අගමැති අපේක්ෂකයා නම් කරන්න බැහැ

අගමැති අපේක්ෂකයා නම් කරන්න බැහැ

- ජනපති මෛත්‍රී මහින්දට කියයි

එළඹෙන මහ මැතිවරණයේ දී අගමැති අපේක්ෂකයකු නම් කිරීම පක්ෂයට බෙහෙවින් අවාසිදායක වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඊයේ පැවැති විශේෂ සාකච්ඡාවේ දී දැනුම් දුන් බව ශ්‍රීලනිප ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරයා මේ බව දැනුම් දී ඇත්තේ එළඹෙන මහ මැතිවරණය සඳහා පක්ෂයෙන් අගමැති අපේක්ෂකයකු නම් කළ යුතු බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමිනි.

අගමැති අපේක්ෂකයෙකු මැතිවරණයට කලින් නම් කිරීම විපක්ෂයට වාසිදායක විය හැකි බවටත්, එමෙන්ම සුළුතර ජනකොටස්වල සහාය ලබා ගැනීමට එය බාධාවක් විය හැකි බවටත් ඊයේ පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

අගමැති අපේක්ෂකත්වයට අමතරව විසුරුවා හැරීමට නියමිත පළාත් පාලන ආයතන ගැනත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනාගත ක්‍රියාමාර්ග ගැනත් දැනට සිදුවන වංචා සහ දූෂණ විමර්ශන ක්‍රියාවලිය ගැනත්, මහින්ද රාජපක්ෂ මහතාට හිතවාදී මන්ත්‍රී කණ්ඩායමට එළඹෙන මහ මැතිවරණයට තරග කිරීම සඳහා පක්ෂයෙන් නාම යෝජනා ලබා ගැනීමට ඇති හැකියාව ගැනත් මෙම හමුවේදී සාකච්ඡා කෙරුණු බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ ඒවායේ නිල කාලය දැනටමත් අවසන් වී ඇති බවයි. මෙම සාකච්ඡාවට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් සහභාගි වූ කණ්ඩායම පෙන්වා දී ඇත්තේ මෙම පළාත් පාලන ආයතනවල නිල කාලය ඉකුත් මාර්තු මාසය අවසානයේ නිමා වූ බවත්, පසුව එය මැයි මස 15 වැනිදා දක්වා දීර්ඝ කළ බවත් ය. කෙසේ වුවත් මේ අවස්ථාවේ පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීම පක්ෂයට අවාසිදායක විය හැකි බව රාජපක්ෂ මහතාගේ කණ්ඩායම ප්‍රකාශ කොට තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනාගතය සම්බන්ධයෙන් රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය විමසූ අවස්ථාවේ ඊට ප්‍රතිචාර දක්වමින් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කණ්ඩායම ප්‍රකාශ කර සිටියේ සන්ධානයේ පාර්ශ්වකරුවන් යැයි කියා ගන්නා ඇතැම් පක්ෂ කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් තමන්ට ප්‍රශ්න ඇති බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ සහ වාමාංශික පක්ෂ කිහිපයක් සන්ධානයේ හවුල්කාර පක්ෂ වශයෙන් කටයුතු කළත් සන්ධානයට අයත් නොවන විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණට සහ උදය ගම්මන්පිල මහතාගේ පිවිතුරු හෙළ උරුමයට සන්ධානයේ තීරණවලට මැදිහත් වීමට හැකියාවක් නැතැයිද ජනාධිපතිවරයාගේ පාර්ශ්වය ප්‍රකාශ කළේය.

වීරවංශ මහතාගේ පක්ෂය සහ ගම්මන්පිල මහතාගේ පක්ෂය මැතිවරණවලදී සන්ධානය සමඟ කටයුතු කළත් එතැනින් එහා ගිය අයිතියක් ඔවුන්ට සන්ධානය සම්බන්ධයෙන් නැතැයි එම පාර්ශ්වය වැඩිදුරටත් අවධාරණය කොට තිබේ.

මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ප්‍රකාශ කොට ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමගිය සියලු දෙනාම ආරක්ෂා කළ යුතු බවත් තනි තනි කණ්ඩායම් වශයෙන් ක්‍රියාත්මක වීමට කිසිවෙකුටත් අයිතියක් නැති බවත්ය.

මේ අතර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සහ පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් ක්‍රියාත්මක කරනු ලබන විමර්ශනවල පවතිනවා යැයි කියන අඩුපාඩු සම්බන්ධයෙන් රාජපක්ෂ මහතාගේ කණ්ඩායම විමසූ අවස්ථාවේ ජනාධිපතිවරයා ප්‍රකාශ කොට ඇත්තේ අසාධාරණයට ලක්වන ඕනෑම අයෙකුට අධිකරණය හමුවට යාමට අවස්ථාව ඇති බවයි.

මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් මන්ත්‍රී කණ්ඩායමට නාම යෝජනා ලබාදීම සම්බන්ධයෙන් එකඟත්වයක් ඇති කර නොගත් බවත් එය දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට කාලය ප්‍රමාණවත් නොවූ බවත් මෙම සාකච්ඡාවට සහභාගි වූ ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ‘දිනමිණ’ට පැවසුවේය. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඒ පිළිබඳ සාකච්ඡා වෙනත් දිනයක පැවැත්වීමට ඉඩ ඇති බවයි.

අද පැවැති සාකච්ඡා සම්බන්ධයෙන් පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුවත් කරන බවත් එයින් අනතුරුව මේ සම්බන්ධයෙන් නිල වශයෙන් මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දෙන බවටත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අද පැවැති සාකච්ඡාව සඳහා විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා , ශ්‍රීලනිප මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍ය එච්. කේ. ඩී. එස්. ගුණවර්ධන, ෆයිසර් මුස්තාපා, කුමාර වෙල්ගම, මහින්දානන්ද අලුත්ගමගේ, බන්දුල ගුණවර්ධන සහ මහාචාර්ය පී. එල්. පීරිස් යන මහත්වරුන් සහභාගි වී තිබේ.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැති මේ සාකච්ඡාව සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වූයේ මඳක් ප්‍රමාද වී බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

සාකච්ඡාව අවසානයේ මුලින්ම පාර්ලිමේන්තු පරිශ්‍රයෙන් නික්ම ගොස් ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා