මෛත්‍රී- මහින්ද සාකච්ඡා සියයට සියයක් සාර්ථකයි

මෛත්‍රී- මහින්ද සාකච්ඡා සියයට සියයක් සාර්ථකයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡා සියයට සියයක් සාර්ථකව අවසන් වූ බව කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කෙළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමන සහ ඉදිරි ජයග්‍රහණ පිළිබඳ මිස ආණ්ඩුවේ ඉදිරි ගමන පිළිබඳ මෙහිදී සාකච්ඡා නොකෙරුණු බවත් සාකච්ඡාව අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවැසීය.

ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා අතර සාකච්ඡාව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ (6) සවස 1.30ට ආරම්භ කෙරුණු අතර සාකච්ඡාව සුහද අයුරින් පැවැති බවත් සාකච්ඡාව අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් දිසානායක මහතා ප්‍රකාශ කෙළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කිසිලෙසකින් දෙකඩ නොවන බවට සහතිකයක් දිය හැකි බව පැවසූ දිසානායක මහතා පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහත්වරුන් නිසා එම සහතිකය දිය හැකි බවත් පැවැසීය.

පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ගනු ලබන තීන්දු අනුව සියලුදෙනා කටයුතු කළ යුතු බව පැවසූ දිසානායක මහතා පුද්ගල මතවලට පක්ෂය තුළ ඉඩක් නොමැති බවත් ප්‍රකාශ කෙළේය.

ඇමැති රාජිත සේනාරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, මහාචාර්ය ජී. එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, කුමාර වෙල්ගම, බන්දුල ගුණවර්ධන, ෆයිසර් මුස්තාෆා, මහින්දානන්ද අලුත්ගමගේ මහත්වරුන් සමඟ තමා ද මේ සාකච්ඡාවට සහභාගී වූ බවත් දිසානායක මහතා පැවසීය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා