මුද්‍රණය සඳහා

 
අනේ ජොනී! මොකද වුණේ?

අනේ ජොනී! මොකද වුණේ?

හිටපු අමාත්‍යවරයකු ද වත්මන් මන්ත්‍රීවරයකු ද වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. හේතුව ස. තො. ස. ආයතනයට අදාළ වංචාවක් සම්බන්ධ වගඋත්තරකාරයකු වීම ය. ස. තො. ස. ආයතනයට අයත් වැහැර, යන්තම්පලාව හා මල්ලවපිටිය යන ශාඛාවලින් රුපියල් ලක්ෂ පනස් දෙකකට වැඩි වටිනාකමකින් යුතු භාණ්ඩ රැගෙන ඇති ජොන්ස්ටන් මහතා ඒවාට මුදල් ගෙවා නැත. මේ මගින් ජොන්ස්ටන් මහතා රජයට විශාල පාඩුවක් කර තිබේ. ඊට අදාළව නීතිය ක්‍රියාත්මක වීම හැම අතෙකින් ම යුක්ති සහගත ය.

මේ සිද්ධියෙන් හෙළිවන තවත් කරුණු කිහිපයක් තිබේ. එක; මුදල් නො ගෙවා ලබාගත් පළමු කී භාණ්ඩ තොගය මැතිවරණ සමයකදී ජනතාව අතර බෙදා දී ඇත. මැතිවරණ සමයකදී නොමිලේ භාණ්ඩ බෙදන්නේ ඡන්ද කොල්ලකෑම සඳහා ය. ඒ අනුව ජොන්ස්ටන් මහතා වැරැදි කිහිපයක් සිදුකර තිබේ. දෙක; මේ වංචාව ගැන රටේ නායකයන් නො දැන සිටින්නට හේතුවක් නැත. එසේනම්; වැරැදි දැක - දැක නිහඬව සිටීමත් නීතිය හමුවේ වරදකි. රිය අනතුරක් වළක්වා ගැනීමට පියවර නො ගන්නා රියැදුරුට දඩ ගසන බව මේ ‍මොහොතේ අප සිහියට නැඟේ‍.

සිද්ධියට අදාළ පරීක්ෂණ පවත්වන්නේ කොළඹ මූල්‍ය අපරාධ පිළිබඳ විමර්ශන කොට්ඨාසයයි. මෙහි පරීක්ෂණ ආරම්භ වූ පසු අදාළ හිඟ මුදල සතොස ගිණුමකට බැර කර තිබේ. එයින් පෙනී යන්නේ තමන් වරදක් කර ඇති බව ජොන්ස්ටන් මහතා පිළිගන්නා බව ය. තව අතෙකින් මෙබඳු පරීක්ෂණයක් සිදු නොවූයේ නම්; මන්ත්‍රීවරයා කරබාගෙන සිටින බව ය. පරීක්ෂණ පැවැත්වීම කෙතරම් වැඩදායකදැ’යි එක පැත්තකින් පෙනී යයි. මහජන නියෝජිතයන් පසුගිය කාලය තුළ මෙබඳු වංචා කොපමණ කර ඇත්දැ’යි සැකයක් තව පැත්තකින් මතුවෙයි.

සමුපකාරය හා සතොස ආරම්භ‍ වූයේ මෙරට පොඩි මිනිසාට සේවයක් කිරීම සඳහා ය. නිදසුනක් කිවහොත් කූපන් හාල් ලබාදුන්නේ සමුපකාර ශාඛා මගින් ය. මුලදී සමුපකාරය ප්‍රචලිත වූයේ ග්‍රාමීය අංශය කේන්ද්‍ර කොටගෙන ය. එහෙත් පසුකලෙක එජාප ආණ්ඩුව විසින් ඊට සුපිරි වෙළෙඳ පොළ ක්‍රමය හඳුන්වා දෙන ලදී. ස.තො.ස සුපිරි වෙළෙඳ පොළ ක්‍රමය වඩාත් ප්‍රචලිත වූයේ රටේ ප්‍රධාන නගර කේන්ද්‍රකොට ගෙන ය. කුමක් වුව අද වනවිට ගමේත් - නගරයේත් යන දෙ‍අංශයෙහි ම සතොස ජනප්‍රිය වේ. මහජනයාට සැලකිය යුතු සේවාවක් ද ඒ මගින් ලැබේ.

සතොස බඳු රාජ්‍ය ආයතන ශක්තිමත් මට්ටමකින් පවත්වාගෙන යෑම රජය සතු වගකීමකි. මේ ආයතන පවත්වාගෙන යා හැක්කේ ලාභ ලබන තත්ත්වයකට පත් කිරීමෙන් පමණි. දේශපාලකයන් බොහෝවිට සිදු කරනුයේ ලාභ ලබන ආයතන ද පාඩු ලබන තත්ත්වයකට පත් කිරීම ය. ඇතැම්හු තම දේශපාලන කටයුතු සඳහා මේ ආයතන යොදා ගනිති. තව සමහරු මුදල් හම්බකිරීම සඳහා මේ ආයතන යොදා ගනිති. තවත් සමහරු මේ ආයතනවල දේපොළ තමන්ගේ භාවිතයට ගනිති. මේ හැම එකක් ම මහජනයාට කරන වැරැද්දක් ලෙස පෙන්වා දිය හැකි ය.

ජොන්ස්ටන් මහතා ඉහත සඳහන් වැරැද්ද කර ඇත්තේ එම ආයතනය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටින අතර ය. ඒ අතින් අමාත්‍යවරයා සිය නිලධාරීන් වෙත නරක ආදර්ශයක් ද ලබාදී තිබේ. ලොක්කා මහා පරිමාණයෙන් ගසා කන විට පොඩ්ඩෝ ටික - ටික සුළුවෙන් ගසා කන්නට පටන් ගනිති. ඉනික්බිති එබඳු ආයතන ගසා කෑමේ තෝතැනි බවට පත් වනු ඇත. ඉතිහාසයේ ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය - ආයතන විශාල ප්‍රමාණයක් වසා දමන්නට සිදුවූයේ ලොක්කාගේ සිට පොඩ්ඩා දක්වා ගසාකෑම ප්‍රචලිත වූ නිසාය.

පසුගිය කාලය තුළ සිදු වූ දූෂණ - වංචා හා අක්‍රමිකතා සම්බන්ධයෙන් වූ පරීක්ෂණ කඩිනම් කර ඇති සැටියක් පෙනෙන්නට තිබේ. ඇතැම්විට ඊට හේතුව ජනතාව කළ බලපෑම වන්නටත් පුළුවන. රටේ බොහෝ ‍තැන්වල විරෝධතා පැවැත්විණි. ඒවායෙහි අරමුණ වූයේ පරීක්ෂණ කඩිනම් කරවීම හා දූෂිතයන් අත්අඩංගුවට ගැනීම ඉක්මන් කරවීම ය. මේ තත්ත්වය යටතේ හිටපු ආණ්ඩුවේ බලධාරීන් පොකුරු පිටින් අත්අඩංගුවට ‍ගැනෙන බවක් ද පෙනෙයි. මෙය දේශපාලන පළිගැනීමක් යැයි ඇතැම් දේශපාලකයන් කියතත්; මහජනයා එසේ කියන්නේ නැත. ජනතාව දූෂිතයන් රිමාන්ඩ් ගත කරනු බලා “හොඳ වැඩේ” යැයි කියන තැනක සිටිති.

රිමාන්ඩ් ගත කිරීම දඬුවමක් නො වේ. දේශපාලකයන් දැන් එය අපහාසයක් ලෙසවත් සලකන්නේ නැත. දෑතට මාංචු වැටුණු දේශපාලකයෝ දෑත් ඔසවා දත් තිස්දෙකම පෙනෙන අයුරින් සිනාසෙමින් ඡායාරූපවලට ද මුහුණ දෙති. දැන් ඔවුන්ට එය සෙල්ලමක් වී ඇති සැටියක් පෙනෙන්නට තිබේ. රක්ෂිත බන්ධනාගාරගත කළ යුතු යැයි උසාවි නියෝගයක් ඇතත්; චූදිතයා යන්නේ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවකට ය. ඒ චූදිතයා හදිසියේ ම ලෙඩ වී ඇද‍ව‍ැටෙන බැවිනි. මේ හොර ලෙඩවලට වෛද්‍ය සහතික ලබාදෙන දොස්තරලා ද විශාල වැරැද්දක් කරති. එය හැඳින්විය හැක්කේ දූෂිතයන්ට උල්පන්දම් දීමක් ලෙස ය.

සතොස බඳු ආයතන භාරව ක්‍රියා කළ බොහොමයක් දේශපාලකයන්ට චෝදනා තිබිණි. විවේචන තිබිණි. එම ආයතනය ගසාකෑම සඳහා ප්‍රචලිත ස්ථානයක් බව ද පෙනී යයි. මෙබඳු ආයතන පිරිසුදු හා අවංක චරිත සහතිකයක් නැති අයට භාරදීමත් වැරැද්දකි. කුමක් වුව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද දැන හෝ නොදැන හෝ වැරැද්දක් කර තිබේ. ඊට නිසි දඬුවමක් ද ලැබිය යුතු ය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
webmanager@lakehouse.lk