මුද්‍රණය සඳහා

 
රනිල් අගමැති කරවන්න ලක්ෂ 63ක් ජනතාව මෛත්‍රීට ජන්දය දුන්නා

රනිල් අගමැති කරවන්න ලක්ෂ 63ක් ජනතාව මෛත්‍රීට ජන්දය දුන්නා

“මෛත්‍රී ජනපති කරමු- රනිල් අගමැති කරමු” යනුවෙන් පසුගිය ජනාධිපතිවරණයට පෙර මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජන්ද ව්‍යාපාරයේ දී ජනතාව හමුවේ තැබූ ඉල්ලීම අනුව රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වීම අනුමත කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතාට ජන්දය ප්‍රකාශ කළ බවත් කිසිම අවස්ථාවක අයිති නැති ආණ්ඩුවක් හිමි කර ගැනිමට එක්සත් ජාතික පක්ෂය ක්‍රියා නොකළ බවත් ඌව පළාත් මහ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

සිරිකොත මන්දිරයේදි ඊයේ (6) පැවති මාධ්‍ය හමුවකදි මහ ඇමැතිවරයා එසේ පැවසිය.

තව දුරටත් මහ ඇමැතිවරයා මෙසේ ද පැවසිය.

රනිල් වික්‍රමසිංහ මහතා පිනට අගමැති වු බවට ආණ්ඩුවේ ඇමැතිවරයකු ප්‍රකාශයක් කර තිබෙනවා.

මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයේ දි සහයෝගය දෙමින් කටයුතු කර මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආණ්ඩුවෙන් පිනට ඇමැති පදවියක් ගත්තේ ඩිලාන් පෙරේරා මහතායි.

මේ අවස්ථාවේදි “අම්බලමේ පිනා පිනා” පැරණි කවිය සිහි වෙනවා. පිංගුත්තරයෝ කවුද කියා රටම දැන් දන්නවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැත්වෙන සාකච්ජාව පිළිබඳව වැරැදි ආකාරයට රටට කරුණු ඉදිරිපත් කර වැරැදි මතයක් ඇති කිරිමට උත්සහ දරණවා.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිකුත් කර ඇති ප්‍රකාශයේ මෙම සාකච්ජාව සිදු කරන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පිළිබඳව පමණක් බවත් ආණ්ඩුවේ කිසිදු කටයුත්තක් ගැන කතා නොකෙරන බවත් ටී. බී.ඒකනායක සහ කුමාර් වෙල්ගම මහත්වරුන් ද මුරුත්තෙට්ටුවේ ආනන්ද ,මැදගොඩ අභයතිස්ස, සහ උඩුවේ ධම්මාලෝක හිමි වරුන් පැමිණ මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ජාවක් ඉල්ලා සිටියා.

එසේ ඉල්ලා සිටින අවස්ථාවක දි සාකච්ජාවක් ලබා දිම විශේෂ කරුණක් නොවන බව එම නිවේදනයේ සඳහන් වෙනවා. මේ සම්බන්ධයෙන් පැතිර යන නොයෙක් ප්‍රචාර තමා තරයේ ප්‍රතික්ෂේප කරනවා. ජනාධිපතිවරයා එසේ කියා ඇත්තේ පිනට ඇමැතිකම් ගත් අයගේ ප්‍රකාශ ගැනයි. ජනවාරි 8 වැනිදා තමාට ජන්දය දුන් ලක්ෂ 63 ක් වු ජනතා‍වගේ ගෞරවයට සහ විශ්වාසයට හානි වන ආකාරයට සාකච්ජා ‍මෙහෙයවිමට කටයුතු නොකරන බවට අවධාරණය කර තිබෙනවා.

මෛත්‍රිපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ගෙන යන වැඩ පි‍ළිවෙළට යටින් ගේමක් ක්‍රියාත්මක කර තමාගේ සිහින දකින අය ජනවාරි 8 වැනි දා ලබා ගත් නිදහස නැති කිරිමට මෙම බොරු ප්‍රචාර ගෙන යනවා. ඔවුන‍්ගේ අරමුණ සුදු වෑන් සංස්කෘතිය, මාධ්‍ය මර්ධනය සහ වංචා දූෂණ නැවතත් ඇති කර ඔවුනට අහිමි වි ඇති සැප සම්පත් නැවතත් හිමි කර ගැනිමයි.

මෛත්‍රිපාල සිරිසේන මහතා අභියෝගය භාර ගත්තේ රනිල් වික්‍රමසිංහ මහතා කැපවීමක් කෙළේ එක් දූෂිත පවුලකට සහ කණ්ඩායමකට එරෙහිවයි.

මෛත්‍රිපාල සිරිසේන මහතා දේශපාලන දීග කෑමට නැවත එවැනි කෙනෙක් ළඟට නොයන බව සහ ලක්ෂ 63 ක ජනතා‍වගේ පැතුම් විනාශ නොකරන බව ස්ථිරයි.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු සභාපතිවරයා සමඟ පක්ෂය පිළිබඳව සාකච්ජා කළත් එතුමා පැහැදිළි දර්ශනයක ගමන් කරනවා‍.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]