ජෙයරාජ් ඝාතනයේ සැකකරුවන් රඳවාගෙන පරීක්ෂණ

ජෙයරාජ් ඝාතනයේ සැකකරුවන් රඳවාගෙන පරීක්ෂණ

ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු එල්ටීටීඊ සැකකරුවන් 20ක් පමණ තවදුරටත් ත්‍රස්ත විමර්ශන අංශයේ රඳවාගෙන පරීක්ෂණ කටයුතු සිදුකරන බව එම අංශය සඳහන් කරයි. මේ පරීක්ෂණ අතර හිටපු ඇමැති මහින්ද විජේසේකර මහතාට තුවාල සිදුකරමින් මිනිස් ඝාතන ගණනාවක් සිදූ වූ පිපිරවීම, බදුල්ලේ දී හා මාතර දී මිනිසුන් එක්රැස්වන ජනාධිපති සහභාගිවූ රැස්වීම් ඉලක්කකර පිපිරවීම අධිබල පුපුරන ද්‍රවය සහිතව අටවා තිබිය දී සොයාගත් බෝම්බ සිද්ධි සම්බන්ධ සැකකරුවෝ ද සිටිති.

මේ වන විට අධිකරණයේ ඇසෙන නඩු සම්බන්ධ චූදිතයන් 6ක් ද මෙහි සිටින බවත් තවත් කිහිපදෙනකු පිළිබඳ පරීක්ෂණ අවසන් කර නොමැති බවත් පවසන ත්‍රස්ත විමර්ශන අංශය හිටපු පොලිස් අධිකාරී ලක්ෂ්මන් කුරේ මහතා ද මේ සැකකරුවන් අතර සිටින බව පැවැසී ය.

බූස්ස කඳවුරේ මේ අය රඳවාගෙන සිටින අතර විවිධ ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් පසුගිය කාලයේ එල්ටීටීඊ සැකකරුවන් 5000කට අධික පිරිසක් මෙහි රඳවාගෙන පරික්ෂණ පවත්වන ලදී.ඉන් වැඩිදෙනෙක් පුනරුත්ථාපනය ලබා සමා‍ජගතව සිටින අතර ප්‍රබල සැකකරුවන්ට නඩු පවරා අධිකරණය වෙත ඉදිරිපත් කළ බව ද එම අංශය කියයි.

මේ කඳවුරේ දී රඳවාගෙන සි‍ටි පිරිසගේ මනස දියුණු කිරීමේ මෙන්ම විවිධ රැකියා සඳහා පුහුණුවක් ද ලබාදීමට ත්‍රස්ත විමර්ශන අංශය යුද හමුදාව හා වෙනත් රාජ්‍ය ආයතන සම්බන්ධකර ගනිමින් කටයුතු කර ඇත.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා