අර්ථසාධක ගිණුම් ශේෂය තමන්ටම දැන් බලාගත හැකියි

අර්ථසාධක ගිණුම් ශේෂය තමන්ටම දැන් බලාගත හැකියි

පරීක්ෂණ යන්ත්‍රයක්

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට තමන්ගේ ගිණුමේ පවතින ශේෂය තමන්ටම පරීක්ෂා කරගැනීමේ හැකියාව ඊයේ(06) සිට හිමි විය. ඒ අනුව අර්ථ සාධක අරමුදල් ශේෂය පරීක්ෂා කිරීමේ යන්ත්‍රයක් කම්කරු මහලේකම් කාර්යාල ගොඩනැඟිල්ල පරිශ්‍රයේ ස්ථාපිත කිරීම කම්කරු ඇමැති එස්.බී.නාවින්න මහතා අතින් සිදුවිය..

මේ නව යන්ත්‍රය ස්ථාපිත කිරීමත් සමඟ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට ඔවුන්ගේ ගිණුම්වල පවත්නා ශේෂය ඕනෑම මොහොතක පරීක්ෂා කරගැනීමේ පහසුකම ලැබෙන අතර සිය හාම්පුතුන් විසින් පසුගිය වසරවල තමන්ගේ ගිණුම්වලට බැරකළ යුතු දායක මුදල් බැරකර ඇද්ද නැද්ද යන්න ඕනෑම මොහොතක පරීක්ෂාකර දැනගැනීමේ පහසුවද මින් සැළසී ඇත.

මේ වන විට විද්‍යුත් ක්‍රමයට ලියාපදිංචි වී සිටින සියලු සාමාජික සාමාජිකාවන්ට ඊයේ සිට මේ පහසුකම ලබාගත හැකි බව කම්කරු අමාත්‍යාංශය සඳහන් කරයි. දැනට විද්‍යුත් ක්‍රමයට ලියාපදිංචි වී නොමැති අර්ථ සාධක අරමුදල් සාමාජික සාමාජිකාවන්ට සිය හාම්පුතුන් හරහා කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීමෙන් මේ පහසුකම අත්විඳිය හැකි බව ද අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඉදිරි මාසය තුළ ප්‍රධාන කාර්යාලයට අමතරව දිවයින පුරා පිහිටි කම්කරු කාර්යාල තිහක (30) මේ නව යන්ත්‍රය ස්ථාපිත කිරීම සිදුවේ.

කම්කරු අමාත්‍යාංශයේ ලේකම් හේරත් යාපා,අතිරේක ලේකම් එම්.සී.එල්. රොද්‍රිගෝ,අතිරේක කම්කරු කොමසාරිස් ජනරාල් චාන්දනී අමරතුංග,සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සභාපති මහින්ද මඩිහහේවා,නියෝජ්‍ය කම්කරු කොමසාරිස් ලලිත් පෙරේරා සහ කම්කරු ඇමැති එස්.බී.නාවින්න මහතාගේ පෞද්ගලික ලේකම් සුනිල් ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා