පාපන්දු මුල් පුටුවකට නාමයෝජනා දුන් හිටපු නිලධාරියකුට මූල්‍ය වංචා චෝදනාවක්

පාපන්දු මුල් පුටුවකට නාමයෝජනා දුන් හිටපු නිලධාරියකුට මූල්‍ය වංචා චෝදනාවක්

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ප්‍රධාන තනතුරකට නාමයෝජනා ලබාදුන් අයකු මූල්‍ය වංචා චෝදනාවකට ලක්වෙයි. පාපන්දු නිලවරණයේ නාමයෝජනා පිළිබඳ අවසන් තීන්දු ප්‍රකාශයට පත් කෙරෙන මේ මස 7වැනිදා එම නාම‍යෝජනාව අභියෝගයට ලක් කරමින් විරෝධතා ගොනු කිරීමට විරුද්ධ පාර්ශවයක් කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති, ලේකම් තනතුරුවලට අනුර ද සිල්වා හා බාලේන්ද්‍ර ඇන්තනී යන මහත්වරු එක් පාර්ශවයකින් ද පකීර් අලී හා ක්ලෙමන්ට් ද සිල්වා යන මහත්වරු තවත් පාර්ශවයකින් ද නාමයෝජනා ලබා දී ඇත.

පාපන්දු සම්මේලනයේ වාර්ෂික මහා සභාව හා ඉදිරි දෙවසරක කාලයේ පරිපාලනයට නව නිලධාරී මණ්ඩලය පත් කර ගැනීමේ නිලවරණය මේ මස 23 වැනිදා පෙරවරු 10.00ට පාපන්දු නිවහනේ දී පැවැත්වෙයි. නිලවරණයට අදාල නාමයෝජනා භාරගැනීම හෙට (6) අවසන් වන අතර වි‍රෝධතා පරීක්ෂා කිරීම අනිද්දා (7) දින සිදුවේ.

මේ විරෝධතා පරීක්ෂණයේ දී පාපන්දු සම්මේලනයේ හිටපු නිලධාරියාට එරෙහි මූල්‍ය වංචා පිළිබඳ ‍චෝදනා ලිඛිතව භාරදීමට පිරිසක් සූදානම් වෙති. පාපන්දු තරගාවලියක තාක්ෂණික කටයුත්තකට සහභාගීවීමේ දී සම්මේලනයෙන් ලබාගත් රුපියල් 2,41000ක මුදලින් 1,46000ක් නොගෙවීමෙන් වංචාවක් කර ඇතැයි චෝදනාව භාරදීමට සූදානමින් සිටින පිරිසගේ ප්‍රධානතම කරුණ වී ඇත.

දකුණු ආසියා පාපන්දු තරගාවලියකට සහභාගී වූ හිටපු නිලධාරියාගේ වැටුපෙන් හිඟ මුදල් කපා ගැනීමට සම්මේලනය ක්‍රියා කරමින් සිටිය දී තනතුර අතහැර ගොස් ඇති අතර හිඟ මුදල් ගෙවීම ද නැවතී තිබේ. මෙවැනි නිලධාරීන් පාපන්දු සම්මේලනයේ පරිපාලනයට සම්බන්ධ කර ගැනීම බලවත් වරදක් හෙයින් නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන ලෙස ‍චෝදනාව ඉදිරිපත් කරන අයගේ ඉල්ලීම වී තිබේ.

මේ අතර ‍‍චෝදනාවට ලක්ව ඇති නිලධාරියා පාපන්දු සම්මේලනයේ සභාපතිට එරෙහිව කම්කරු දෙපාර්තුමේන්තුවේ නඩුවක් ගොනු කිරීමට සූදානම් වේ. තම සේවා කාලය තුල සේවක අර්ථ සාධක අරමුදලට හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලට බැරවිය යුතු මුදල් සම්මේලනය යවා නොතිබීම හිටපු නිලධාරියාගේ නඩු නිමිත්ත වී තිබේ.

ආසියානු පාපන්දු සම්මේලනය මගින් නිකුත් කරන ලද පුහුණු බලපත්‍රය මුදල් ප්‍රශ්නයක් මත අහෝසි කිරීමට වත්මන් පාපන්දු සභාපතිවරයා උත්සාහ කරමින් සිටීම වැරදි සහගත බව හිටපු නිලධාරියා සම්මේලනයට දැනුම් දී ති‍බේ.

මෙවර පැවැත්වෙන පාපන්දු නිලවරණයට හිටපු විධායක සභිකයන් වැඩි පිරිසකට සහභාගීවීමේ අවස්ථාව අහිමිවී තිබීම විශේෂත්වයකි. ක්‍රීඩා රෙගුලාසිවල සඳහන් පරිදි වසර 4කට වැඩි කාලයක් ප්‍රධාන නිලතල දැරීම එයට හේතුවී තිබේ.

සියලුම ක්‍රීඩා සංගම් මේ මස 15වැනිදාට පෙර නිලවරණ පවත්වා අවසන් කළ යුතුව තිබුණ ද පාපන්දු සම්මේලනයට පමණක් මේ මස 30දා තෙක් ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ අවසරය හිමිවිණි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා