සිරුර පුරා තාර තැවරී ඇතැයි පැවසේ.

එම වැඩබිමේ සේවකයන් නාගයා තාර ගොඩෙන් ගොඩට ගැනීමට කම්බිකොකු යොදා ගැනීම නිසා ඉන් නාගයාගේ බඩට බරපතළ තුවාල සිදුව ඇති බව ද පශුවෛද්‍ය කාර්යාල ආරංචිමාර්ග පවසයි.

යථෝක්ත වැඩබිම ආසන්නයේ රියැදුරකු වූ ඩී. එම්. එස්. සොයිසා මහතා අසරණ නාගයා කෙරෙහි කරුණාවෙන් යුතුව එම නාගයා වාහනයකින් කුලියාපිටිය පශු වෛද්‍ය කාර්යාලය වෙත රැගෙන ආවේය. නාගයාගේ බඩේ තුවාල සඳහා පශු වෛද්‍ය නිලධාරින් ප්‍රතිකාර කිරීමේදී නාගයා නිර්වින්දනය කොට සැත්කම් සිදුකොට තිබේ.

මිනිසුන් වෙසෙන පරිසරවලදී මිනිසුන්ගේ හිංසා පීඩාවනට ද ලක්වූ නාගයන් අල්ලා සුදුසු ප්‍රදේශයකට මුදාහැරීමේ හුරුකම, පළපුරුදුකම ලබා ඇති නයි වසන්ත නමින් ප්‍රකට දුනුකයාවත්තේ වසන්ත කුමාර නරසිංහ මහතාට ද තාර තැවරී අසරණ වුණු නාගයා පිළිබඳව ආරංචිය ලැබී පශු වෛද්‍ය කාර්යාලය වෙත පැමිණ එම නාගයා නිරීක්ෂණයට ලක්කර ඇත. වසන්ත කුමාර මහතා පශු වෛද්‍ය කාර්යාලයේ නි‍ර්දේශ මත ඖෂධ ආලේප වර්ගයක් මිශ්‍ර ජලයෙන් නාගයාගේ සිරුර තෙමා සෝදා පිසදමමින් නාග සිරුරේ ඝණව තැවරී තිබූ තාර පදාස ඉවත් කිරීමට ගත් වෙහෙස නිසා නාගයා යළිත් ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට හැකිවී ඇත. මා විසින් අල්ලාගනු ලැබ සත්කාර කරන ලදුව මුදා හැරීමට පියවර ගත් 368 වැනි විෂකුරු සර්පයා මේ නාගයා බැව් වසන්ත කුමාර මහතා ‘දිනමිණ’ ට පැවැසීය. ඡායාරූපය-කුලියාපිටිය විශේෂ

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා