ජෙනුයින් වැඩක් කරන්න ට්‍රයි එකක් දුන්නා

ජෙනුයින් වැඩක් කරන්න ට්‍රයි එකක් දුන්නා

- සනත් ගුණතිලක

සංස්කරණය - චතුර ගීතනාත් බණ්ඩාර

සනත් ගුණතිලක අධ්‍යක්ෂණය කළ ‘සිනහව අතරින්’ මේ දිනවල දිවයින පුරා සිනමාහල්වල තිරගත කෙරේ. ඒ චිත්‍රපටය පිළිබඳ පිළිසඳරකට අප ඔහු හමුවෙමු.

* කොහොමද ලැබෙන ප්‍රතිචාර?

ධනාත්මකයි. මං මේ චිත්‍රපටය මෑත කාලිනව තිරගත කෙරුණු විශිෂ්ටතම සිනමා නිර්මාණ සමඟ සංසන්දනය කරන්නේ නෑ. ඒත් මං අවංකව ජෙනුයින් වැඩක් කරන්න ට්‍රයි කරලා තියෙනවා කියලා අහන්න ලැබෙනවා. ප්‍රේක්ෂකයන්ව රවට්ටන්න උත්සාහ කළ දෙයක් නෙවෙයි කියලා ඒ ලැබෙන ඇගයීමම මට හුඟක් වටිනවා.

* මේ අත්දැකීම අනුන්ගේ වුණත් තිර රචනය ඔබේ?

ඔව්. අනෙක 1992 තමයි මේ කතාවව මට ලැබෙන්නේ. ඒ මං ‘සිසිල ගිනිගනී’ චිත්‍රපටයත් අරන් කැනඩාවේ සැරිසරන කාලේ. නමුත් කලක් තිස්සේම මේ වස්තු බීජයට සර්ව කාලින වටිනාකමක් තියෙනවා කියලා මට දැනුනා. ඒ තුළ පවතින යථාර්ථය තමයි චිත්‍රපට කරලා ඒවා තිරගත වෙයිද නොවෙයිද කියලා අවිශ්වාස මේ වගේ කාලයක මං රිදී තිරයට ගේන්නේ.

තිර රචනයේදී නිර්දෝෂිකම් ඔප්පු කරන්න ගිහින් සිත රිඳුණු තැන් වගේ සමහර දෙබස් ඇතුළත සමහරු මේ මගේ කතාවද කියලා අහනවා. එතැනදී මං මගේ සමහර සම්මුඛ සාකච්ඡාවලදී වගේ මීට එහා උත්තර දෙන්නේ නැහැයි කියලා නවතින කඩ ඉමටත් එන තැන් තියෙනවා.

ගෑනියක් කියන්නේ යකඩින් හැදුණු දෙයක් නොවෙයිනේ කියලා මගේ මිතුරකුට ඔහුගේ බිරිය කිවුවේ මගේ ඉදිරිපිටදීමයි. ඒ පවුලේ ආරවුලක් විසඳන්නට පිටස්තර අපි කිහිප දෙනකුම උත්සාහ කළ අවස්ථාවක. ඒ අත්දැකීමත් නිරායාසයෙන්ම මගේ මේ තිරපිටපතට එකතුවෙලා තියෙනවා. ඒත් ඒ කිසිවක් මං බලෙන් ඇතුළු කළ ඒවා නෙවෙයි.

* සැඳෑවිය ආසන්නයේදී ඔබත් ජීවිතයේ යථාර්ථයට වැඩිපුර නැඹුරු වෙලාද?

හ්ම්. මං එහෙම නෙවෙයි කියලා කියන්නේ නෑ. නමුත් මගේ පරම්පරාවට වඩා පරම්පරා කිහිපයක් ඉදිරියට සහ පසුපසට අයිති සමහරු සිනහව අතරින් ඔවුන්ගේ කාලයේ කතාවක් විදියට බාර අ‍රගෙන. මට ඒ බව කියා සිටිය සමහරු අතරින්ම උදාහරණ ගන්නවා නම් ශ්‍රියානි අමරසේන, දිල්හානි ඒකනායක, යශෝධා විමලධර්ම, රොෂාන් රණවන, යුරේනි නොෂිකා වගේ හුඟදෙනකු සිටිනවා.

* බෞද්ධ දාර්ශනික පසුබිමක අඹුසැමි සම්බන්ධතා හරහා ලිංගිකත්වය උලුප්පා දක්වන්න හදලා කියලා කෙනෙක් කිව්වොත්?

ඒක වැරදියි. එහෙම දෙයක් නෑ. නමුත් මේ අත්දැකීම මට හෙළිකළ චමින්දම ඒ අත්දැකීමට මුහුණ පෑ යුවළ තුළ බෞද්ධ දර්ශනය කෙරෙහි නැඹුරුවක් තිබූ බව මට කියා තිබෙනවා. ඉතින් ඒ විමල් ද කුමාරි ද රිචඩ් ද කියලා මං ඔහුගෙන් අහන්න ගියේ නැහැ.

අනෙක ඔය වගේ ප්‍රශ්නයක් ඇති නොවෙන්න හේතු සාධකයි චිත්‍රපටයේ තියෙන්නේ. එහෙම කාමුක පැත්තට යොමුවෙන්න කුමාරි වගේ බිරියකට හේතු යෙදී තිබුණේත් නැහැ. ඇත්තටම එහෙම අපිරිසුදු නොවුණු පිරිසුදු මානුෂීය සම්බන්ධකමක් තමයි විමල් සහ කුමාරි අතර ඇති වෙන්නේ. චිත්‍රපටයේ බෞද්ධ දාර්ශනික පසුබිම පිළිබඳ කතා කරනවා නම් මං පුද්ගලිකවම ඒ පිළිබඳ ස්වාමින් වහන්සේලා හමුවෙලා අවවාද උපදේශ ලබාගෙනත් තියෙනවා.

* නමුත් නිෂ්පාදක සහ ඔබ තවම කඹ ඇදිල්ලක නේද?

දැන් එහෙම දෙයක් නැහැ. ඒ පිළිබඳව නිෂ්පාදක තුළ තිබෙන්නට ඇතැයි සිතිය හැකි දුර්මත මංගල දර්ශන වාරයත් සමඟ ලැබුණු ප්‍රතිචාරවලින්ම දුරුවී යන්නැති. අනෙක මං කාටවත් දොසක් කියන්න යන්නේත් නැති බවත් කියන්නම ඕනෑ. මේ වාතාවරණය එක් එක් ප්‍රේක්ෂක කොටස් තෝරාගෙන චිත්‍රපට කරන්නට යාමේදි පසු කාලයේදී ඇති වූ දෙයක්.

ඉතින් රුපියල් ශතම මිසෙක හොඳ චිත්‍රපටයක් කරලා ඒක දුවයිද කියන තැනට අදවන විට මේ කර්මාන්තයටම බලපාලා. එදා ගම්පෙරළිය, විරාගය වගේ චිත්‍රපට අතර සමාන්තර සිනමාවේ සිකුරුලියා, අපේක්ෂා වගේ චිත්‍රපටත් අවුලක් නැතිව තිරගත කෙරුණා. මං කියන්නේ ‍ෙකාපියක් ගැහුවත් ඒක අවංකව කළ අපේ සිනමාවට වැරදුණේ ප්‍රේම් ටු ප්‍රේම් කොපි කරන්න ගත්තාමයි.

අවංකව නිර්මාණයක් කරලා ප්‍රේක්ෂකයාට මුදා හැරීමට දොරගුළු වැටෙන්නේ එතැනින්. ඉන් පස්සේ රජයන්නේ රුපියල් ශතමයි. මේ වගේ වාතාවරණයක මේ වගේ චිත්‍රපටයකට බර පැන දරන්නට ඉදිරිපත් වුණු සුනිල් ටී වගේ කෙනකුට ‘සනත් මගේ සල්ලිත් එක්ක සෙල්ලම් කරන්න හදනවාද’ කියලා සිතිවිල්ලක් ඇතිවීමේ අරුමයක් නැහැ.

* විමල්ගේ චරිතයට සනත් ගුණතිලක සුදුස්සා කියලා ඔබද තීරණය කරන්නේ?

මෙහෙමයි. කතාව චරිත ඉල්ලා සිටින විදියට අධ්‍යක්ෂවරයා විදියට මටවත් බලපෑමක් කරන්න බැහැ. ඒක අසාර්ථකත්වයටයි හේතුවෙන්නේ. ඇත්තෙන්ම මං පුද්ගලිකව වඩා කැමැති මට රිචඩ්ගේ චරිතය ලැබුණානම්.

ඒත් ඒක එහෙම වුණේ නැහැ. ඔය ප්‍රශ්නයේදී වක්‍රාකාරයෙන් මගේ අධ්‍යක්ෂණය පිළිබඳත් කතාවෙනවා කියලා මට හිතෙනවා. ඉතින් මට රඟපාන අතරේ අධ්‍යක්ෂණය අමාරු වුණේ නැති නම් එතැන ගැටලුවක් නැහැනේ. මං දර්ශන තලයට යද්දීම මනසින් මුළුමනින්ම මං මේ නිර්මාණයට අවතීර්ණ වෙලා ඉවරයි. අනෙක විමල්ගේ චරිතය ඉල්ලා සිටි හැඩහුරුකමින්වත් වයසින්වත් එපිටවත් ඉන් මෙහාවත් නෙවෙයි මං ඉන්නේ. මේ ගැළපීම මතයි මං රඟපාන්නේ. ඒක එහෙම නොවුණා නම් මං ඒ කටයුත්ත බාරගන්නේ නැහැ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා