මුද්‍රණය සඳහා

 
සත්තු වත්තෙ ගැටලු ගොඩයි

සත්තු වත්තෙ ගැටලු ගොඩයි

අවුරුදු කීපයකට පෙර ලෝකයේ හොඳ සත්ත්ව උද්‍යාන අතර හොඳ නමක් දෙහිවල සත්තු වත්තට හිමිව තිබිණි. ලංකාවට ඇත්තේ එකම සත්තු වත්තකි. එය දෙහිවල සත්තු වත්තය.

මෙයට ශත වර්ෂයකට පෙර සත්තු වත්ත ආරම්භ කළේ සුදු පාලකයන් විසිනි. 1936 දී සත්තු වත්ත රාජ්‍ය ආයතනයක් බවට පත්වෙන විට සත්තු වත්තේ භූමි ප්‍රමාණය වූයේ අක්කර එකොළහක ප්‍රමාණයකි. 1946 දී කොළඹ මහ දිසාපතිතුමාගේ පාලනයට නතු කොට අධිකාරිවරයෙක් යටතේ මහජනතාවගේ විනෝදය සතුට සඳහා සත්තු වත්ත පුළුල් පාලනයක් හා නඩත්තු කිරීම ආරම්භ විය.

අද වන විට සත්තු වත්තේ භූමි ප්‍රමාණය අක්කර විසි නවයකි. 1946 වසරේදී දෙහිවල සත්තු වත්තේ පළමුවෙනි අධිකාරිතුමා වූයේ බ්‍රිතාන්‍ය ජාතික යුද හමුදා මේජර්වරයෙකු ලෙස කටයුතු කළ ඕබ්රි වෙයින්මාන් මහතා ය. එතුමා තම පණට වඩා ආදරයක් සතුන්ට දැක්වූ උතුමෙකි. පසුකලෙක සත්තු වත්තේ ප්‍රධානියා වූ ලීනස් ද අල්විස් මහතා සත්තු වත්ත ගැන දැක්වූයේ පුදුමාකාර සැලකිල්ලකි.

මේ උතුම් මිනිසුන් පණ දෙවැනි කොට සත්ත්ව උද්‍යානය දියුණු කරන්න සතුන් රැකබලා ගන්න කටයුතු කළ ආකාරය අමතක කළ නොහැක. දැන් එවැනි මහත්වරු - නිලධාරීන් නැත. ඒත් සත්ත්ව උද්‍යානය ඇත. ඒත් එදා මෙන් නොව අද ඇත්තේ සතුන්ට - නරඹන්නන්ට සතුටු විය නොහැකි, අපිරිසිදු, සතුන්ට හිංසා සහිත ස්ථානයකි. පරණ පුරුද්දට - පරසිදු නමට නරඹන්නෝ එති. නරඹති.

සත්ත්ව උද්‍යානයට ඇතුල් වීමට ප්‍රවේශ පත්‍ර මිලදී ගත යුතුය. ප්‍රධාන දොරටුව අබියසදී ප්‍රවේශ පත්‍ර නිකුත් කරනු ලැබේ. පසුගිය වසරේ මුල් භාගයේදී ස්වංක්‍රීය ප්‍රවේශ පත්‍ර නිකුත් කරන යන්ත්‍ර පහක් දොරටුව ළඟ සවිකර ඇත. එක යන්ත්‍රයක මිල රු. 35,00000.00 (තිස්පන් ලක්ෂයකි) අද දක්වා ප්‍රදර්ශනයට තබා ඇත. ක්‍රියා විරහිතය. යන්ත්‍රය ක්‍රියා කරවන්නට ගත් පුද්ගලයාගේ වේතනය රු. 48,000.00 කි. ඒත් තාම වැඩ නැත. පසුගිය වසර කීපය තුළ සිදුවූ බොහෝ කටයුතුවලින් කීපයක් මෙහි සඳහන් කරන්නේ පවතින තත්ත්වය ගැන අවබෝධයක් ලබා දීමටය. සත්තු වත්තේ පිරිසිදුතාවය එච්චර හොඳ මදිය. විශේෂයෙන්ම සතුන් කූඩු කර ඇති යකඩ කූඩු අපිරිසිදුය.

මෙම යකඩ කූඩුවල යකඩ කූරු මල බැඳ බොහෝ තැන් කැඩී බිඳී දුර්වර්ණව ඇත. වතුර බටයකින් හෝ වතුර බාල්දිවලින් කූඩු සෝදන්නේ ආවට ගියාවටය. මෙහෙම බිමට වතුර දැම්මාට කූඩුවල අපිරිසිදු කුණු ජරාව සේදෙන්නේ නැත. සත්තු වත්ත පුරාම දැඩි අපිරිසිදු බවක් හා දුර්ගන්ධයක් පවතී. පසුගිය වසර දෙක තුන තුළ සත්තු වත්තේ බොහෝ සතුන්ට ගතකරන්නට සිදුව ඇත්තේ අපල කාලයකි.

අපේ රටේ කොටි නැත. ව්‍යාඝ්‍රයින්, චීටාවුන්, ජගුවරයන් නැත. අපිට ආවේනික බිලාල වර්ගයේ එකම සතා දිවියා පමණි. ලෝකයේ බොහෝ රටවල දිවියන් නැත. ඉතාම දුර්ලභ මේ දිවියන් දෙහිවල සත්තු වත්තේ දී දැකගත හැක. ඒත් මේ සතුන්ට දක්වන සැලකිලි හොඳ මදිය. පසුගිය වසරේ අවසාන භාගයේදී සත්තු වත්තේදී කොටි දෙනුවක් ප්‍රසූත කළ කොටි පැටවුන් දෙදෙනා මියගියේ විෂබීජ ශරීරගත වීමෙනි. මෙම කොටි දෙමහල්ලන් විදේශයකින් මිලට ගත් සතුන්ය. කොටි පැටවුන්ට විෂබීජ ශරීර ගතවූයේ අපේ නොසැලකිල්ල නිසාය. ප්‍රතිකාර නිසි ලෙස ලැබුණා නම් අදද එම සුරතල් පැටවුන් ජීවතුන් අතරය. තවත් ඉතාම ශෝකජනක පුවතක් මේ නව වසරේ මුලදී අසන්නට ලැබිණි. ඒ ජර්මනියෙන් අපේ සත්තු වත්තට ලැබුණ දුර්ලභ කළු අශ්ව දෙනූවට පසුගිය දෙසැම්බරයේ ලැබුණ කළු අශ්ව පැටියා වර්ෂාවට තෙමී නියුමෝනියාව වැළඳී මියගිය පුවතය.

මේ සුරතල් කිරි සප්පයාට වූ විපතට හේතුව තවම හෙළිවී නැත. විවිධ අදහස් - පරස්පර විරෝධී නිගමන පශු වෛද්‍යවරු දක්වා ඇත. කවුද හරි, කවුද වැරැදි දෙයියෝ දනී. අපි නොදනී.

සත්තු වත්ත නරඹන්නට එන අයට සෙලෝපින් හෙවත් ප්ලාස්ටික් මිශ්‍ර බෑග් වර්ග, පාවිච්චි කර ඉවතලන ආහාර බඳුන්, ඉටිකොළ ගෙන ඒමෙන් වළකින්න කියා දැන්වීම් ගැසුවාට වැඩක් නැත. සත්තු වත්තේ හැම තැනම මෙම භයානක අපද්‍රව්‍ය විසිරී පවතී. එම පොලිතින් බෑග්, ඉටිකොළ, ආහාර කොටස් සුළ‍ඟේ පාවී අහිංසක සතුන් වෙසෙන කූඩුවල පතිත වේ.

අැතැම් පිරිස් සිලිං සිලිං බෑග්වලට දමා ඇති බනිස්, කඩල ඇට, කෙසෙල් ගෙඩි සතුන්ට දමති. එය ඉතාම වැරදි දඬුවම් පැනවිය යුතු ක්‍රියාවකි. එහි ප්‍රතිඵලය කෙතරම් අමිහිරි ද? කෙතරම් ශෝකජනකද? පසුගිය වසර ගණනාවම නරඹන්නන් පිනවූ වැඩිහිටි චිම්පන්සියා හදිසියේම මිය යෑම මෙන්ම සත්තු වත්තේ ආරක්ෂිත එළිමහන් කොටුවක කෙ‍ළිදෙලින් දුව පැන ඇවිද, පැමිණෙන දෙස් විදෙස් නරඹන්නන්ගේ හද බැඳගත් රයිනෝසිරස් දේනුවගේ අකල් මරණය සෑම දෙනාගේම හද කම්පා කරන පුවත් දෙක විය.

මෙම අහිංසක සතුන් දෙදෙනාගේ මරණ පරීක්ෂණය කළ වෛද්‍ය නිලධාරීන්ගේ නිගමනය වූයේ මෙම වටිනා සතුන් දෙදෙනාගේ මිය යෑමට ෙහ්තුව වූෙය් දිරවාගත නොහැකි පොලිතින් ආහාරයට ගැනීම බවය. රයිනෝසිරස් දෙනූවගේ කුසය තුළ වූ නොදිරන ලද පොලිතින් බෑග් පොලිතින් කොළවල බර කිලෝග්‍රෑම් 10කි. අහිංසක චිම්පන්සියාගේ කුස තුළද එවැනිම පොලිතින් කොළ, බෑග් ප්‍රමාණයක් තිබී ඇත. මෙම මරණ දෙකටම හේතුව පොලිතින් අනුභවය බවට තීරණය විය.

මීට සති තුනකට හතරකට පෙර ඉතාම ශෝක ජනක ආරංචියක් සත්තු වත්තේ පැතිරිණි. දින දෙක තුනකදී සත්තු වත්තේ එළිමහන් කූඩුවල සිටි මීමින්නන් 18 දෙනෙකු මරා සමහර කොටස් අනුභව කර ඇත. මෙම මීමින්නන් රෑන මරා දැමුවේ කවුද? අයාලේ යන බල්ලන් සත්තු වත්තට පිවිස මෙම අපරාධය කරන්නට ඇතැයි සැක පහළ කළාද? සත්‍ය එය නොවන බව පැහැදිලි වූයේ රාත්‍රී කාලයේ පිටතින් විත් සත්තු වත්තට පනින හෝතම්බුවන් විසින් මෙම අහිංසක මීමින්නන් මරා දමා ඇති බැවිනි.

ආරක්ෂක සේවය සෑම තැනම දිවා කාලයේ ගැවසුනත් රාත්‍රී කාල‍යේ එසේ නොවන බව පැහැදිලිය. රාත්‍රී කාලයේදී ආරක්ෂක නිලධාරීන් සත්තු වත්ත තුළ එක වරක් වත් මුර සංචාරයක් කරනවා නම් මෙවැනි විනාශකාරී ආපදාවන් නොවෙනු ඇත.

සත්තු වත්ත ඇතුළේ අවන්හල් කීපයක් ඇත. මෙයින් ප්‍රධාන දෙක ටෙන්ඩර් පටිපාටියට අනුකූලව වසරක කාලයකට බදු දෙන ආයතනයි. තිබහට බොන වතුර බෝතලයේ සිට හැම ආහාර ද්‍රව්‍යයක්ම පිටතට වඩා මිල ගණන් ඉහළය. දිනකට පැමිණෙන නරඹන්නන්ගෙන් බොහෝ දෙනා පාසල් දරුවන් සහ දුප්පත්, ගම්වල උදවියයි. ඔවුහු බස්වලින් දුර බැහැර සිට පැමිණෙති. සත්තු වත්ත තුළ පොදු පහසුකම් අඩුය. එය බලවත් වරදකි. පැය 4 – 5 සත්තු වත්තේ ගතකරන අයට වෙහෙස මහන්සියට පහසුකම් ලබාදිය යුතුය. සවස් වරුවේ බොහෝ අය සත්තු වත්තට පැමිණෙති.

විශේෂයෙන්ම අලි සෙල්ලම් දැකබලා ගන්නටය. පසුගිය කාලයේ මාස කීපයක්ම අලි සෙල්ලම් තිබුණේ නැත. අලින්ට ක්ෂය රෝග වැළඳීම ඊට හේතුවය. එක් අලියෙකුට රෝගය වැළඳී ඇත්නම් එම සතා වෙන්කර තැබීම අන් අයට බෝ නොවීමට කළ යුතු හොඳම විසඳුම වුවත් අලින් සියලු දෙනාටම ක්ෂය රෝගය වැළඳුණේ පරිපාලනයේ වැරැදි නිසාය.

අප රටට ඇති ජාතික සම්පතකි සත්තු වත්ත. එය රැකගැනීම අපගේ යුතුකමකි. නිලධාරීන්ගේ කඹ ඇදිලි, ගැටුම් මෙන්ම තවත් අවැඩ ඉවත් නොකළහොත් මේ අමිල සම්පත විනාශ වන්නේ අපේ දෑස ඉදිරියේමය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]