|
||||
කෙඩ් යන ඔබේ අයිතිවාසිකම් සහ වගකීම්
වංචනික වෙළෙදුන්ගේ ගොඳුරක් නොවීමට නම් ඔබ පිළිපැදිය යුතු පියවර කිහිපයකි. වෙළෙඳ පොළෙන් මිලදී ගත යුතු දේ කලින් සැලැසුම් කිරීම ඉන් පළමුවැන්නය. වෙළෙන්දන්ගේ වචනයට නොරැවටී විශ්වාසවන්ත ආයතනයකින් පමණක් භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කිරීමද මෙහිදී වැදගත් වේ. වෙළෙඳපොළ පුද්ගල ජීවිතය හා සමීප සබඳතාවක් පවත්වයි. වර්තමානයේ බොහෝදෙනා කාර්ය බහුලවීම නිසාම තව තවත් වෙළෙඳ පොළ වෙත සමීපවන බවක් දක්නට ලැබේ. ඒ අවිවේකී බවත් සමඟම ඔබ ආහාරපාන, ඇඳුම් පැළැඳුම්, විදුලි උපකරණ වැනි දෑ මිලදී ගැනීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු බොහෝමයකි. ඔබට අමතක වී එකී හේතුව නිසාම දැන හෝ නොදැන හෝ ඔබ වංචනික වෙළෙඳුන්ගේ රැවටීම්වලට හසුවීමට ඉඩ අැත. පාරිභෝගිකයකු ලෙස ඔබේ අයිතිය හා වගකීම නිවැරැදිව වටහා ගැනීම වැදගත් වන්නේ එහෙයිනි. පාරිභෝගිකයා යනු කිසියම් වෙළෙන්දකු හෝ නිෂ්පාදකයකු විසින් ඉදිරිපත් කරනු ලබන කිසියම් නිෂ්පාදනයක් හෝ සේවාවක් සත්‍ය වශයෙන්ම භාවිත කරන හෝ භාවිතා කිරීමට හැකියාවක් ඇති තැනැත්තාය. යම්කිසි නිෂ්පාදකයකු හෝ වෙළෙන්දකු තම කාර්යයේදී පාරිභෝගික නීතිය උල්ලංඝනය කරයි නම් එය අධිකරණයක් මගින් දඩයක් නියම කළ හැකි සහ බන්ධනාගාර ගත කළ හැකි වරදක් ලෙස සැලකේ. මිල අඩු වූ පමණින් නොරැවටී භාණ්ඩයේ තත්ත්වය පිළිබඳව සැලකිලිමත්වීම තවත් වැදගත් කරුණකි. එසේම ඇසුරුමෙහි, ලේබලයෙහි ඇති තොරතුරු කියවා බලා කල් ඉකුත්වීමේ දිනය පිළිබඳ දැන ගැනීමට ඉතා සැලකිලිමත් විය යුතුය. මිලදී ගත් භාණ්ඩ සඳහා ලදුපතක් ගැනීමට හොඳින් මතක තබා ගැනීම ද මෙහිදී වැදගත් වේ. ඔබ මිලදී ගත්තේ විද්යුත් උපකරණයක් නම් ඒ සඳහා වගකීම් පතක් ඉල්ලා සිටීමට ඔබට අයිතියක් ඇති බව ඔබ නොදන්නවා වන්නට පුළුවන. උපකරණය අලෙවියෙන් පසු සේවාවන් සපයනවාද යන්න පිළිබඳව සොයා බැලිය යුතුය. අමතර කොටස් පහසුවෙන් ලබාගත හැකිද යන්න පිළිබඳව විමසීමෙන් ඔබේ කාලය ඉතුරු කරගත හැකි වේ. මිලදී ගත් භාණ්ඩයේ යම් ගැටලුවක් ඇති නම් එය නිවැරැදි කර ගැනීමේ නිවැරැදි ක්‍රමය වන්නේ අදාළ වෙළෙන්දාට දැනුම් දී එය නිවැරැදි කර ගැනීමය. භාවිතයට ගන්නා ආහාර ද්‍රව්‍ය පිළිබඳ පමණක් නොව රූපලාවන්‍ය ද්‍රව්‍ය පිළිබඳවද බෙහෙවින් සුපරික්ෂාකාරී විය යුතුය. ආහාරපාන පිළිබඳ කතා බහ කිරීමේ දී භාවිතයට නුසුදුසු ආහාර පාන පසුගිය කාලය පුරා කොළඹ අවට වැටලීම් වලදී හමුවී ඇති බව ප්‍රකට කරුණකි. එබැවින් පාරිභෝගිකයන් වන ඔබ ආහාර පිළිබඳ වෙනදාට වඩා සුපරික්ෂාකාරී වන බව සැබෑ නමුත් සුවඳ විලවුන් ආදිය මිලදී ගැනීමේදී අපේ පාරිභෝගිකයන් ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වීම අඩුය. මාළු කල්තබා ගැනීම සඳහා භාවිතා කරන අයිස් යොදා ගනිමින් සරුවත් හා දොඩම් බීම නිෂ්පාදනය කරන ජංගම බීම වෙළෙඳ සැල් කොළඹ නගරයෙහි තිබී සොයා ගැනීමට හැකිවිය. මේ වෙසක් සමයේ ගමන් බිමන් යන අතර මඟ දෙපස ඇති සරුවත් සිසිල් බීම පිළිබඳ දෙවරක් සිතන්න එය ඔබට කදිම අත්දැකීමකි. විශේෂයෙන්ම ඔබ කොටුව දුම්රිය පළ චයිනා වීදිය වැනි ස්ථානවල ජංගම වෙළෙඳසල්හී විකුණන බීම වර්ග පානය කිරීමට පෙර පරීක්ෂාකාරී විය යුතුය. එමෙන්ම වෙළෙඳපොළේ ඇති ක්ෂණික ආහාර වර්ග සහ බීම වර්ග 54ක් පිළිබඳ පාරිභෝගික සේවා අධිකාරිය සිදු කළ පරීක්ෂණයකදී මනුෂ්‍ය ශරීරයට සුදුසු ප්‍රමාණයට වඩා ලුණු, සීනි හා මේදය අඩංගු වන ආහාර හා බීම වර්ග රැසක් ඇති බව හඳුනාගෙන තිබේ. ඔබ භාවිතයට ගන්නා ක්ෂණික ආහාර සහ බීම වර්ගවල දවටන පරීක්ෂා කිරීමට අමතක නොකළ යුතු වන්නේ එහෙයිනි. සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශයන්ට අනුව, මිනිස් සිරුරට දිනකට අවශ්‍ය වන ලුණු ප්‍රමාණය තේ හැඳි 01කි. සීනි තේ හැඳි 06ක් සහ මේදය මේස හැඳි 01 කි. එහෙත් දේශීය වෙළෙඳ පොළේ ඇති ක්ෂණික නූඩ්ල්ස් වර්ග, ඩෙවල් වර්ග, බයිට් වර්ග, මුරුක්කු, සුප්කැට ඇතුළු ආහාර ද්‍රව්‍ය 14කින් සහ තවත් ආහාර මඟින් නියමිත ප්‍රමාණයට වඩා ලූණු, සීනි සහ මේදය මිනිස් සිරුරට ඇතුළු වන බව පරීක්ෂණවලදී හෙළිවී තිබේ. මෙසේ අනවශ්‍ය ප්‍රමාණයන්ගෙන් සිරුරට ඇතුළු වන ලුණු, සීනි ,මේදය හේතුවෙන් පිළිකා, දියවැඩියාව, අධිරුධිර පීඩනය සහ හෘදයාබාධ වැනි රෝගවලට ඔබ ගොදුරු විය හැකිය. කාන්තාවන් සිය වත පැහැපත් කර ගැනීම සඳහා ආලේප කිරීමට භාවිතා කරන ආලේපන වර්ග ව්‍යාජව සකස් කළ පුද්ගලයන් කිහිපදෙනෙකුට එරෙහිවද පාරිභෝගික සේවා අධිකාරිය පසුගියදා නඩු පැවරූ බව ජනමාධ්‍ය ඔස්සේ වාර්තා විය. ඔබ රූපලාවන්‍ය භාවිතයට ගන්නා කාන්තාවක් නම් ඔබ මිලදී ගන්නේ නියම නිෂ්පාදනද නැතහොත් ව්‍යාජ ඒවාද යන්න පිළිබඳ හොඳින් විමසිලිමත් විය යුතුය. එවැනි මිලදී ගැනීමකදී කිසියම් පාරිභෝගිකයකුට අසාධාරණයක් වෙතොත් ඒ පිළිබඳව සොයා බලා අවශ්‍ය නීතිමය කටයුතු කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය ඇප කැප වී සිටී. අධිකාරිය වෙත පැමිණිලි කිරීමේ හැකියාව ඔබටද තිබේ. එහි ප්‍රාදේශීය කාර්යාලද රට වටා පිහිටුවා තිබීම එහිදී විශේෂ පහසුවකි. ජාත්‍යන්තරව පිළිගත් මූලික පාරිභෝගික අයිතීන් පිළිබඳව දැනුම්වත්ව සිටීම එහිදී ඔබට වැදගත් වනු ඇත.
ඔබ භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගැනීමේදී නොමඟ යැවීමකට හෝ වංචාකාරී ක්‍රියාවකට භාජනය වී තිබේ නම් ෙහා් වෙළෙන්දකු හෝ සේවා සපයන්නකු විසින් නොමඟ යවනු ලැබ ඇති බවට හැඟුණේ නම් පාරිභෝගික සේවා අධිකාරිය වෙත පැමිණිලි කර සාධාරණයක් ඉටුකර ගැනීමට ඔබට හැකියාව සේම අයිතියද තිබේ. එහිදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වෙත පාරිභෝගිකයකුට පැමිණිල්ලක් යොමු කළ හැකිය. එහෙත් එම පැමිණිලි අදාළ ලිපි ලේඛන හෝ අනෙකුත් සාක්ෂි සමඟ ලිඛිතව, මිලදී ගත් දින සිට මාස තුනක් ඇතුළත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ෙයාමු කිරීමටද වග බලා ගත යුතුය. අදාළ ලිපියෙන් සියලු කරුණු සහිතව සහ හානියේ ස්වභාවයට හේතු සමඟ ඔබගේ ඉල්ලීම ද සඳහන් කළ යුතුය. පාරිභෝගික සේවා අධිකාරියෙන් ලබා ගත හැකි සහනයන් ලෙස වන්දි ලබා ගැනීම, භාණ්ඩ මාරු කර ගැනීම, අලුත්වැඩියා කර ගැනීම, සටහන් කළ මිලට වඩා වැඩි මුදලක් අය කර ඇතොත් එසේ අය කළ මුදල් ආපසු ගෙවීම, දෝෂ සහිත භාණ්ඩවලට මුදල් ආපසු ලබාදීම, වගකීම් කාලයක් ලබාදීම හෝ එම කාලය දිගු කිරීම සහ භාණ්ඩවල ඇති දෝෂ නිවැරැදි කිරීම මෙන්ම දෝෂ සහිත භාණ්ඩ වෙළෙඳ පොළෙන් ඉවත් කිරීම ආදියද ඇතුළත් වේ. අලෙවියේදී ලබා දුන් පොරොන්දු ඉටු නොකිරීම, මිලදී ගත් භාණ්ඩ හෝ සේවා මඟින් පාරිභෝගිකයාගේ අරමුණු ඉටුනොවීම, වගකීම් කාලය තුළ අලුත්වැඩියා නොකිරීම, භාණ්ඩයකට භාණ්ඩයක් මාරු කර ගැනීමට අවස්ථාවක් ලබා නොදීම, භාණ්ඩ අලෙවියෙන් පසු සේවා ප්‍රතික්ෂේප කිරීම වැනි අවස්ථාවලදීද පාරිභෝගික සේවා අධිකාරිය මඟින් ඔබට සහන සලසාගත හැකිය. එපමණක් නොවේ අත්‍යවශ්‍ය භාණ්ඩ තොග සඟවා තබා ගැනීම, නරක් වූ ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම වැනි වැරැදි කරන වෙළෙඳුන් පිළිබඳ නිවැරැදි තොරතුරු ඔබ සතුව ඇත්නම් එසේ ලබා දෙන තොරතුරු සඳහා මුදල් ත්‍යාග පිරිනැමීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර තිබේ. එසේ තොරතුරු ලබාදෙන්නන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කරන බවත් එම අධිකාරියේ සභාපතිවරයා පවසයි. පහත සඳහන් කළ ක්ෂණික දුරකථන අංක ඔස්සේ දැනුම් දීම් සිදුකළ හැකිය.
|
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |