මුද්‍රණය සඳහා

 
රටේ සංවර්ධන ව්‍යාපෘති නැවතීමට වගකිව යුත්තේ ආණ්ඩුවයි

රටේ සංවර්ධන ව්‍යාපෘති නැවතීමට වගකිව යුත්තේ ආණ්ඩුවයි

රටේ සංවර්ධන ව්‍යාපෘති නැවතීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ ජනාධිපතිවරයා නොව වත්මන් ආණ්ඩුව බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ ඊයේ (6) පැවැති මාධ්‍ය හමුවේදි මන්ත්‍රීවරයා එසේ පැවැසීය.

තවදුරටත් මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

ආණ්ඩුවේ බලවත්ව සිටින්නේ අගමැතිවරයා බැවින් රටේ සංවර්ධනය අඩාලවී ඇත්නම් ඊට වගකිව යුත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එජාප ආණ්ඩුවයි.

හැමතැනම හොරු අල්ලන ආණ්ඩුවට මහ බැංකුවේ සිදුවූ මහා පරිමාණ මූල්‍ය වංචාවට අදාළව එහි අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ව අල්ලා ගැනීමට කටයුතු නොකිරීම කනගාටුවට කරුණක් බව නඩු වාර්තාවල සඳහන් වන්නේ පොදු දේපළ පනත අනුව සාවද්‍ය පරිහරණය කිරීම් කළ බවට වන බවත්,ඇමැතිවරයෙක් පොදු දේපළක් පොදු ජනතාව වෙනුවෙන් පරිහරණය කිරීම සාවද්‍ය පරිහරණයක් වන්නේ කෙසේදැයි මන්ත්‍රීවරයා මෙහිදි ප්‍රශ්න කෙළේය.

ශ්‍රීලනිපයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන, අනුශාසක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරුන් අතර සාකච්ඡා පැවැත්වීම ගැන එජාපය බියෙන් පසුවන බව පැවැසු ඒ මහතා මෙය ජනතාවගේ හා පාක්ෂිකයින්ගේ ඉල්ලීම්වලට අනුව පක්ෂයේ අභිවාද්ධිය වෙනුවෙන් කරනු ලබන සාකච්ඡාවක් බව කියා සිටියේය.

මෙම සාකච්ඡාව පිළිබඳව සමස්ත රටේම අවධානය යොමුව ඇති බවත් සුබදායී ආරංචි රැසක් ජනතාවට දැනගැනීමට හැකිවනු ඇති බවත් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.

මන්ත්‍රීවරයා මෙසේද කියා සිටියේය.

පසුගියදා පැවැති මැයි රැලියට විශලා ජනකායක් සියලු ප්‍රදේශ නියෝජනය කරමින් පැමිණ සිටියා. ඒ සියලු දෙනාටම පක්ෂයේ ස්තූතිය පිරිනමනවා. එහිදි ජනාධිපතිතුමන් සිය කතාවෙදි කියූ එක් දෙයක් ගැන මෙහිදි මා විශේෂ අවධානය යොමුකර සිටිනවා. එතුමන් කිව්වා තමන්ව කිසිවෙකුට හැසිරිවිය නොහැකි බවත් එසේ කළ හැක්කේ ජනතාවට පමණක් බවයි. එම නිසා මේ පිළිබඳව ජනතාව හොඳින් තේරුම් ගත යුතුයි කියා මා ඉල්ලා සිටිනවා.

වත්මන් ආණ්ඩුව දින සියයේදි සුවිශේෂී වැඩකොටසක් කර බව කියනවා. මේ අය කළේ අපේ රජය කාලයේ හදපු දේවල් විවෘත කළ එක පමණයි. අනෙක තමයි අගමැතිවරයා කියනවා රැකියා ලක්ෂ 10ක් දෙනවා කියලා. නමුත් ජනතාව දන්නවා එතුමන් බලයේ සිටී අවුරුදු දෙකේදි කළ දේවල්. රජයේ රැකියා කප්පාදු කළා. ජනතාවට සහන ලබාදුන්නේ නැහැ. අද එතුමා මේවා ගැන කතා කිරීම මහ විහිළුවක්. සමහරු හිතනවා මැයි රැලියකට සෙනග ආවාම ඉන් ජනතා මතය පිළිඹිබු වෙනවා කියලා. දේශපාලන දැනුමක් නැති අය කියන කතා ඒ තරම් ගණන් ගන්න අවශ්‍ය නැහැ. මිත්‍යා මත පළ කළා කියලා ජනතාව රවට්ටන්නත් බැහැ. මාධ්‍ය නිදහස ගැන කතා කරනවා. ඇතැම් මාධ්‍ය හැසිරෙන ආකාරය දැක්කම පුදුම වෙනවා. මැයි පෙළපාළි සජීවී දෙනවා. ඉහළ ආදායම් තිබුණ ඒ චැනල් අද කඩා වැටෙමින් තිබෙනවා. මේ දේවල් යහපාලනයෙන්ද කරන්නේ කියලා අපි ආණ්ඩුවෙන් අහනවා. අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මේ රටේ සංචාරයක යෙදුණා.

එතුමා අපේ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා පවත්වා මෙරට සංවර්ධනයට අවශ්‍ය අතහිත ලබාදෙන්න පොරොන්දු වි තිබුණා. එය රටක් ලෙස අපි ලැබූ ජයග්‍රහණයක් ලෙසයි මා දකින්නේ.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා, අය වැයෙන් කියපු කිසි දෙයක් මේ වෙනකම් දිලා නැහැ. සංවර්ධන කටයුතු සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට රුපියල් ලක්ෂ සියයක් ලබාදෙනව කිව්වා . එහෙත් මේ වෙනකම් එක රුපියලක් ලබාදීලා නැහැ. මේ අය කයිවාරු ගහනවා විතරයි.

මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාද සහභාගි වි සිටියේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]