මුද්‍රණය සඳහා

 
එක් අයෙකුට ඡන්ද දෙකක්

එක් අයෙකුට ඡන්ද දෙකක්

සුළු පක්ෂ එකමුතුවේ ඡන්ද ක්‍රම යෝජනාව

 

මනෝ ගනේෂන් - ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක ජාතික විධායක සභාවේ සාමාජික

පවතින මැතිවරණ ක්‍රමයේ වෙනසක් පිළිබඳව 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ දේශපාලන පක්ෂ අතරත් රට පුරාත් සාකච්ඡා වෙමින් පවතී. සුළු පක්ෂ 20කට වැඩි ප්‍රමාණයක් එකතු වී මේ මැතිවරණ ක්‍රමයේ වෙනස පිළිබඳව සාකච්ඡා කරමින් සිටී. ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන ප්‍රධාන ධාරාවේ පක්ෂ රැසක් මේ කථිකාවතට එකතු වීමද වැදගත්ය. මෙම පක්ෂ කිසිවක් මැතිවරණ ක්‍රමයේ වෙනසකට විරුද්ධ නැත. නමුත් විවිධ කණ්ඩායම් සහ සුළු පක්ෂ නව මැතිවරණ ක්‍රමයකට විරුද්ධ යැයි මතයක් ගොඩ නැගීමට සැරසෙන බවක්ද පෙනේ. එය සම්පූර්ණ අසත්‍යයකි. මැතිවරණ ක්‍රමයේ වෙනසකට සුළු පක්ෂ රැසක් එකඟතාව පළ කොට ඇත.

මන්ත්‍රි ධූර

මැතිවරණ ක්‍රමයේ වෙනස සමඟ මනාප ක්‍රමය අවසන් කිරීම, කොට්ඨාසයට මන්ත්‍රීවරයකු පත්කිරීම, දිස්ත්‍රික්කය පුරා ගමන් කොට ප්‍රචාරක කටයුතු කිරීමට සිදුවීම නිසා අති විශාල මුදල් ප්‍රමාණයක් වියදම් වීම නතර කිරීම, ගැටුම්කාරී තත්ත්ව වැළැක්වීම යන කාරණා සමඟ අප එකඟය.

නමුත් මෙම ක්‍රමය වෙනස් කළ යුතු යැයි කියන පිරිස එහි ඇති වාසි සහගත තත්ත්වය පෙන්වන්නේ නැත. පවතින සමානුපාතික ක්‍රමය යටතේ සුළු ජන කොටස්වලට වැඩියෙන් පාර්ලිමේන්තුව, පළාත් සභාව සහ පළාත් පාලන ආයතන නියෝජනය කිරීමේ අවස්ථාව ලැබී තිබේ. මේ අනුව සුළු ජන කොටස්වලට උපරිම ප්‍රජාතන්ත්‍රවාදයක් ලැබී ඇත්තේ මෙම පවතින මැතිවරණ ක්‍රමය යටතේය.

කුඩා පක්ෂ

විශේෂයෙන් සුළු ජාතික පක්ෂ නිර්වචනය කිරීමේදී සුළු ජාතීන් නියෝජනය කරන පක්ෂ යන්න ඉවත් කළ යුතුය. මේ රටේ එ.ජා.ප යත් ශ්‍රී.ල.නි.ප. යත් හැරුණු විට අනෙක් සියලු පක්ෂ සුළු පක්ෂය. සුළු පක්ෂ එකතුවට ජ.වි.පෙ., ජා.හෙළ උරුමය, ලංකා සම සමාජ පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂය සහ තවත් පක්ෂ රැසක් එක්ව සිටිති.

මැතිවරණ ක්‍රමය සංශෝධනයට අවශ්‍ය කරුණු පිළිබඳව මේ වනවිට කථා බහ කෙරෙමින් පවතී. පසුගිය අප්‍ර‍ියෙල් 29 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදීව 20 වැනි ස‍ංශෝධනය කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ලෙස ඉදිරිපත් කළේය. මෙම කැබිනට් පත්‍රිකාව වහාම කැබිනට් මණ්ඩලය විසින් සම්මත කිරීම සඳහා නොව සාකච්ඡාවට භාජනය කිරීම සඳහා ඉදිරිපත් කරන බවද පවසා ඇත. යෝජනාවලියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාවලිය නමින්ද මෛත්‍රීපාල සිරිසේන මහතා තම අත්සනින් යුතුවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉදිරිපත් කොට ඇත. එහෙත් යෝජනාවලියට කැබිනට් අනුමැතිය ලැබුණු බව සමහර මාධ්‍ය ඔස්සේ ගෙන ගිය ප්‍රචාරය නිවැරැදි නැත.

සත්‍යය නම් තවමත් එයට කැබිනට් අනුමැතිය ලබාගෙන නැත. ඉහත කී යෝජනාවලියට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 255කි. ඡන්ද කොට්ඨාස 165කි. එම ඡන්ද කොට්ඨාස 165 සඳහා මන්ත්‍රීවරුන් 165ක් තෝරා ගැනෙති. 165 සිට 196 ක් දක්වා වූ මන්ත්‍රීවරුන් ගණන පිරවෙන්නේ දිස්ත්‍රික් අනුපාතය අනුවය. 196 සිට 255 දක්වා කොටස පිරවෙන්නේ ජාතික අනුපාතයෙනි. සීමා නිර්ණ කොමිෂමක් පත් කිරීමද එම යෝජනාවලියේ දැක්වේ.

මේ රටේ අවසන් වරට සීමා නිර්ණය සිදුවුණේ 1976 වසරේ දී ය. ඒ වන විට රටේ ජනගහණය ලක්ෂ 75කි. එහෙත් අද වන විට ජනගහණය ලක්ෂ 200ද ඉක්මවා තිබේ. මේ අනුව සීමා නිර්ණයක් අනිවාර්යයෙන්ම සිදුවිය යුතුය. විශේෂයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් පිටත ජීවත්වන දමිළ සහ මුස්ලිම් ජනගහණයට එය අත්‍යවශ්‍යය.

සුළු ජාතිකයන් ලෙස සැලකෙන්නේ දෙමළ බස කථා කරන පිරිසය. උතුරු නැඟෙනහිර දෙමළ ජනතාව, නැඟෙනහිර සහ රට පුරා ජීවත් වන මුස්ලිම් ජනතාව, වතුකරයේත්, කඳුකරයේත්, කොළඹත්, දකුණේත් සමහර ප්‍රදේශවලත් ජීවත් වන දමිළ ජනතාව මේ යටතේ සුළු ජාතිකයන් ලෙස සැලකේ.

සීමා නිර්ණයක් නොකොට මෙම ඡන්ද ක්‍රමය වෙනස් කිරීම මගින් උතුරු නැගෙනහිර ජීවත්වන දමිළ ජනතාවට විශාල හානියක් සිදුවන්නේ නැත. ඒ අයට අවශ්‍ය ප්‍රමාණයෙන් දමිළ මන්ත්‍රීවරුන් පත්කර ගැනීමට අවශ්‍ය ආසන ප්‍රමාණය එහි පවතින බැවිනි. නමුත් වෙනත් ජාතිකයකුට එම ප්‍රදේශයෙන් පාර්ලිමේන්තුවට පත්වීමේ ඉඩකඩ මේ ක්‍රමය මගින් ඇහිරේ.

පවතින ගැටලුව

උතුරේ පමණක් නොව මේ ගැටලුවම දකුණේද පවතී. දකුණේ දමිළ මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවට පත්වීමේ ඉඩකඩ ඉතා අඩුය. කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් ලක්ෂ 3ක් පමණ දෙමළ ජනතාවක් ජීවත් වෙති. නමුත් බහුතරය සිංහල වීම නිසා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එකඳු දමිළ මන්ත්‍රීවරයෙකුට හෝ පාර්ලිමේන්තුවට තේරී පත්වීමට මේ ක්‍රමය යටතේ ඉඩක් නොලැබෙනු ඇත. ඉන් පෙනී යන්නේ උතුරේ සිංහල ජනතාවට මේ ක්‍රමයෙන් අසාධාරණයක් වනවා සේම දකු‍ණේ දමිළ ජනතාවටද අසාධාරණයක් සිදු වන බවය.

සීමා නිර්ණය මත බහු ආසන සංඛ්‍යාව වැඩි කිරීම මඟින් මෙම ගැටලුවට විසඳුම් ලබාගත හැක. පවතින බහු ආසන ක්‍රමයෙන්ද දමිළ ජනතාවට සාධාරණයක් ඉටුව නැත. මේ නිසා නැවත සීමා නිර්ණයක් කොට එය නිවැරදි කළ යුතුය. කොළඹින් සිංහල, දමිළ සහ මුස්ලිම් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු බැඟින් පාර්ලිමේන්තුවට තෝරා පත්වන ක්‍රමයක් සැකසීම මෙහිදී වැදගත්ය.

උතුරේ දැනට පවතින්නේ විශේෂිත තත්ත්වයකි. යුද්ධය නිසා රට හැර ගිය අයට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට යම් කාලයක් ලබා දිය යුතුය. එතෙක් උතුරේ දැනට පවතින ක්‍රමය පවත්වා ගැනීමද වැදගත්ය.

දකුණේ ජනගහණයෙන් ලක්ෂයකට එක් මන්ත්‍රීවරයෙකු පත්වීමත් උතුරේ විසිපන් දහසකට එක් මන්ත්‍රීවරයෙකු පත්වීමත් අසාධාරණය. මේ තත්ත්වය නිවැරදි කිරීමට කාලයක් අවශ්‍ය වේ.

ජාතීන් අනුව ප්‍රදේශ වෙන් කිරීමට අප කොහෙත්ම එකඟ නැත. දමිළ, සිංහල හෝ මුස්ලිම් ලෙස වෙනම කොට්ඨාස වෙන් කිරීමට විරුද්ධව කටයුතු කළ යුතුය. අපට වෙන්ව ජීවත් විය නොහැකිය. අප සියලු දෙනාම එක්ව ලාංකික පදනමින් කටයුතු කිරීම සඳහා බහු ආසන වැඩි කළ යුතුය.

ජනාධිපතිවරයා විසින් මේ වන විට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන යෝජනාවලියට සුළු පක්ෂවල යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ලබන අටවෙනි දින සියලුම සුළු පක්ෂවලින් සමන්විත සම්මේලනයක් පැවැත්වීමට තීරණය කළේ අපේ යෝජනා ඉදිරිපත් කිරීම සඳහාය.

නව ක්‍රමයකට ඡන්දය පැවැත්වීමේ යෝජනාවක් මෙහිදී ඉදිරිපත් කිරීමට අපි අදහස් කරගෙන සිටිමු. එය දැනට ජර්මනියේ භාවිතා වන ක්‍රමයකි. මෙහිදී එක් ඡන්ද දායකයෙකුට ඡන්ද දෙකක් භාවිතා කිරීමට සිදුවේ. එක් ඡන්දයක් අපේක්ෂකයෙකුටත් අනෙක් ඡන්දය පක්ෂයකටත් භාවිතා කළ හැකිය. පක්ෂයට ලැබෙන ඡන්දයෙන් අනුපාත ක්‍රමයට මන්ත්‍රීවරයෙකු පත්කර ගැනීමත් අපේක්ෂකයාට ලබා දෙන ඡන්දයෙන් කොට්ඨාසයට මන්ත්‍රීවරයෙකු පත්කර ගැනීමටත් හැකිවේ.

මේ ක්‍රමය නිසා උතුරේ, යාපනය දිස්ත්‍රික්කය පුරා සිටින සිංහල ඡන්ද දායකයිනට තමුන්ව නියෝජනය කරනවා යැයි සිතන සිංහල අපේක්ෂකයෙක් ඉදිරිපත් කර ඇති පක්ෂයකට ඡන්දය ලබා දීමට හැකියාව ලැබේ. එම ඡන්ද එකතුවෙන් සිංහල මන්ත්‍රීවරයෙක් යාපනය දිස්ත්‍රික්කයට පත්කර ගැනීමේ අවස්ථාව ලැබෙනු ඇත. මෙය දකුණේ දමිළ හා මුස්ලිම් ජනතාවට තමුන්ගේ මන්ත්‍රීවරයෙක් පත්කර ගැනීම සඳහා ද වඩාත් සුදුසු ක්‍රමයකි. මේ ක්‍රමය යටතේ එක් ඡන්දදායකයෙකුට ඡන්ද පත්‍රිකා දෙකක් ලැබේ. එක් ඡන්ද පත්‍රිකාවක් පක්ෂයටත් අනෙක් ඡන්ද පත්‍රිකාව අපේක්ෂකයාටත් ලකුණු කළ හැකිය.

බහු ආසන

ඒ සඳහා රට පුරා තවත් බහු ආසන 10ක්වත් අවශ්‍ය වේ. උතුරේ හා අනෙක් ප්‍රදේශවල දමිළ හා මුස්ලිම් ජනතාවටත් අම්පාර වැනි ප්‍රදේශවල සිංහල ජනතාවටත් වාසි සහගත ලෙස එම බහු ආසන සකස් විය යුතුය. අප ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කිරීමට අදහස් කරන යෝජනා දෙක වන්නේ ඒවාය.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පිළිගෙන ඇත. ඒ අනුව දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඩිලාන් පෙරේරා මහතා විසින් යෝජනා කරන ලද මැතිවරණ සංශෝධන වලංගු නැත. එසේම දිනේෂ් ගුණවර්ධන මෙන්ම ඩිලාන් පෙරේරා යෝජනාවන්හි ඇතුළත් කරුණුද ජනාධිපති මෛත්‍රීපාල මහතා ගෙන ආ යෝජනාවලියේ අඩංගුව තිබේ.

මහින්ද රාජපක්ෂ රජයට මැතිවරණ ක්‍රමය සංශෝධනයට කිසිදු උවමනාවක් තිබුණේ නැත. ඔවුනට පාර්ලිමේන්තුවේ තිබුණු තුනෙන් දෙකක බලය භාවිතා කොට 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේය. නමුත් දිනේෂ් ගුණවර්ධන මහතා එම ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙකි. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාද ඔහුය. එමෙන්ම ඩිලාන් පෙරේරා ද ප්‍රබලයෙකි. තමන් ගෙන ආ යෝජනා ක්‍රියාත්මක කරගැනීම ඔවුනටද අවශ්‍යතාවක් තිබුණු බවක් පෙනෙන්නේ නැත. එහෙත් ඔවුන් සතු තුනෙන් දෙකේ බලය පාවිච්චිකොට 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට කඩිනමින් අනුමැතිය ලබා ගත්තේ ය. එහෙත් ඡන්ද ක්‍රමය වෙනස් කිරීමේ කිසිඳු වුවමනාවක් ඔවුන්ට තිබුණේ නැත.

විධායක ජනාධිපති ධුරයේ බලය අඩු කරන බව නව ජනාධිපතිවරයා කිවු ලෙසටම කළේය. එසේම නව මැතිවරණ ක්‍රමයකට ද යා යුතු බව ඔහු පැවසීය. එය ද ඔහු අවංකවම ඉටුකිරීමට උත්සාහ ගනිමින් සිටී. පසුගිය රජය කාලයේ මේ පිළිබඳව කිසිවක් නොකළ පිරිස් අද මෙම යෝජනා කඩාකප්පල් කිරීමට උත්සාහ ගනිමින් සිටිති.

මෙම නව මැතිවරණ ක්‍රමය සහිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ‍ෙගනැවිත් එය සම්මත කර ගැනීම ඉතාම වැදගත්ය. එහෙත් කඩි මුඩියේ එය ක්‍රියාත්මක කිරීමට යාම අවදානම් සහිතය. එසේම නව මැතිවරණ ක්‍රමය හෙට අනිද්දා එන මැතිවරණයකට යොදා නොගත යුතුය. එය ක්‍රියාත්මක කළ යුතුව ඇත්තේ ජනතාවට හොඳින් තේරුම් කර දීමෙන් පසුවය.

අලුත් ක්‍රමය

වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වන මනාප ඡන්ද ක්‍රමයේදීද ප්‍රතික්ෂේප වන ඡන්ද ප්‍රමාණය වැඩිය. පාසල් කාලයේ සිට ඉගෙනගත් මෙම ඡන්ද ක්‍රමයද හරි හැටි අවබෝධ කරගත නොහැකි තත්ත්වයක් පවතින කල නව මැතිවරණ ක්‍රමය තීරණාත්මක පාර්ලිමේන්තු මැතිවරණයකට එක්වරම යොදා ගැනීම අන්තරාකාරීය. කෙසේ වුවත් 20 වැනි සංශෝධනය සම්මත කර තබා ගැනීම ඉතා වැදගත්ය.

අලුත් ජනාධිපතිවරයෙක් සිටී. නමුත් පවතින්නේ පරණ පාර්ලිමේන්තුවය. අලුත් ජනාධිපතිවරයාට පරණ පාර්ලිමේන්තුව ගැට ගසාගෙන හැමදාම යාමට නොහැකිය. ඔහු දැනටද යන්නේ ඉතා අපහසු ගමනක් බව පෙනේ. මෙය අලුත් ජනවරමට බාධාවකි. කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයකට යා යුතු වන්නේ එහෙයිනි. එහෙත් එම මැතිවරණයේදී නව ඡන්ද ක්‍රමයකට යාමට ඇති හැකියාව ඉතා අඩුය.

අලුත් ඡන්ද ක්‍රමය පිළිබඳව ඡන්දදායකයින්ව හොඳින් දැනුම්වත් කළ යුතුය.

ඡන්ද පොළට පැමිණෙන විට ඔවුන් නිරවුල් මනසකින් සිටිය යුතුවේ. එසේ නොවුණහොත් ඔවුනට නිවැරැදිව තම මතය ප්‍රකාශ කළ නොහැක. ඒ නිසා නව මැතිවරණ ක්‍රමය ලහි ලහියේ අත් හදා බැලීමකට නොයා යුතුය. එසේ වුවහොත් සැබෑ ජන මතය පිළිඹිබු නොවනු ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]