මුද්‍රණය සඳහා

 
මගේ කඩඉම පැදුරුපාටිය

මගේ කඩඉම පැදුරුපාටිය

- සිසි කැලුම් දහම්ප්‍රිය

පාසල් වියේ සිටම පුංචි තිරයේ නිවේදකයෙකු ලෙස කටයුතු කරමින් සිය අනාගත අඩිතාලම දමා ගත් ඔහු 2013 – 2014 වසරවලදී විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ හොඳම ප්‍රවෘත්තිය ස්වර්ණවාහිනිය වෙනුවෙන් නිර්මාණය කරමින් පිට පිට රාජ්‍ය සම්මාන ලැබීමට සුදුසුකම් ලැබීය. ‍ප්‍රේක්ෂක හදවත් හඬවමින් ස්වර්ණවාහිනි පුංචි තිරයේ දිග හැරුණු දෙපා වාරු නැති දරුවෙක් වෙනුවෙන් ඉදිරිපත් කළ වැඩසටහන ප්‍රේක්ෂක හදවත්වල සදා නොමැකෙන ප්‍රවෘත්තියක් වීමට තරම් හැඟුම්බර විය. කලාත්මක විය.

එවන් වූ කලා කුසලතාවයන් මුසු වූ දක්ෂතා රැසකින් හෙබි සිසි කැලුම් දහම්ප්‍රිය බාලගේ සමඟ කළ පිළිසඳරකි මේ.

* ඔබ‍ෙග් ජීවිත ගමන පාසල් වියෙන් පටන් ගත්තොත්

මගේ මුල්ම අධ්‍යාපනය කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලයෙන්. ශිෂ්‍යත්ව විභාගය සමත්වීමෙන් පසුව කොළඹ අශෝක විදුහලට ඇතුළත්ව උසස් පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරුවා. එහිදී විවිධ සාහිත්‍ය සංගම්වලට බැදී විවිධ නිලතල හොබවමින් විද්‍යාලයේ කැපි පෙනෙන ශිෂ්‍යයෙකු ලෙස කටයුතු කළා. ඒ අතර විවාද කණ්ඩායමේ සාමාජිකයකු ලෙසත් අනතුරුව එහි නායකයා ලෙසත් කටයුතු කරමින් විද්‍යාලයට විශාල ‍ගෞරවයක් ලබා දුන්නා. ඒ අතරේ දී රූපවාහිනියේ මුතුහර ළමා සමාජයේ නිවේදකයෙකු ලෙස ද කටයුතු කළා.

* පාසල් ජීවිතයෙන් පසු ජීවිතේ කොහොමද?

ටී. එන්. එල්. රූපවාහිනියේ ඉසුර ගුවන් විදුලියේ ආරම්භක නිවේදකයා ලෙස මම වෘත්තිය ජීවිතය 1990.05.28 දින ආරම්භ කළා.

එහිදී බෞද්ධ වැඩසටන් ඇතුළු විවිධ වැඩසටහන් වගේම ප්‍රශ්න විචාරාත්මක වැඩ සටහන් ද මෙහෙය වූවා.

ඊට පස්සේ ටී. එන්. එල්. ප්‍රවෘත්ති අංශයට සම්බන්ධ වී නිවේදකයෙකු ලෙසත් වසර පහක පමණ කාලයක් සහකාර ප්‍රවෘත්ති සංස්කාරක ලෙස කටයුතු කළා.

මගේ ජීවිතයේ විශේෂම කඩඉම ටී. එන්. එල්. නාලිකාවේ ඒ. එස්. පී. පැදුරු පාටිය, ඒ වෙනුවෙන් පැවැත් වූ වැඩ සටහන් දෙසියකට අධික ප්‍රමාණයකට වසර පහක් පුරා නිවේදකයක් ලෙස දායකත්වය ලබා දීමට හැකියාව ලැබීම තමයි මා කිව්වේ මගේ ජීවිතයෙ කඩ ඉමක් කියලා.

විවිධ කලා කරුවන් මෙන්ම රසවතුන් සමඟ ඔබ මොබ ගැටෙමින් මගේ මාධ්‍ය ජීවිතයට යම් ජීවියක් ලබා ගත්තා කිව්වොත් නිවැරදියි.

* ඔබ ස්වර්ණවාහිනියට සම්බන්ධ වූයේ

2010 වසරේදී මම ස්වර්ණවාහිනියෙ ලයිව් ඇට් එයිට් ප්‍රවෘත්ති අංශයට සම්බන්ධ වුණා. එයින් මගේ දක්ෂතා ඉහළ නංවා ගන්න විශාල පිටිවහලක් වුණා. මම නිවේදකයකු ලෙස විවිධ අවස්ථාවල සම්මානයට හා ඇගැයීමට ප්‍රාත්‍ර වුනත් ප්‍රවෘත්ති අංශයක් නියෝජනය කරමින් මට සම්මාන ලැබෙන්න මූලිකත්වය සපයලා දුන්නේ ලයිව් ඇට් එයිට් ප්‍රවෘත්ති අංශය.

* ඔබ ලබා ගත් සම්මාන ගැන කථා කළොත්

මට මුල්ම සම්මානය ලැබෙන්නේ ඒ. එස්. පී. පැදුරු පාටිය අඛණ්ඩව වසර පහක් පුරා නිවේදකයකු ලෙස මෙහෙයවීම නිසායි. ඒ වෙනුවෙන් මට “පොදු ජන සම්මානය” ලැබුණා. අනතුරුව මට “හෙල විරු උත්මාචාර” සම්මානය ලැබුණේ 2009 වසරේදී බම්බලපිටිය මුහුදු තීරයේ දී පුද්ගලයෙකුට පොලුවලින් පහරදීම රහසිගතව පටිගත කර කාලයේ වැලිතලාවෙන් වැසීයාමට බොහෝ දුරට ඉඩ තිබූ මිනී මැරුමක් රටට හෙලි කිරීම නිසයි.

2008 හා 2010 වසරවලදී ජනසංනිවේදකයින්ගේ සංගමයේ සම්මාන උළෙලේදී මැකෝ සම්මානයෙන් පිදුම් ලැබුවා.

ඒ වගේ 2013 වසරේදී රාජ්‍ය සම්මාන උළෙලේදී කුරුණෑගල ප්‍රදේශයේ පෞද්ලික බස් රථවලින් කප්පම් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කළ ප්‍රවෘත්ති වෙනුවෙන් හා 2014 වසරේදී පොලොන්නරුවේ දෙපා වාරු නැති දරුවෙක් වෙනුවෙන් කළ ප්‍රවෘත්තිය වෙනුවෙන් මට පිට පිට දෙවන වතාවටත් හොඳම ප්‍රවෘත්තියට හිමි රාජ්‍ය සම්මානය හිමි වුණා.

* ඔබගේ අනාගත බලාපොරොත්තු මොනවාද?

මාධ්‍යයේ වගකීම නොපිරිහෙලා ඉටුකරමින් එය සමාජයට යහපතක් වන ලෙස සුවිශේෂි මාධ්‍ය මෙහෙවරක යෙදෙමින් ඉදිරියේදී ලයිව් ඇට් එයිට් කණ්ඩායමක් ලෙස රැඳී සිට සමාජයට රටට උපරිම අයුරින් සේවය කිරීම මගේ ඒකායන බලාපොරොත්තුවයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]