මිහින්තලේ වසම්මලේ කන්ද රක්ෂිතයේ ලෙන් චිත්‍ර විනාශ මුඛයේ

මිහින්තලේ වසම්මලේ කන්ද රක්ෂිතයේ ලෙන් චිත්‍ර විනාශ මුඛයේ

සිංහල ශිෂ්ටාචාරයේ උල්පත වූ මිහින්තලාවේ වසම්මලේ කන්දේ පිහිටි ලෙන් චිත්‍ර වර්තමානය වනවිට මිනිස් ක්‍රියාකාරකම් හා ස්වාභාවික හේතුන් මත දැඩි විනාශයට පත්වෙමින් ඇත.

මිහින්තලාවේ බෞද්ධ උරුමය කාලයක් තිස්සේ මතකයෙන් ගිලිහී ගිය ද යළි හඳුනා ගත්තද ඒවා රැක ගැනීම සඳහා මේ වන තෙක් කිසිදු පියවරක් ගැනිමට කිසිවකු ඉදිරිපත් නොමැති බව වසම් මලේ අවට පදිංචිකරුවෝ පවසති.

වසර විස්සක කාලයක් සිට වසම්මලේ කන්දේ රක්ෂිතයේ ඇති ලෙනෙහි පිහිටි චිත්‍ර විනාශ වෙමින් පවතී.

වර්ෂාව හා දැඩි නියං තත්ත්වය මත මෙන්ම මෙහි වඩාත්ම හානියක් සිදු වී ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම් හමුවේ බව සිතුවම් නිරික්ෂණය කිරීමේදි හඳුනාගත හැකිය. වසම්මලේ කන්දේ චිත්‍ර අනුරාධපුර යුගයට අයත් වන අතර මේ චිත්‍ර පිහිටා ඇත්තේ මිහින්තලේ නරයේ සිට කිලෝමීටර කිහිපයක් දුරින් පිහිටි දොරමඩලාව මරදන්කල්ල ප්‍රදේශයේ පිහිටි රජයේ රක්ෂිතයේය. අනුරාධපුර රාජධානියේ රජ කළ පණුඩුකාභය කුමාරයා සිය මාමාවරුන්ගෙන් ජීවිතය රැකගැනිම සඳහා සැඟවී සිටි ස්ථානය බවත් මිතුරන් සමඟ දිය කෙළියේ සිටිනවිට මාමාවරුනගෙන් ගැලවීම සදහා බේරි පලාගිය උමඟ සහ පොකුණ මෙය වන බව මහාවංහයේ හා ජනප්‍රවාදවල සඳහන්ව තිබේ. වසම්මලේ කන්දේ පවතින චිත්‍රවල එහි නැරඹීමට යන ඇතැම් පුද්ගලයන් විසින් ඒම චිත්‍රවලට හානි සිදුවන ආකාරයට කුරුටු ගා විනාශ කර ඇත. ඇතැම් පුද්ගලයන් විසින් ඒම පුද්ගලයන්ගේ නම්ද කොටා ඇති ආකාරය චිත්‍රවලින් මනාවට පිළිබිඹු වෙයි.

මිහින්තලේ මහින්දෝදාරාමයේ විහාරාධිපති වාහල්කඩ ශාන්ත නාහිමිපාණෝ - මේ චිත්‍රගලේ චිත්‍ර විනාශ වීමට පටන් අරන් බොහෝ කාලයක් වෙනවා මේ පිළිබඳ මේ උරුමයන් රැකගන්න අදාළ අංශ වෙත පුළුල් ලෙස දැනුවත් කිරිම් කළද මේ වන තෙක් කිසිදු පියවරක් ගෙන මේවා රැක ගැනීමට සංරක්ෂණ කිරිමට පියවර අරන්න නෑ. නැවත සංරක්ෂණ කර යථා තත්ත්වයට අරගන්න බැරි තරම් සමහර චිත්‍ර විනාශ කරලා.

ඇතැම් අයගේ නම් පවා කොටලා. අව්වට වැස්සට සමහර චිත්‍ර විනාශ වෙලා. මේ ස්ථාන අපේ ශ්‍රී විභුතිය ලෝකයට හඬ ගා කියන්න පුළුවන්.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා