ගිලීමලේ හුදකලා කතගේ අබිරහස් මරණය මිනීමැරුමක්

ගිලීමලේ හුදකලා කතගේ අබිරහස් මරණය මිනීමැරුමක්

රත්නපුර පොලිස් බල ප්‍රදේශයේ ගිලිමලේ ඉඳුරුව නිවෙසක හුදකලාව සිටියදී අබිරහස් ලෙස මියගොස් සිටි කාන්තාවගේ මරණය මිනී මැරුමක් බව හෙළි වෙයි. රත්නපුර මහ රෝහලේදී පෙරේදා, 06 වැනිදා පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී මේ බව අනාවරණය විය.

මලලගේ විමලාවති නම් 63 හැවිරිදි පස්දරු මව ඉඳුරුවේ නිවසේ තනිවම ජීවත් වූවාය. ඇය ඝාතනය කර රන් භාණ්ඩ පැහැර ගෙන ගොස් ඇතැයි සැක කෙරේ.

අසල්වාසි කාන්තාවක් මියගිය කාන්තාව සිටි නිවෙසට 3 රාත්‍රි ගොස් ඇය පිළිබඳ සොයා බලා ඇත.

නිවස තුළ විදුලි පහන් දල්වා තිබුණත් විමලාවති නම් මියගිය කාන්තාව කථා නොකළ නිසා අසල්වාසි කාන්තාව ඒ ගැන සෙසු අසල්වාසින්ට දැනුම් දී ඇත.

අසල්වාසින් කිහිප දෙනකු පැමිණ බලද්දි නිවසේ හිමිකාරිය මියගොස් සිටිනු දැක රත්නපුර පොලිසියට දැනුම් දී තිබේ.

රත්නපුර පොලිසියේ නිලධාරින් රත්නපුර වැඩබලන හදිසි මරණ පරීක්ෂක හරින්ද්‍ර ලක්මින තෙන්නකෝන් මහතා සමග පැමිණ තිබේ. හදිසි මරණ පරීක්ෂකවරයාගේ නිරීක්ෂණයෙන් පසු මෙම මරණය සැක කටයුතු බව පෙනෙන නිසා මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිසියට නියෝග කරනු ලැබීය.

මරණය සිදුවී ඇති ස්ථානයට කිසිවෙකුට ඇතුලුවීමට ඉඩ නොදෙන ලෙසද වැඩ බලන හදිසි මරණ පරීක්ෂකවරයා දැනුම් දුන්නේය. රත්නපුර වැඩ බලන මහේස්ත්‍රාත් ඩී.සි.වන්නිආරච්චි මහතා විසින් 4 වැනිදා දහවල් මහේස්ත්‍රාත් පරීක්ෂණයේ නිරීක්ෂණ සිදු කළේ ය.

රත්නපුර ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි කේ.එම්.බි.ගුණතිලක මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලදි.

ගෙල ප්‍රදේශයට මොට බලයක් යෙදීමෙන් ශ්වසනයට ඇති වූ අපහසුතාව මරණයට හේතුව බව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා නිගමනය කළේය. අතින් ගෙල සිරකිරීමෙන් මරණය සිදු විය හැකි බවද මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර තිබේ.

මියගිය කාන්තාවගේ ගෙල බැඳි රන් මාලයද නිවසේ අල්මාරියේ තිබූ රන් භාණ්ඩද අතුරුදන් බව පරීක්ෂණවලදි හෙළිවී ඇත.

රත්නපුර පොලිසියේ අපරාධ විමර්ශන අංශය හා රත්නපුර අපරාධ ස්ථානභාර පරීක්ෂණ ඒකකය පරීක්ෂණ සිදු කරයි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා