බොදු සිතුවම් ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කළ ඇම්. සාර්ලිස් මාස්ටර්

බොදු සිතුවම් ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කළ ඇම්. සාර්ලිස් මාස්ටර්

 

 

 

 

 

 

 

සීවලී මහරහතන් වහන්සේගේ වර්ණ පින්තූරය එකල අප නිවසේ ඇතුළු වන දොරකොඩම එල්ලා තිබුණි.

අපගේ වැඩිහිටියන් පැවසුවේ සීවලී මහරහතන් වහන්සේ නිවසේ සිටිනවා නම් අප හට කිසි දිනක නිවසේ කෑම බීම වලින් අඩුවක් සිදු නොවන බවකි.

නිවෙස ඉදි කළ වකවානු‍වේ සවි කල මේ සීවලී මහරහතන් වහන්සේගේ චිත්‍රය අද ද අප පුහුල්වැල්ලේ නිවෙසේ දැකගැනීමට හැක.

මා මාතර පඹුරණ ඥාති නිවෙසකට ගිය අවස්ථාවේ නිවැසියෝ මා හට අපූරු චිත්‍ර ටිකක් පෙන්වීය. එනම් වසර 100 පමණ පැරැණි මේ චිත්‍ර සීවලී මහරහතන් වහන්සේගේ හා සිද්ධාර්ථ කුමරාගේ විවාහ මංගල්‍යය, ගිහිගෙය හැරයාම, ශිල්ප දැක්වීම, දිව්‍ය ලෝකයේ ඇති සිළුමිණසෑය වැනි චිත්‍රයි.

මේ චිත්‍ර පරීක්ෂා කර බැලීමේදී ඇම්. සාර්ලිස් චිත්‍ර ශිල්පියා විසින් ඇඳ ඇති මේ චිත්‍ර ජර්මනියේ මුද්‍රණය කොට ඇති ඒවාය.

එකල අප රටේ ලිතෝ මුද්‍රණ ශිල්පය නොතිබූ අතර ජර්මනියට යවා මේ චිත්‍ර වර්ණයෙන් මුද්‍රණය කරවා තිබුණි.

ඝන ඔප කඩදාසියේ මුද්‍රණය කොට ඇති මේ චිත්‍ර වසර 100 ආසන්න වුවත් ඉතා හොඳ තත්ත්වයේ පවතී.

1911 දී මාලිගාකන්ද විහාරයේ සිතුවම් කටයුතු කළ සාර්ලිස් මාස්ටර් ස්‍වදේශ මිත්‍රයා පත්‍රයේ ප්‍රධාන චිත්‍ර ශිල්පියා වශයෙන් කටයුතු කළේය.

උම්මග්ග ජාතක පොතේ පිටකවරය මෙන්ම ඇතුළු පිටුවල චිත්‍ර නිර්මාණය කළ සාර්ලිස් මාස්ටර් ලංකාවේ ප්‍රථම චිත්‍රපටය වූ මෙරට තිරගත නොවූ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා ප්‍රධාන චරිතය රඟ පෑ ‘රාජකීය වික්‍රමය’ චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂවරයාද විය.

1880 ජුනි මස 25 දින අම්බලන්ගොඩ ආඳාදොළ ගමේ උපන් මාලිගාවගේ සාර්ලිස් ගේ පියා වූයේ මාලිගාවගේ නන්දෝරිස්ය. ඔහු දෛවඥයෙකි. ගමේ පන්සලේ වලිතර සරණංකර හිමිගෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු වැඩිදුර අධ්‍යාපනය සඳහා මාලිගාකන්ද පිරිවෙනට ඇතුළු විය.

මේ වන විට සාර්ලිස් තම බාප්පා වෙතින් චිත්‍ර කර්මය හා මූර්ති පිළිබඳ දැනුමක් ලබා තිබුණි. මේ වන විට මාලිගාකන්ද විහාරයේ චිත්‍ර සිතුවම් කරමින් සිටි සමයයි.

හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි සාර්ලිස්ට එහි චිත්‍ර කරමින් සිටි රිචඩ් හෙන්රිකස් මහතාව හඳුන්වා දෙන ලදී. ඔහුගේ සිත්තර කණ්ඩායමට වැටුණු සාර්ලිස් චිත්‍ර කලාව හොඳින් ප්‍රගුණ කළේය.

එකල ලංකාවේ නිවෙස්වල එල්ලා තිබුණේ එංගලන්ත රජ පවුලේ චිත්‍රයි. මේ පිළිබඳ මහත් සිත් තැවුලට පත්ව සිටි අනගාරික ධර්මපාලතුමාට ඒ වෙනුවට බෞද්ධ චිත්‍ර නිවෙස්වල එල්ලවීමට අවශ්‍ය විය. පිටකොටුවේ කයිමන් දොරකඩ ව්‍යාපාරික විලියම් ප්‍රේද්‍රිස්ට මේ බව පැවැසීය.

මොහු විහාර චිත්‍ර කර්මවලට අවශ්‍ය දුම්මල රසායන ද්‍රව්‍ය අලෙවි කරන ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය අයෙකි.විලියම් පේද්‍රිස් තම අවශ්‍යතාව මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට ගොස් හික්කඩුවේ සුමංගල හිමිට දැන්වීය.

හික්කඩුවේ සුමංගල හිමි තම විහාරයේ චිත්‍ර කර්ම කරමින් සිටි ඇම්. සාර්ලිස් නම් ගෝලයාට මේ කාර්ය පැවැරීය. සාර්ලිස් දින කිහිපයකින් දන්වළඳමින් සිටින සීවලී මහරහතන් වහන්සේගේ චිත්‍රයක් ඇඳ වර්ණ ගන්වා විලියම් පේද්‍රිස්ට ලබාදුනි.

මේ චිත්‍රය පිළිබඳ ධර්මපාලතුමා හා විලියම් පේද්‍රිස් මේ චිත්‍රය ජර්මනියට යවා වර්ණයෙන් මුද්‍රණය කරවා දොන් බැස්ටියන් සමාගම හා එක්ව අලෙවි කළේය.

මේ චිත්‍ර බුරුම, තායිලන්තයළ ඉන්දියාව වැනි රටවලද අලෙවි කළේය. චිත්‍රය යටින් එම රටවල භාෂාවලින්ද මුද්‍රණය කළ තිබිණි.

යමක් කමක් ඇති බෞද්ධ පවුල්වල අය මේ චිත්‍රය විශාල මුදලක් දී ගෙන තම නිවෙස් වල සීවලී මහරහතන් වහන්සේ රාමුකොට එල්ලන ලදී. විශාල වශයෙන් අලෙවි වීම නිසා තවත් බෞද්ධ චිත්‍ර රැසක් සාර්ලිස් මාස්ටර් ලවා අන්දවාගෙන ජර්මනියට යවා මුද්‍රණය කොට ගෙන්වා අලෙවි කරන ලදී.

මේ චිත්‍ර නිසා රටේ මහත් බෞද්ධ ප්‍රබෝධයක් ඇති විය. ජීවිත කාලයම බෞද්ධ සිතුවම් කලාව වෙනුවෙන් කැප කළ ඇම්. සාර්ලිස් මාස්ටර් 1955 නොවැම්බර් 21 දින අභාවප්‍රාප්ත විය.

ඔහු දායාද කළ චිත්‍ර අදත් රට පුරා විහාරස්ථානවල, පැරැණි ගෙවල්වල සුරක්ෂිතව ඇත. ඔහු නිර්මාණය කළ 88 රියන් මාතර වෙහෙරහේන සමාධි බුද්ධ ප්‍රතිමාව අපට දැක ගත හැක.

ඔහුගේ සිතුවම් රැසක් මාලිගාකන්ද පිරිවෙන, කොළඹ අසෝකාරාමය, ජේතවනාරාමය, වජිරාරාමය, යාලේගම විහාරය, තිස්සමහාරාමය, මතුගම පාන්තියේ ශ්‍රී සුමංගලාරාමය, කිරිබත්ගොඩ ඊරියවැටිය සුදර්ශනාරාමය වැනි ස්ථානවලදී දැකගත හැකිය.

සාර්ලිස් මාස්ටර්ගේ පැරැණි විත්‍ර ලබාදුන්නේ මාතර පඹුරණ පදිංචි කුරුඳුහේවාගේ විමලසීලී මහත්මියයි

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා