මෛත්‍රී-මහින්ද හමුව

මෛත්‍රී-මහින්ද හමුවේ දී කරුණු පහක් අවධානයට

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ (06) දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති හමුවේ අවස්ථාවක්.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ (06) දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති හමුව ඉතා සුහදශීලී අන්දමින් නිමා වූ බව ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. එහි මෙසේ ද දැක්වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට පක්ෂයේ සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පක්ෂයේ අනුශාසකවරයකු ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර මෙම හමුව සිදු විය.

මෙම හමුවේදී ප්‍රධාන වශයෙන් කරුණු 05ක් පිළිබඳව විශේෂ අවධානය යොමු වූ අතර ඉදිරි මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකත්වය, පළාත් පාලන ආයතන විසුරුවා හැරීම, ඉදිරි මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස තරග කිරීම, අපේක්ෂකයන් සඳහා නාම යෝජනා ලබාදීම, විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාසයේ දේශපාලනීකරණය වීම පිළිබඳ ඇතැම් මන්ත්‍රීවරුන් නගා ඇති චෝදනා පිළිබඳ ‍විමසීම් සිදුකළ අතර ඒ පිළිබඳ ජනාධිපතිතුමාගේ අවධානයට යොමුවිය.

මේ සාකච්ඡාවට ලක්වූ සියලු කරුණු ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමටද මෙහිදී එකඟතාවය පළ කෙරිණි. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ඉදිරියේදී සියලුදෙනා එක්ව ක්‍රියාකිරීම පිළිබඳවද සාකච්ඡා විණි. මධ්‍යම කාරක සභාවේ තීරණයන්ට අනුව පක්ෂයේ සියලුදෙනා විනයානුකූලව කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී විශේෂ අවධානයට ලක් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා, රාජිත සේනාරත්න, එම්. කේ. ඩී. ඒ. එස්. ගුණවර්ධන, දුමින්ද දිසානායක, ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, කුමාර වෙල්ගම, මහින්දානන්ද අලුත්ගමගේ, මහාචාර්ය ජී. එල්. පීරිස් යන මැති ඇමැතිවරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා